ලෝක මේස පන්දුවෙන් ලංකාව විසි වෙයි

136
World Table tennis championship

2017 ලෝක ශූරතා මේස පන්දු තරගාවලියට සහභාගී වූ 10 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට සුදුසුකම් ලැබීමේ මූලික වටයේ දී ම තරගාවලියෙන් ඉවත් වන්නට සිදු විය.

54 වැනි වරටත් පවත්වනු ලබන මෙම තරගාවලිය ජර්මනියේ මේසේ ඩයල්ඩොර්ෆ් නුවර දී පැවති අතර ඊට රටවල් 106ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී විය. පසුගිය 29 වැනිදා ආරම්භ වූ තරගාවලිය පිරිමි ඒකල, කාන්තා ඒකල, පිරිමි යුගල, කාන්තා යුගල සහ මිශ්‍ර යුගල යන  අංශ 5ක් යටතේ පැවැත්විය.

>> ශූරතාවය විශාඛා හා සාන්ත ජෝසප් විද්‍යාලයට

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සහභාගී වූ පිරිමි ඒකල තරගවල දී පළමු වටයෙන්ම සියලුම ක්‍රීඩකයින් පරාජය විය. එහි දී ශ්‍රී ලංකා ජාතික මේස පන්දු ශූර උදය රණසිංහ, අලි කනාටේ හමුවේ තරග වට 4 – 1ක් ලෙස පරාජය වූ අතර මිලින්ද ලක්ෂිත හට තරග වැදීමට සිටි ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක මොහොමඩීන් හුසේන් තරගය සඳහා සහභාගී වූයේ නැත. ඉන්පසු මිලින්ද පැරගුවේ රාජ්‍යය සමඟින් තරග කළ අතර එහි දී තරග වට 4 – 0ක් ලෙස නැවතත් පරාජය වන්නට මිලින්දට සිදු විය.

ඊට අමතරව පිරිමි යුගල අංශයේ උදය සහ නිර්මාල් ද මිලින්ද සහ රොහාන් සහභාගී වූ  යුගල තරග ද්විත්වයම පරාජය විය. ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ අයර්ලන්ත හා මැකාව් ක්‍රීඩකයින් ය. එම තරග දිවිත්වයම ශ්‍රී ලංකාව පරාජය වූයේ පිළිවෙළින් වට 3 – 1ක් හා 3- 2ක් ලෙසයි.

කාන්තා ඒකල අංශය නියෝජනය කළ ඉෂාරා මදුරංගනී සහ හසනී කපුගීකියන යන ක්‍රීඩිකාවන් දෙදෙනා ද ඒකල තරග පරාජය වී සුදුසුකම් ලැබීමේ මූලික වටයෙන්ම ඉවත් වන්නට සිදු විය.

කාන්තා යුගල තරගයේ දී තරග වට 3- 2ක් ලෙස පරාජය වීමට ඉෂාරා මදුරංගනී සහ නුවනි නිවිද්‍යා හට සිදු වූ අතර 4- 11, 7- 11, 11-7, 11-8 සහ 8-11ක් ලෙස ලකුණු සටහන් විය. ශ්‍රී ලංකාව එහි දී පරාජය වූයේ අයර්ලන්ත ක්‍රීඩිකාවන් දෙදෙනෙකුටයි.

එම තරගයෙන් පසු හසනී පියුමාලි සමඟින් එරන්දි වරුණසවිතාන, උස්බෙකිස්තාන ක්‍රීඩිකාවන් හමුවේ තරග වට 3 – 0ක් ලෙස පරාජය වූ අතර 11-09, 11- 01 සහ 11- 03ක් ලෙස ලකුණු සටහන දිස් විය.

මිශ්‍ර යුගල තරගයේ දී ද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට අත් වූයේ පරාජයේ විඳ ගැනීමටයි. එහි පැවති තරග ද්විත්වයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් ලෙස අයර්ලන්තය හා මැකාව් කණ්ඩායම් තරග කරන ලදි.

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට