අම්බලන්ගොඩ මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය සහ අහුංගල්ල රාජපක්ෂ මහා විද්‍යාලය අතර පළමු වරට පැවැත්වෙන “සහෝදරයන්ගේ ගැටුම” වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 17 සහ 18 දෙදින අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය
වසර 145ක් සපිරෙන අම්බලන්ගොඩ මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රයට යොවුන් ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ම දායාද කළ පාසලක්. ඒ අතුරින් බුද්ධිල වීරසිංහ සහ මල්ෂ තරුපති ඉදිරියෙන් ම කියැවෙන නම් ද්විත්වයක්. ඔවුන් දෙදෙනා ම ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කිරීමට සමත් වූවා.
එවන් අතීතයක් හිමි මාදම්පා මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයෝ මෙවර ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ දී තෙවැනි කොටසේ Tier A කොටසෙන් තරගාවලියට එක් වූ තරගකාරී කණ්ඩායමක්.
කණ්ඩායමේ මෙවර නායකත්වය පැවැරී ඇත්තේ සිව් වැනි වර්ණලාභී සහස් අනුපම වෙතයි. ඔහු මේ දක්වා නිමා වූ තරගවල දී කඩුලු 15ක් සහ ලකුණු 100කට ආසන්න ව ලබා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා.
කණ්ඩායමේ සිටින ක්‍රීඩකයන් අතුරින් වඩාත් විශ්වසනීය ක්‍රීඩකයා බවට පත් ව සිටින්නේ උප නායක සුමේධ සම්පත්. ඔහු ගාල්ල දිස්ත්‍රික් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ උප නායකත්වයේ ද කටයුතු කරනවා.
තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ඔහු නිමාවට පත් වූ මෙවර තරග වාරයේ දී තරග 8ක ඉනිම් 13ක දී ලකුණු 511ක් ලබා ගැනීමට සමත් වෙනවා. එම ලකුණු අතරට අර්ධ ශතක 4ක් ද ඇතුලත් කිරීමට ඔහු සමත් වෙනවා.
එමෙන් ම දකුණතින් මඳ වේග පන්දු යැවූ ඔහු කඩුලු 31ක් දවා ගනිමින් කණ්ඩායමේ වැඩිම කඩුලුලාභියා බවට ද පත් වෙනවා.
මාදම්පා විද්‍යාලයීය කණ්ඩායම සතු ව තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක් වූ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ම සිටිනවා. ඒ අතුරින් තරග 8ක ඉනිම් 12ක දී ලකුණු 136ක් සහ කඩුලු 29ක් ලබා ගත් තිලීෂ නෙතුම් සහ තරග 7ක ඉනිම් 12ක දී ලකුණු 140ක් සහ කඩුලු 24ක් ලබා ගත් කවික මධුශාන් ට හිමි වෙන්නේ ප්‍රමුඛ ස්ථානයක්.
ඔවුන්ට අමතර ව මාදම්පා විද්‍යාලයීය පිතිකරු ලැයිස්තුව වර්ණවත් කළ පිතිකරුවන් ලෙසින් තරග 8ක ඉනිම් 10ක දී ලකුණු 286ක් ලබා ගත් විනෝත් ලක්ෂාන්, තරග 8ක ඉනිම් 13ක දී ලකුණු 196ක් ලබා ගත් හිමාෂ් ප්‍රියශාන්ත සහ තරග ලකුණු 146ක් ලබා සිටින නිතිෂ් තේජාන් ද සිටිනවා.
මාදම්පා මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
සහස් අනුපම (නායක), සුමේධ සම්පත් (උප නායක), විනෝත් ලක්ෂාන්, හිමාෂ් ප්‍රියශාන්ත, කවික මදුශාන්, තිලීෂ නෙතුම්, නිතිෂ් තේජාන් (කඩුලු රකින්නා), ඉසුරු සඳරුවන්, සන්දීත් රශ්මික, යෝශිත උදයංග, සඳරු කවීශ්, දනිජ නවෝද්‍ය, තමිඳු නිලුපුල්, ගයේෂ කවිඳු, දුලන සේසත්, බිමාශ අභිමාන්, ඉඳුනෙත් සංකල්ප, ජවිත් ඉන්සිත.
