නිව්ටන් David Pierisලා අමාරුවේ දමයි

10th Singer - MCA Super Premier League T20 Tournament 2025

31
10th Singer - MCA Super Premier League T20

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය. සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ද සහයෝගය ඇතිව 10 වැනි වරටත් සංවිධානය කරන MCA Super Premier League විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (04) පැවැති තරගවල දී BBK Partnership කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වෙනවා.

කොළඹ, වෙළඳ සේවා ක්‍රිකට් පිටියේ දී (4) පැවැති මෙම තරගයෙන් පරාජයට පත් වෙන්නේ David Pieris A කණ්ඩායමයි. එම තරගයට අමතර ව අද පස්වරුවේ දී එම ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ව තිබූ Hayleys Group A සහ Maliban Biscuits A කණ්ඩායම් අතර තරගය පන්දුවක් හෝ නොයවා අතහැර දමනවා.

BBK Partnership සහ David Pieris Group A අතර තරගය

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් David Pieris කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි BBK Partnership කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 168ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි David Pieris Group ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 161ක් පමණයි.

මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් BBK Partnership කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ ශ්‍රීදරන් සාරංගන්. ඔහු පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 45ක් ලබා ගත්තා.

ඊට අමතර ව සංතුශ් ගුණතිලක පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 38ක් ද සහ ආනන්දන් කාජන් පන්දු 12කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 29ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී අසිත වන්නිනායක සහ මංජුල ගන්නිලේ කඩුලු ද්විත්වය බැගින් ද ලක්ශාන් ද සිල්වා, අකිල එලබොඩගේ සහ තරින්ද නිර්මාල් කඩුල්ල බැගින් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි David Pieris කණ්ඩායමේ ආරම්භය එතරම් ම සාර්ථක වෙන්නේ නැහැ. එම ඉනිමේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 16ක් වෙද්දී දවා ගැනීමට ප්‍රතිවාදීන් සමත් වෙනවා.

එම වැටි සිටි තත්ත්වයෙන් David Pieris කණ්ඩායම තරමක් ගොඩ යන්නේ රවිඳු සෙම්බුකුට්ටි (15) සහ අසිත වන්නිනායක එක් ව සිව් වැනි කඩුල්ලට පන්දු 27ක දී ලකුණු 50ක සබඳතාවක් එක් කිරීමත් සමඟිනුයි.

ඊට පසුව නැවත අසිත වන්නිනායක, තරින්ද නිර්මාල් ද එක් කර ගනිමින් 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 45ක දී ලකුණු 57ක සබඳතාවක් ද එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ අසිත වන්නිනායක ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 50ක් ලබා සිටියා.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව නැවත David Pieris කණ්ඩායම ගොඩ දැමීමට තරින්ද නිර්මාල් උත්සාහ කළා. ඔහු පන්දු 42ක දී හතරේ පහර 2ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 63ක් තම කණ්ඩායමට එක් කළ ද අනෙකුත් පිතිකරුවන්ගේ අසාර්ථක වීමත් සමඟින් ඔවුන් ගේ ඉනිම ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 7ක් අඩුවෙන් තම ඉනිම නිමා කර ගැනීමට සිදු වූවා.

කඩුලු දවා ගැනීමේ දී රංජිත්කුමාර් නිව්ටන් ලකුණු 28කට කඩුලු 6ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව විජයකාන්ත් වියස්කාන්ත් කඩුලු 3ක් ද සහ එඩ්වර්ඩ් ඩිලක්ෂන් කඩුල්ලක් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • BBK Partnership – කඩුලු 8ක් දැවී 168 (20.0) නිරෝෂන් දික්වැල්ල 21, ශ්‍රීදරන් සාරංගන් 45, සංතුශ් ගුණතිලක 38, ආනන්දන් කාජන් 29, මංජුල ගන්නිලේ 2/37, අසිත වන්නිනායක 2/16
  • David Pieris Group – සියලුම දෙනා දැවී 161 (20.0) අසිත වන්නිනායක 50, රවිඳු සෙම්බකුට්ටි 23, තරින්ද නිර්මාල් 63, රංජිත්කුමාර් නිව්ටන් 6/28, විජයකාන්ත් වියස්කාන්ත් 3/28

BBK Partnership කණ්ඩායමට ලකුණු 7ක ජයක්.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<