සාන්ත අන්තෝනි විද්‍යාලය ලකුණු 157කට දැවී යයි

107th Hill Country Battle of the Blues

2
U 19 Cricket,

මහනුවර ත්‍රිත්ව සහ සාන්ත අන්තෝනි විද්‍යාලය අතර 107 වැනි වරටත් පැවැති කන්ද උඩරට නිල් මහා සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ පළමු දිනය (12දා) අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී නිමා වූවා.

එහි දී සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් සිසල් හේමක ද සහ ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් දිමන්ත මහවිතාන අර්ධ ශතක ඉනිම් වාර්තා කළ අතර පන්දු යැවීමේ දී ත්‍රිත්ව විද්‍යාලයේ කනිල්ක ඇන්තනී දක්ෂතා දැක් වූවා.

කාසියේ වාසිය දිනා ගත් ත්‍රිත්ව විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත අන්තෝනි විද්‍යාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 157ක් ලබා ගත් අතර ඊට පිළිතුර ලෙසින් තරගය පළමු දිනයට නතර කරන විට ත්‍රිත්ව විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 66ක් ලබා සිටියා.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

දිමන්ත මහවිතාන (නායක), පුලීශ තිලකරත්න, මහේන්ද්‍ර අබේසිංහ, චනිරු සේනාරත්න, ඩිනාල් ප්‍රනාන්දු, මාලික විතානගේ, විදුනෙත් ධම්මගේ, ආදම් හිල්මි (කඩුලු රකින්නා), සෙත්මික සෙනෙවිරත්න, කනිල්ක ඇන්තනී සහ ප්‍රවීන් මිතිල.

 

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

කෞෂික කුමාරසිංහ (නායක), සනුක කල්පන, සිසල් හේමක, කවිඳු නවාංජන, ප්‍රවීන් ගමගේ, දිනුල් විජේසිංහ (කඩුලු රකින්නා), සදෙව් අමරකෝන්, සනිතු ගුණතිලක, දසුන් වලිංයග, රයන් ග්‍රෙගරි සහ කවීෂ සමරතුංග.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත අන්තෝනි විද්‍යාලයට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සත්කාරක ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩකයෝ ඉඩ ලබා දුන්නේ නැහැ. ඔවුන්ගේ ඉනිමේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 11ක් වෙද්දී දැවී යනවා.

සාන්ත අන්තෝනි විද්‍යාලය වැටී සිටි එම තත්ත්වයෙන් තරමක් දුරට හෝ මඟ හරවා ගත්තේ ආරම්භක පිතිකරු සිසල් හේමක ගේ නොදැවුණ ඉනිම හේතුවෙනුයි. ඔහු සාන්ත අන්තෝනි විද්‍යාලයීය ඉනිම අවසන් වෙද්දී පන්දු 161කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 64ක් ලබා සිටියා.

ඔහුගේ එම ඉනිමේ දී දිනුල් විජේසිංහ හා එක් ව 4 වැනි කඩුල්ලට ලකුණු 48ක සබඳතාවක් ද සහ 5 වැනි කඩුල්ලේ දී නායක කෞෂික කුමාරසිංහ හා එක් ව ලකුණු 64ක සබඳතාවක් ද ගොඩ නගනවා.

එහි දී දිනුල් විජේසිංහ පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 15ක් ද සහ කෞෂික කුමාරසිංහ පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 44ක් ලබා සිටියා.

ඔවුන්ට අමතර ව දසුන් වලියංග පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 10ක් ලබා ගත් අතර අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවක් කරා පැමිණිමට ඉඩ ලැබුණේ නැහැ.

සාන්ත අන්තෝනි ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 34ක් තුළ දැවී යන අතර සාන්ත අන්තෝනි ඉනිම නිමා වන විට කනිල්ක ඇන්තනී ලකුණු 54කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ වැඩිම කඩුලුලාභියා බවට පත් වුණා. ඊට අමතර ව දිනාල් ප්‍රනාන්දු සහ චනිරු සේනාරත්න කඩුලු ද්විත්වය බැගින් ද සහ මාලික විතානගේ සහ සෙත්මික සෙනෙවිරත්න කඩුල්ල බැගින් ද දවා ගත්තා.

පිළිතුරු ත්‍රිත්ව විද්‍යාලයීය ඉනිම නායක දිමන්ත මහවිතාන සහ පුලීශ තිලකරන්න විසින් ආරම්භ කළ අතර ඔවුන්ට එම කඩුල්ලට ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 13ක් පමණයි. එම සබඳතාව නිමා වෙන්නේ පුලීශ තිලකරත්න පන්දු 12කට මුහුණ දෙමින් ලකුණු නොලබාම දැවී යෑමත් සමඟිනුයි.

අනතුරු ව තවත් ලකුණු 10ක් ත්‍රිත්ව ඉනිමට එක් වෙද් දී අංක 3 පිතිකරු ලෙසින් පිටියට පිවිසි මහේන්ද්‍ර අබේසිංහ ද දැවී යනවා. ඔහුට ද ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 3ක් පමණයි.

ත්‍රිත්ව විද්‍යාලය වැටී සිටි එම අමාරු තත්ත්වයෙන් යම් තරමකින් ගොඩ ගන්නේ දිමන්ත මහවිතාන සහ චනිරු සේනාරත්න විසිනුයි. ඔවුන් දෙදෙනා එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 82ක දී ලකුණු 42ක සබඳතාව එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව නිමා වෙන්නේ චනිරු සේනාරත්න පන්දු 30ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 10කට දැවී යැමත් සමඟිනුයි.

තරගය පළමු දිනයට අවසන් වෙද්දී දිමන්ත මහවිතාන පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 52ක් ලබා සිටි අතර අනෙක් අන්තයේ සිටි දිනාල් ප්‍රනාන්දු පන්දු 3කට මුහුණ දෙමින් ලකුණක් ලබා නොදැවී පිටියේ රැඳී සිටියා.

කඩුලු දවා ගැනීමේ දී සිසල් හේමක, කවීෂ සමරතුංග සහ දසුන් වලියංග කඩුල්ල බැගින් දවා ගෙන සිටියා.

තරගය අද (13) 2 වැනි දිනයටත් පැවැත්වීමට නියමිතයි.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 157 (57.3) සිසල් හේමක නොදැවී 64, කෞෂික කුමාරසිංහ 44, චනිරු සේනාරත්න 2/30, කනිල්ක ඇන්තනී 4/54, දිනාල් ප්‍රනාන්දු 2/09
  • මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 66 (23.0) දිමන්ත මහවිතාන නොදැවී 55

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 91ක් පිටුපසින්.

පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<