නුවන් ප්‍රදීප්ගේ සහයත් ශ්‍රී ලංකාවට අහිමිවෙයිද?

314
nuwan pradeep

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආබාධිත වේග පන්දු යවන්නන් අතරට තවත් ක්‍රීඩකයෙක් එක්වී ඇත. ඒ ඊයේ දිනයේ පැවති පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක්වූ නුවන් ප්‍රදීප් ය. ඔස්ට්‍රේලියාව සමග අනිද්දා (04) ගාල්ල ක්‍රීඩාංගනයේදී ආරම්භ වන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා, පාදයේ මස්පිඩු ආශ්‍රිත ආබාධයකට ලක්ව සිටින ඔහුගේ සහභාගීත්වය පවතින්නේ ඉතා අවිනිශ්චිත තත්ත්වයකය.

ඔස්ට්‍රේලියාව සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ එකම විශේෂඥ වේග පන්දු යවන්න ලෙස කටයුතු කලේද නුවන් ප්‍රදීප් ය.

ඔහු හැරුණු විට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධානතම වේග පන්දු යවන්නන් වන ධම්මික ප්‍රසාද්, දුෂ්මන්ත චමීර සහ සුරංග ලක්මාල් ද ඔවුන්ට ඇතිවූ ආබාධ තත්ත්වයන්ගෙන් තවමත් පූර්ණ සුවය ලබා නැත.

මේ තත්ත්වය මත පළමු ටෙස්ට් තරගය සඳහා නම් කල ශ්‍රී ලංකා සංචිතයේ සිටි අනෙක් වේග පන්දු යවන්නන් දෙදෙනා වන අසිත ප්‍රනාන්දු සහ විශ්ව ප්‍රනාන්දු ගෙන් එක් අයෙකුට දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලැබීමේ වැඩි ඉඩකඩක් පවතියි.

විශ්ව ප්‍රනාන්දු දේශීය තරග බිමේ අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් වන අතර අසිත ප්‍රනාන්දු මෑත කාලීනව ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමග එංගලන්තයේදී ඉහල දස්කම් ප්‍රකට කිරීමට සමත් විය.

කෙසේ වෙතත් හෙට (03) දිනයේදී යෝග්‍යතා පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසු, අනිද්දා ආරම්භ වන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ප්‍රදීප්ගේ සහභාගීත්වය පිලිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිතව අැත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට