2025 වසර ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව අතින් බැලූ කල ඉතාම මැද මාවතක ගමන් ගත් එකක් බව හඳුනා ගත හැකි.
පසුගිය වසර තුළ ශ්‍රී ලංකාව ජයග්‍රහණ මෙන්ම, බලාපොරොත්තු නොවූ අන්දමේ පරාජයන් ද ලඟා කර ගත් වසරක් වන අතර, විශේෂයෙන්ම 2025 ශූරයින්ගේ කුසලානය ශ්‍රී ලංකාවේ සහභාගීත්වයකින් තොරව ක්‍රියාත්මක වීම වඩාත් අවාසනාවන්ත ම සිදුවීම ලෙස සැලකිය හැකි.
ගෙවුණු වසර තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් දක්ෂතා කෙසේ ද යන්න එකින් එක විමසා බලමු!
ශ්‍රී ලංකාවේ නවසීලන්ත සංචාරය
මෙම වසරේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු තරගය ජනවාරි මස 02දා පැවැත්වුණු අතර, එහි දී කුසල් පෙරේරා විසින් සිය මංගල විස්සයි විස්ස ශතකය වාර්තා කිරීමට සමත් වුනා.
මෙම තරගය ශ්‍රී ලංකාව ජය ගැනීමට සමත් වූ නමුත්, තරගාවලියේ ජය නවසීලන්තය සතු වුනා.
ශ්‍රී ලංකා සංචාරයේ එක්දින තරගාවලියේ දී ද ශ්‍රී ලංකාවට 2-1ක පරාජයක් අත් විඳීමට සිදු වූ අතර, ශ්‍රී ලංකාව ජය ගත් එකම එක්දින තරගයේ දී තරගයේ වීරයා වූ අසිත ප්‍රනාන්දු විසින් කඩුලු තුනක දක්ෂතාවක් දැක්වීමට සමත් වුනා.
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
මින් පසුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වුනා. ශ්‍රී ලංකාවට 2023-25 ටෙස්ට් ලෝක ශූරතාවේ ඉහළ දස්කම් පෙන්වීමට මෙය ඉතා හොඳ අවස්ථාවක් වූ නමුත්, තරගාවලියේ ටෙස්ට් තරග දෙකම ඕස්ට්‍රේලියාව හමුවේ පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදු වුනා.
කෙසේ වෙතත් ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ එක්දින තරගාවලියේ දී ශ්‍රී ලංකාව විසින් ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග 2-0ක ජයක් ලබා ගැනීමට සමත් වුනා.
මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් චරිත් අසලංක ලකුණු 205ක් වාර්තා කිරීමට සමත් වූ අතර, දුනිත් වෙල්ලාලගේ කඩුලු 6ක් දවා ගැනීමට සමත් වුනා.
බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය
ගෙවුණු වසරේ ශ්‍රී ලංකාව වඩාත් ම සාර්ථක වූ තරගාවලියක් ලෙස මෙය හඳුන්වා දිය හැකි.
දෙරට අතර පැවැත්වුණු ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර, මෙම තරග ද්විත්වයේ දී පැතුම් නිස්සංක ලකුණු 369ක් ලබා ගැනීමට සමත් වූ අතර, තරිඳු රත්නායක කඩුලු 9ක් දවා ගැනීමට සමත් වුනා.
ශ්‍රී ලංකාවට ඉතා අවම ටෙස්ට් තරග සංඛ්‍යාවක් හිමි වූ වසරක් ලෙස ගෙවුණු වසර සැලකිය හැකි අතර, එම ටෙස්ට් තරග කිහිපය ද බංග්ලාදේශ තරගාවලියෙන් පසුව අවසන් වුනා.
මින් පසුව බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරගාවලිය ක්‍රියාත්මක වූ අතර, එම තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ද ශ්‍රී ලංකාව සමත් වුනා. මෙහි දී කුසල් මෙන්ඩිස් විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 225ක් ලබා ගැනීමට සමත් වූ අතර, වනිඳු හසරංග කඩුලු 9ක් දවා ගැනීමට සමත් වුනා.
කෙසේ වෙතත් දෙරට අතර විස්සයි විස්ස තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට බංග්ලාදේශයට හැකි වුනා.
ශ්‍රී ලංකාව සිම්බාබ්වේ සංචාරයක නිරත වෙයි
මින් අනතුරුව ශ්‍රී ලංකාව සිම්බාබ්වේ දේශයේ තරග සංචාරයක නිරත වූ අතර, මෙහි දී පැවැත්වුණු එක්දින තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා. මෙහි දී නැවතත් පිත්තෙන් සාර්ථක වූ පැතුම් නිස්සංක ලකුණු 198ක් ලබා ගැනීමට සමත් වන අතරේ, අසිත ප්‍රනාන්දු කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුනා.
දෙරට අතර විස්සයි විස්ස තරගාවලිය ද 2-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුනා. මෙහි දී තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වූ දුශ්මන්ත චමීර කඩුලු 8ක් දවා ගැනීමට සමත් වුනා.
ආසියානු කුසලාන බලාපොරොත්තු බිඳ වැටෙයි
මින් අනතුරුව ශ්‍රී ලංකාව විස්සයි විස්ස ආසියානු කුසලානයට සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගිය නමුත්, මෙහි දී ඔවුන්ට සුපිරි හතර තරග වටයෙන් ඉවතට විසි වීමට සිදු වුනේ බංග්ලාදේශය, පාකිස්තානය සහ ඉන්දියාව හමුවේ පරාජය වීමත් සමඟයි. කෙසේ වෙතත් මෙහි දී ඉන්දියාව සමඟ පැවැත්වුණ තරගයේ දී පැතුම් සිය මංගල විස්සයි විස්ස ශතකය වාර්තා කිරීමට සමත් වීම විශේෂත්වයක්.
ශ්‍රී ලංකාව වසර අවසන් කිරීමට පාකිස්තානයට යයි
මෙම වසරේ ශ්‍රී ලංකාවේ අවසන් ක්‍රිකට් සංචාරය ලෙස පාකිස්තානයේ සංචාරය කළ අතර, එහි දී පැවැත්වුණු එක්දින තරගාවලිය 3-0ක් ලෙස පරාජය වීමට ශ්‍රී ලංකාවට සිදු වුනා.
ඉන් අනතුරුව පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් තුන් කොන් විස්සයි විස්ස තරගාවලියකට සහභාගී වූ අතර, එහි දී ශ්‍රී ලංකාව සිය පළමු තරග ද්විත්වයම පාකිස්තානය හා සිම්බාබ්වේ කණ්ඩායම් හමුවේ පරාජය වුනා. කෙසේ වෙතත් ඉන් පසුව ශ්‍රී ලංකාව නැවත තරගාවලියට අවතීර්ණ වෙමින් පාකිස්තානය සහ සිම්බාබ්වේ කණ්ඩායම් පරාජය කිරීමට සමත් වූ අතර, සිම්බාබ්වේ සමඟ පැවැති තරගයේ දී පැතුම් නිස්සංක නැවතත් නොදැවී ලකුණු 98ක් ලබා ගැනීමට සමත් වුනා.
කෙසේ වෙතත් තරගාවලියේ අවසන් මහා තරගයේ දී පාකිස්තානය හමුවේ පරාජය වැළඳ ගැනීමට ශ්‍රී ලංකාවට සිදු වුනා. මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් නැවත සාර්ථක වූ දුශ්මන්ත චමීර කඩුලු 7ක් දවා ගන්නා අතරේ, පිත්තෙන් සාර්ථක වූ කමිල් මිශාර ලකුණු 169ක් වාර්තා කිරීමට සමත් වුනා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
ගෙවුණු වසරේ ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 4ක් ක්‍රීඩා කළ ඉන් එක් තරගයක් ජය ගැනීමට සමත් වුනා.
එමෙන්ම එක්දින තරග 13ක් ක්‍රීඩා කළ ඉන් 7ක් ජය ගැනීමට සමත් වූ අතර, විස්සයි විස්ස තරග 18ක් ක්‍රීඩා කර ඉන් 9ක් ජය ගැනීමට සමත් වුනා.
ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ පිතිකරණ දක්ෂතා
ගෙවුණු වසර තුළ ශ්‍රී ලංකාවේ සාර්ථකම පිතිකරු බවට පත් වීමට සමත් වූ පැතුම් නිස්සංක ලකුණු 388ක් ලබා ගැනීමට සමත් වන්නේ පිතිකරණ සාමාන්‍යය 77.60ක අගයක රඳවා ගනිමිනුයි. එමෙන්ම දිනේශ් චන්දිමාල් ලකුණු 342ක් ලබා ගැනීමට සමත් වුනා.
එක්දින පිටියේ සාර්ථකම පිතිකරු වූ කුසල් මෙන්ඩිස් 38.46ක සාමාන්‍යයක් සමඟ ලකුණු 500ක් ලබා ගැනීමට සමත් වූ අතර, චරිත් අසලංක ලකුණු 494ක් ලබා ගැනීමට සමත් වුනා. එමෙන්ම ඔවුන් දෙදෙනා ම ශතක දෙක බැගින් ලබා ගැනීමට ද සමත් වුනා.
විස්සයි විස්ස පිටියේ දී පැතුම් නිස්සංක 36.76ක සාමාන්‍යයක් ද සහිතව ලකුණු 625ක් ලබා ගැනීමට සමත් වූ අතර, කුසල් මෙන්ඩිස් ලකුණු 388ක් ලබා ගැනීමට සමත් වුනා.
ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂතා
ටෙස්ට් පිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු දවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත් වූ අතර, ඔහු කඩුලු 15ක් දවා ගන්නා විට තරිඳු රත්නායක කඩුලු 9ක් දවා ගැනීමට සමත් වුනා.
එක්දින පිටියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් අතිශය සාර්ථක පිතිකරුවකු වූ අසිත ප්‍රනාන්දු කඩුලු 23ක් දවා ගැනීමට සමත් වූ අතර, වනිඳු හසරංග කඩුලු 18ක් ද, මහීෂ් තීක්ෂණ කඩුලු 14ක් ද දවා ගැනීමට සමත් වුනා.
විස්සයි විස්ස පිටියේ දී දුශ්මන්ත චමීර ඉතා සාර්ථක පන්දු කරණයක නිරත වෙමින් කඩුලු 22ක් දවා ගන්නා අතරේ, එක්දින පිටියේ මෙන්ම විස්සයි විස්ස පිටියේ ද නැවත සාර්ථක වූ වනිඳු කඩුලු 17ක් දවා ගැනීමට සමත් වුනා.
මේ අයුරින් ශ්‍රී ලංකාවේ 2025 වසරේ ක්‍රිකට් කතාව විහිදී ගිය අතර, ශ්‍රී ලංකාවට එතරම් ම සතුටුදායක ප්‍රතිඵල කරා ළඟා වීමට නොහැකි වූ බව පැහැදිලිව දක්නට හැකි කරුණක්.
මෙහි දී ශ්‍රී ලංකාව සිම්බාබ්වේ හමුවේ විස්සයි විස්ස තරග දෙකක දී ලකුණු 100ට අඩුවෙන් දැවී යාම එක්තරා ආකාරයක කළු පැල්ලමක් වූවා බඳුයි. එමෙන්ම අනෙක් අතට මෙම වසර තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස ශතක දෙකක් වාර්තා වීම ද විශේෂත්වයක්.
සමස්තයක් ලෙස බැලූ කල පැතුම් නිස්සංක මෙම වසරේ පිතිකරු ලෙස සැලකිය හැකි. කෙසේ වෙතත් වෙනත් වසරවලට සාපේක්ෂව ඔහුගේ එක්දින පිතිකරණය තරමක් පහතට වැටුණු බවත් දක්නට ලැබුණා. ඊට අමතරව චරිත් අසලංක, කුසල් මෙන්ඩිස් දෙදෙනා ද යම් පමණකට පිතිකරණ දක්ෂතා දැක්වීමට සමත් වුනා.
එමෙන්ම අසිත ප්‍රනාන්දු, වනිඳු හසරංග සහ දුශ්මන්ත චමීර ශ්‍රී ලංකා පන්දු යවන්නන් ලෙස ජාත්‍යන්තරයේ කැපී පෙනීමට සමත් වුනා.
කෙසේ නමුත් මෙම සියල්ලන් ම එළඹෙන වසරේ දී සිය දක්ෂතා තවත් ඉහළට රැගෙන යාම ශ්‍රී ලංකාව පාර්ශවයෙන් අතිශය වැදගත් බව සක්සුදක් සේ පැහැදිලියි. එළඹෙන වසරේ ශ්‍රී ලංකාවට හිමි වන පළමු දැවැන්ත අභියෝගය ලෙස විස්සයි විස්ස ලෝක කුසලානය මඟ බලා සිටීම ඊට ප්‍රධානතම හේතුව ලෙස දැක්විය හැකි.
විස්සයි විස්ස ලෝක කුසලානය පිළිබඳ මෙන්ම, මෙම වසර මුළුල්ලේ දෙස්, විදෙස් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කළ අයුරින් ම, ලබන්නා වූ 2026 වසරේ දී ද ක්‍රීඩා පිටියේ සියලු අහු මුළු ආවරණය කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<




