චාමික සුරේෂ් ද සිල්වා (විදුහල්පති), හසිත ජයසිරි බණ්ඩාර (ක්‍රිකට් භාර ආචාර්ය), පරාක්‍රම වීරසිංහ (ප්‍රධාන පුහුණුකරු), චමෝද් දිල්හාර ද සිල්වා (සහාය පුහුණුකරු).
- 20 වැනි ‘ඌව රන් සටන‘ සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී
- ඩී. එස්. සහ මහානාමයන්ගේ රන් ගැටුම
- ශ්‍රී සුමංගල සහ ක්‍රිස්තු රාජ මංගල තරග ජය ගනී
- 51 වැනි Rev. Fr Peter Pillai අනුස්මරණ කුසලාන එක්දින ගැටුමේ ජය සාන්ත පීතර විද්‍යාලයට
- ඇල්පිටියේ හරිත – නීල සටන ගාල්ලේ දී
අහුන්ගල්ල රාජපක්ෂ විද්‍යාලය
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ Tier B කාණ්ඩය නියෝජනය කරන අහුන්ගල්ල රාජපක්ෂ මහා විද්‍යාලය මෙවර තරගාවලියේ දී පළමු කණ්ඩායම් 16 අතරට පැමිණීමට සමත් ව සිටින කණ්ඩායමක්.
රාජපක්ෂ විද්‍යාලයීය කණ්ඩායමේ නායකත්වයේ වගකීම පැවැරී ඇත්තේ මේ වන විට ගාල්ල දිස්ත්‍රික් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරන විහඟ ඉඳුවර වෙතයි. ඔහු ඊට පෙළ වයස අවුරුදු 15න් පහළ දකුණු පළාත් කණ්ඩායමේ ද සාමාජිකයෙක් වෙමින් දක්ෂතා දැක් වූවෙක්.
කණ්ඩායමේ උප නායකත්වය හිමි ව ඇත්තේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන දිනිඳු පැහැසර වෙතයි. ඔහුට අමතර ව වමතින් පිත්ත හසුරුවමින් කණ්ඩායමේ කඩුලු රකින්නා ද වන වින්ද්‍ය සංකල්ප ද රාජපක්ෂ විද්‍යාලය වෙනුවෙන් දක්ෂතා දක්වනු ඇතැයි බලාපොරොත්තු තබා තිබෙනවා.
ඊට අමතර ව දකුණතින් පිට දඟ පන්දු යවන රමේෂ් ලක්ශාන්, වේග පන්දු යවන සිතිජ දුල්ශාන් සහ රුමේෂ් ලක්ෂාන් ද සත්සර ප්‍රමෝද් ද කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩකයන් ලෙසින් හැඳින්වෙනවා.
රාජපක්ෂ විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
විහඟ ඉඳුවර (නායක), දිනිඳු පැහැසර (උප නායක), සත්සර ප්‍රමෝද්, රමේෂ් ලක්ශාන්, සිතිජ දුල්ශාන්, රුමේෂ් ලක්ෂාන්, වින්ද්‍ය සංකල්ප (කඩුලු රකින්නා), සානුක ලක්ශාන්, චමිත් මලීෂ, දිනෙත් මිලක්ෂ ලක්ශාන්, රශේන් ශ්‍යාමින්, කවීශ හිමසල්, කලිඳු කවිෂ මෙත්මල්, මලිඳු ලක්ශාන්,
ටී. යූ. සුසන්ත ද සිල්වා (විදුහල්පති), මිහිර අබේසේකර (ක්‍රිකට් භාර ආචාර්ය) ප්‍රියන්ත ද සිල්වා (ප්‍රධාන පුහුණුකරු), නලින්ද ද සිල්වා (සහාය පුහුණුකරු).
මංගල සහෝදරයන්ගේ ගැටුමට එක් වෙන මාදම්පා මධ්‍ය මහා විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට සහ අහුංගල්ල රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායමට ThePapare.com වෙතින් උණුසුම් සුබ පැතුම්!
පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම් රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
























