කන්ඩ උඩරට සුලෝහිත සංග්‍රාමය ඇරඹෙයි

119th Battle of The Maroons

4

මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය අතර 119 වැනි වරට ක්‍රියාත්මක වන කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමය අද (20) දිනයේ දී මහනුවර අස්ගිරි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා. 

මෙම තරගයේ කාසියේ වාසිය ධර්මරාජ විද්‍යාල නායකයා සතු වූ අතර, ඔහුගේ තීරණයෙන් තරගයේ පළමු ඉනිම දියත් කිරීමේ වගකීම කිංග්ස්වුඩ් විද්‍යාලයට පැවරුණා. 

ඒ අනුව කිංග්ස්වුඩ් ඉනිම ආරම්භ වූ අතර, එහි දී පිතිකරුවන්ට තම විද්‍යාලයට අවශ්‍ය වූ දීර්ඝ ලකුණු සබඳතා පවත්වා ගෙන යාම තරමක් අසීරු කටයුත්තක් බවට පත් කිරීමට ධර්මරාජ පන්දු යවන්නන් විසින් සමත් වුනා. 

කෙසේ වෙතත් මෙහි දී කිංග්ස්වුඩ් විද්‍යාලය වෙනුවෙන් අග්‍රගණ්‍ය ඉනිමක් දියත් කිරීමට සමත් වූ කවිජ ගමගේ විසින් පන්දු 149කට මුහුණ දෙමින් ලකුණු 112ක් ලබා ගැනීමට සමත් වුනේ කිංග්ස්වුඩ් ඉනිමේ වාර්තා වූ ලකුණුවලින් හරි අඩකට ඉතා ආසන්න ප්‍රමාණයක් රැස් කරමිනුයි. 

කවිජගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 13ක් අන්තර්ගත වූ අතර, ඔහුට අමතරව සනිරු අනුහස් විසින් ලකුණු 25ක් ඉනිමට එක් කිරීමට සමත් වුනා. 

ඒ හැරුණු කොට එකදු කිංග්ස්වුඩ් පිතිකරුවකු හෝ ලකුණු 20 සීමාව අබිබවා යෑමට අසමත් වූ අතර, කිංග්ස්වුඩ් පළමු ඉනිම ලකුණු 226කට සීමා වුනා. 

මෙහි දී ධර්මරාජ විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ සසිත් බණ්ඩාර විසින් විශිෂ්ට පන්දු යැවීමක නියැලෙමින් ලකුණු 80කට කඩුලු 05ක් දවා ගැනීමට සමත් වූ අතර, කේශන ගුණවර්ධන කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා. 

මින් අනතුරුව ධර්මරාජ කණ්ඩායම සිය පළමු ඉනිම ආරම්භ කළ අතර, ඔවුන් දිනය නිමා වන විට පන්දුවාර 12 පන්දු 05කට ක්‍රීඩා කරමින් ලකුණු 28ක් ලබා ගැනීමට සමත් වී සිටියේ කඩුලු 2ක් දැවී යමිනුයි. 

මේ අනුව තරගයේ පළමු දිනය අවසන් වන විට මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 198ක් පෙරමුණේ පසු වනවා. 

තරගයේ දෙවැනි දිනය හෙට (21) ක්‍රියාත්මක වීමට නියමිතයි. 

දේශීය පාසල් ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<