ක්‍රිකට් සභාපති, ලේකම් එකට වැඩ කිරීමට ක්‍රීඩා ඇමති හමුවේ පොරොන්දු වෙති

101

ක්‍රිකට් ලෝක ශූරතාවය ශ්‍රී ලංකාවට දිනා ගැනීමේ ඉලක්කය සමඟ ක්‍රිකට් සභාපති, ලේකම් එකට වැඩ කිරීමට ක්‍රීඩා ඇමති හමුවේ පොරොන්දු වෙති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෑත කාලයේ දී නිර්මාණය වී තිබූ කළමනාකරණ හා  පරිපාලන ගැටලු හේතුවෙන් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති හා ලේකම් අතර ඇති වූ සන්නිවේදන බාධාවන් ඉවත්කර 2015 ක්‍රිකට් ලෝක ශූරතාවලිය ඉලක්ක කරගෙන ජයග්‍රාහී වැඩපිළිවෙලක් සමඟ ඉදිරියට යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස මහතා හා එහි ලේකම් නිශාන්ත රණතුංග මහතා අද (15) පෙරවරුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හමුවී පැවති සාකච්ඡාවෙන් අනතුරුව එකඟ වූ බව ක්‍රීඩා අමාත්‍යාංශය අවධාරණය කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තීන්දු තීරණ ක්‍රියාත්මක වීමේදී සභාපති ඇතුළු විධායක සභාව ගනු ලැබූ තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමේ මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුගමනය කළ කළමනාකරණ හා පරිපාලන විධික්‍රමයක් යටතේ සිදු කිරීමට කටයුතු කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ක්‍රිකට් බලධාරීන්ට දැනුම් දුන් අතර එම ක්‍රමවේදයන් යටතේ කිසිඳු ගැටලුවක් මතු නොවුණු බැවින් ක්‍රිකට් සභාපතිතුමා හා ලේකම්තුමා අතර වගකීම් ක්‍රියාත්මක කිරීමේදීද විධිමත් සන්නිවේදන ක්‍රියාවලියක් ගොඩනැගෙන අතර ඉදිරියේදී දෙපාර්ශ්වය අතර ගැටලු මතු නොවන බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කාර්යක්ෂමව ඉදිරියට යනු ඇතැයි ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විශ්වාසය පළ කරයි.

2015 ලෝක ශූරතාවලිය ශ්‍රී ලංකාවට දිනා ගැනීම හා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය ගොඩනැගීමේ ඉලක්කයක් හැර වෙනත් ඉලක්ක ක්‍රිකට් ආයතනය මෙන්ම එහි ප්‍රධානීන්ගේ අරමුණ නොවන බැවින් එම ඉලක්ක ජයග්‍රහණය කරදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිතුමාගේත්, ලේකම්තුමාගේත් වගකීම බව හෙතෙම අවධාරණය කළේය.

දෙපාර්ශ්වයේම ඇති වී තිබූ ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළ ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම සියලු කරුණු අමතක කර, රටේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට දෙදෙනාම උනන්දු වන බැවින් ක්‍රිකට් සභාපතිතුමන් හා ලේකම්තුමන් මින් ඉදිරියට කිසිදු ප්‍රශ්නයක් හා ගැටලුවක් ඇති නොවන අයුරින් කටයුතු කිරීමට මෙම සාකච්ඡාවේදී එකඟ වූ අතර එම අදහස අද (15) සවස පැවැත්වෙන ක්‍රිකට් විධායක සභාවටද දැනුම් දීමට කටයුතු කරන බවද මෙහිදී තීරණය වූ බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.