2025 ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය ඊයේ (02) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.
සුපුරුදු පරිදි දිනයේ උදෑසන සහ සවස් වරු ද්විත්වයේ දී තරගාවලියේ පළමු දිනය ක්‍රියාත්මක වූ අතර, මෙහි දී කාන්තා සහ පිරිමි මලල ක්‍රීඩා ඉසව් රැසක් ක්‍රියාත්මක වුනා. උදෑසන වරුවේ දී බොහෝ ඉසව්වල මූලික වටයේ තරග ක්‍රියාත්මක වූ අතර, සවස් වරුවේ දී වඩාත් තීරණාත්මක තරග ඉසව් රැසක අවසන් තරග ක්‍රියාත්මක වුනා.
රසාරා සහ වක්සන් දිගු දුර පහසුවෙන් ජය ගනී
කාන්තා මීටර් 10000 ඉසව්වේ අවසන් තරගයට සහභාගී වූ යුද හමුදාව නියෝජනය කළ රසාරා විජේසූරිය විසින් මිනිත්තු 36.26.48ක කාලයක් වැය කරමින් ඉසව්ව ජය ගැනීමට සමත් වුනා.
මේ අතර පිරිමි මීටර් 5000 ඉසව්ව ජය ගැනීමට යුද හමුදාවේ ම වී. වක්සන් සමත් වුනේ මිනිත්තු 14.40.51ක තරග නිමි කාලයක් වාර්තා කරමිනුයි.
මීට අමතරව කාන්තා මීටර් 1500 ඉසව්ව නියෝජනය කළ W.K.L.A. නිමාලි විසින් මිනිත්තු 4.31.07ක තරග නිමි කාලයක් වාර්තා කරමින් ඉසව්ව ජය ගැනීමට සමත් වුනා.
රුමේෂ් සහ නදීශා සුපුරුදු පරිදි හෙල්ල විසි කිරීම ජය ගනී
මේ අතර කාන්තා සහ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව් ද සමඟ විසි කිරීමේ ඉසව් කිහිපයක අවසන් තරග ද ඊයේ ක්‍රියාත්මක වුනා.
මෙහි දී පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්ව නියෝජනය කළ රුමේෂ් තරංග විසින් නැවත වරක් මීටර් 80 කඩඉම පහසුවෙන් ම තරණය කරමින් (මීටර් 82.36) ඉසව්ව ජය ගැනීමට සමත් වුනා.
මේ අතර කාන්තා හෙල්ල විසි කිරීම ඉසව්වට සහභාගී වූ නදීශා ලේකම්ගේ මීටර් 58.05ක දුරක් හෙල්ල විසි කරමින් කාන්තා ශූරතාව හිමි කර ගැනීමට සමත් වුනා.
කාන්තා යගුළිය විසි කිරීම ඉසව්ව ජය ගැනීමට නාවික හමුදාවේ ඔවිනි චන්ද්‍රසේකර සමත් වූ අතර, එහි පිරිමි අංශයේ ජය යුද හමුදාවේ S.K.මිතුන්රාජ්ට හිමි වුනා.
මේ අතර පිරිමි මිටිය විසි කිරීමේ ඉසව්ව ජය ගැනීමට යුද හමුදාවේ K.K.D.M.ධර්මසේන විසින් සමත් වුනා.
- Nadalට පරාජයක්, රුමේනියාවට ඉතිහාසගත ජයග්‍රහණයක්!
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්‍රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
මදුශානි හේරත් සුපුරුදු දස්කම් අතරට
කාන්තා දුර පැනීමේ ඉසව්වේ අවසන් තරගය ද ඊයේ ක්‍රියාත්මක වුනා. මෙහි දී සුපුරුදු පරිදි ඉසව්ව පහසුවෙන් ම ජය ගැනීමට N.මදුශානි හේරත් සමත් වුනේ මීටර් 6.14ක දක්ෂතාවක් සමඟයි.
කෙටි දුර ධාවනයේ තොරතුරු
ඊයේ දිනයේ දී කෙටි දුර ධාවන ඉසව් කිහිපයක් ම නිමාවට පත් වුනා.
කාන්තා මීටර් 400 ඉසව්වට සහභාගී වූ නදීශා රාමනායක විසින් තත්පර 52.86ක තරග නිමි කාලයක් සමඟ ඉසව්ව ජය ගනිද්දී, තත්පර 52.97ක කාලයක් සමඟ සයුරි මෙන්ඩිස් ඉසව්වේ දෙවැනි ස්ථානය ලබා ගැනීමට සමත් වුනා. ඔවුන් දෙදෙනාට ම ඉහළ තරගයක් ලබා දුන් නිශේන්ද්‍රා ප්‍රනාන්දු තෙවැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වීම විශේෂත්වයක්.
මේ අතර කාන්තා මීටර් 100 කඩුලු පැන දිවීම ඉසව්ව තත්පර 13.68ක තරග නිමි කාලයක් සමඟ ජය ගැනීමට ලක්ෂිකා සුගන්දි සමත් වූ අතර, මීටර් 110 කඩුලු මතින් දිවීම ඉසව්ව ජය ගැනීමට රොශාන් රණතුංග සමත් වුනේ තත්පර 14.03ක තරග නිමි කාලයක් ද සමඟයි.
මීටර් 100 කාන්තා ඉසව්ව ජය ගැනීමට අමාශා ද සිල්වා විසින් සමත් වුනේ තත්පර 11.79ක තරග නිමි කාලයක් වාර්තා කරමිනුයි.
මේ අතර පිරිමි මීටර් 100 ඉසව්ව නියෝජනය කළ චමෝද් යෝදසිංහ විසින් තත්පර 10.37ක තරග නිමි කාලයක් වාර්තා කරමින් ඉසව්ව ජය ගැනීමට සමත් වුනා.
මේ අයුරින් තරගාවලියේ පළමු දිනයේ තරග ඊයේ නිමාවට පත් වූ අතර, අද (03) දිනයේ දී තරගාවලියේ දෙවැනි සහ අවසන් දිනය ක්‍රියාත්මක වීමට නියමිතයි. අද දිනයේ දී තවත් ඉසව් රැසක අවසන් තරග රැසක් ක්‍රියාත්මක වීමට නියමිතයි.
එම තරග තොරතුරු ද ඇතුළුව දෙස්, විදෙස් මලල ක්‍රීඩාවේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට Thepapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
<<තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>