රටින් පිටට යැමේ අවුල නිසා වේග පන්දු පුහුණුකරු තනතුර භාර ගැනීම චම්පක රාමනායක ප්‍රතික්‍ෂේප කරයි…?

116

පුරප්පාඩු වී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ වේග පන්දු පුහුණුකරු තනතුර සඳහා චම්පක රාමනායක මහතා පත්වනු ඇතැයි අපේක්‍ෂිත වුවද, අදාළ තනතුර දීර්ඝ කාලීනව භාර ගැනීම සඳහා ඒ මහතාගේ කැමැත්තක්‌ මෙන්ම සූදානමක්‌ද නොමැති බව සඳහන් වේ.

රාමනායක මහතාට කුඩා දරුවන් තිදෙනකු සිටින බැවින් හෙතෙම ඉතා කාර්ය බහුල දිවියක්‌ ගත කරන්නෙකු බව ක්‍ෂේත්‍රයේ ප්‍රසිද්ධ වී සිටියි. මෙම තනතුරෙහි රාජකාරි භාර ගැනීමේදී විදේශ සංචාරවලට සහභාගිවීම අනිවාර්ය වන බවත් එම තත්ත්වය මත දිගු කාලයක්‌ නිවෙසින් බැහැරව සිටීමේ නිදහසක්‌ රාමනායක මහතා සතු නොවීම මත හෙතෙම එම උදාසීනත්වය දක්‌වනු ලබන බව වාර්තා වේ.

එහෙත් ඉදිරියේදී ශ්‍රී ලංකාව සහභාගිවීමට නියමිත සංචාර 3 ම සිය මව්බිමේ ක්‍රීඩා කිරීමට නියමිත තරගාවලි වන බැවින් ක්‍රිකට්‌ ආයතනයෙන් ඒ සඳහා අනුමැතිය හිමිවුවහොත් පමණක්‌ දීර්ඝකාලීන කොන්ත්‍රාත්තුවකට නොගොස්‌ තරගාවලියෙන් තරගාවලියට යොදාගනු ලබන කොන්ත්‍රාත්තුවක්‌ මත පදනම්ව පමණක්‌ රාමනායක මහතා අදාළ ධුරයේ කටයුතු කිරීමේ සූදානමකින් සිටින බවද සඳහන් වේ.

මෙහිදී ශ්‍රී ලංකාව ජූනි සහ ජූලි මාසවල පාකිස්‌තානය සමගත්, ජූලි සහ අගෝස්‌තු මාසවල ඉන්දියාව සමගත් සහ ඔක්‌තෝම්බර් සහ නොවැම්බර් මාසවල බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම සමගත් තරග වැදීමට නියමිතව සිටියි.

අදාළ ධුරයේ කටයුතු කරන ලෙස මීට ඉහතදී ක්‍රිකට්‌ ආයතන බලධාරීන් විසින් රාමනායක මහතා වෙත දැනුම් දී ඇතැයි සඳහන් වුවද රටින් බැහැරව සිටීමේදී මුහුණ පානු ලබන ගැටලුව හේතු කොට ගෙන එම ආරාධනා සියල්ලම රාමනායක මහතා විසින් ප්‍රතික්‍ෂේප කර තිබෙන බවද සඳහන් වේ.

කෙසේ වෙතත් නවතම තත්ත්වය පිළිබඳව ‘දිවයින’ විසින් චම්පක රාමනායක මහතාගෙන් කරුණු විමසන ලදුව, zzතාම මට ක්‍රිකට්‌ බෝඩ් එකේ කවුරුත් කතා කරලා නැහැ. ඒ වගේම මගේ තීරණය මම අරගෙනත් නැහැ’ යනුවෙන් සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකා වේග පන්දු විද්‍යායතනයේ ප්‍රධානියා වශයෙන් වසර 7 ක්‌ තිස්‌සේ කටයුතු කරන ලද රාමනායක මහතා ඉකුත් 2008 වසරේදී බංග්ලාදේශයේ වේග පන්දු පුහුණුකරු ලෙස තේරී පත්වුණු අතර පසුව හෙතෙම 2010 සිට 2013 වසර දක්‌වා ශ්‍රී ලංකා කණ්‌ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරනු ලැබීය. 

2013 වසරේ මැද භාගයේ සිට ගෙවී ගිය වසර 2 ක කාලයේදී ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස චමින්ද වාස්‌ මහතා කටයුතු කරනු ලැබූ අතර සිය කොන්ත්‍රාත් කාලය අවසන් වීමට ප්‍රථම වාස්‌ මහතා අදාළ ධුරයෙන් ඉල්ලා අස්‌වූවේය. එම තත්ත්වය මත ජාතික කණ්‌ඩායමේ වේග පන්දු පුහුණුකරු තනතුර පුරප්පාඩු විය.