Wrestling ක්‍රීඩාව වෙනුවෙන්ම උපන් ඔහුගේ ඔබ නොදත් කතාව

936
thesportsrush.com

ඔබත් WWE (World Wrestling Entertainment) රසිකයෙකු නම් “Kurt Angle” නම් ක්‍රීඩකයා ඔබට අමුත්තෙකු නොවෙයි. WWE ශූරතාවය සිව්වරක් ජයග්‍රහණය කිරීමට සමත්වූ ඔහු මේ වන විට WWE Monday Night Raw වැඩසටහනෙහි ප්‍රධාන කළමනාකරු ලෙස කටයුතු කරනවා. විවිධ බාධක, කම්කටොළු මැද මල්ලවපොර ක්‍රීඩාව සඳහා ඔලිම්පික් රන් පදක්කමක් ද හිමිකර ගැනීමට සමත් වූ “ඔහු” පිළිබඳ ඔබ නොදත් කතාවයි මේ.

Raw වැඩසටහනෙහි ප්‍රධාන කළමනාකරු ලෙස කටයුතු කරන Kurt Angle @performgroup.com

1968 වසරේ දෙසැම්බර් මස 09 වැනිදා Pennsylvania ප්‍රාන්තයේ Mt. Lebanon හිදී උපත ලැබූ Kurtගේ සම්පූර්ණ නම Kurt Steven Angle වූවා. Marie Jacqueline Angle සහ David Angle නම් මව්පිය දෙපලට දාව උපන් බඩ පිස්සා/බාලම දරුවා වූ Kurtට වැඩිමහල් සහෝදරයන් සිව්දෙනෙක් සහ එක් සහෝදරියක් සිටියා. මල්ලවපොර ක්‍රීඩාවට තිබූ කැමැත්ත නිසාම Kurt වයස අවුරුදු 7 සිට පුහුණුවීම් සඳහා සහභාගී වුනා. ඉන්පසු Mt. Lebanon උසස් පාසලට ඇතුළත් වන Kurt එහි දී මල්ලවපොර ක්‍රීඩාව පමණක් නොව ඇමරිකානු පාපන්දු (American Football) ක්‍රීඩාවත් ප්‍රගුණ කරන්නට පටන්ගත්තා. ඔහුගේ ඉමහත් කැපවීම නිසාම උසස් පාසලේ මල්ලවපොර තරගාවලියේ “අපරාජිත නවක ක්‍රීඩකයා” ලෙස ශූරතාවය හිමිකර ගෙන ප්‍රාන්ත මල්ලවපොර තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත් වුනා. එසේම ඔහු අන්තර් ප්‍රාන්ත ඇමරිකානු පාපන්දු තරගාවලිය සඳහා Pennsylvania ප්‍රාන්ත කණ්ඩායමේ Linebacker ක්‍රීඩකයෙකු ලෙස ද ක්‍රීඩා කළා.

Kurt Angle ළදරු අවධියේ
@Kurtanglebrand.com

1984 වසරේ දී Angle පවුලට බලාපොරොත්තු නොවූ අත්දැකීමකට මුහුණ දීමට සිදු වුනා. ඒ දොඹකර ක්‍රියාකරුවෙකු ලෙස රැකියාව කළ David Angle, එනම් Kurtගේ පියා මෙලොවින් සමුගැනීමයි. දොඹකරයෙන් වැටීම නිසා රෝහල් ගත කෙරුණු David දින දෙකක් කොමා තත්ත්වයේ සිට මියගිය අතර එය එවකට 16 හැවිරිදි Kurtට එල්ල කරන ලද මරු පහරක් බඳු වුනා. ඒ ඔහුගේ පියා ඒ වන විට ඔහු සහභාගී වූ සියලුම මල්ලවපොර තරග සහ ඇමරිකානු පාපන්දු තරග නැරඹීමට පැමිණ තමන්ට ලබා දුන් සහයෝගය නැවත නොලැබෙන බව සිතුණ නිසයි. පසුකලෙක තම පියාගේ අහිමිවීම පිළිබඳව Kurt මෙසේ පවසා තිබුණා.

“මගේ සියලු බය නැතිවී හැදී වැඩුණේ මගේ පියා අහිමි වූ දවසේ දී යි. එදා මං හිතට ගත්තේ මොන දේ අහිමි වුනත්, කුමක් කැප කිරීමට සිදුවුවත් ‘ශූරයෙකු’ වීමේ සිහිනය කවදාවත් නැති කරගන්නේ නෑ”

තම පියාගේ අහිමි වීමෙන් නොසැලුණු Kurt වෙනදාටත් වඩා දක්ෂතා අතරට ඒමට සමත් වූයේ තම මිත්‍රයන් පමණක් නොව පවුලේ සාමාජිකයන් ද පුදුමයට පත් කරමිනුයි. ඉන් වසර තුනකට පසු එනම් 1987 වසරේ දී Pennsylvania ප්‍රාන්ත මල්ලවපොර තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට සමත් වන ඔහු එම වසරේම ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික කනිෂ්ඨ මල්ලවපොර ශූරයා ලෙස ද සම්මාන හිමිකර ගැනීමට සමත් වුනා.

Kurtගේ පියා David Angle සහ මව Jacqueline Angle
@bodyheightweight.com

උසස් අධ්‍යාපනය නිමා කිරීමෙන් පසුව 1988 වසරේ දී Clarion විශ්ව විද්‍යාලයට ඇතුළත් වන Kurt එම වසරේ දී ම ලෝක ශූරතා කනිෂ්ඨ මල්ලවපොර තරගාවලියේ ශූරයා බවට පත්වීමට හැකි වුනා. එම දක්ෂතාවය සහ විශ්ව විද්‍යාලයේ දී එම වසරේ දැක්වූ තවත් දක්ෂතා නිසාම “වසරේ නැඟී එන නවක ශිෂ්‍යයා”ට හිමි සම්මානය හිමිකර ගැනීමට සමත් වුනා. 1990 වසරේ කැනේඩියානු කුසලාන මල්ලවපොර තරගාවලියේ ශූරතාවයට ද හිමිකම් කියූ Kurt එම වසරේම NCAA මල්ලවපොර තරගාවලියේදීත් ශූරයා බවට පත්වන්නේ ඔහුගේ මල්ලවපොර දිවියේ ඉදිරි ගමන සුබ වන බව අන් අයටත් පසක් කරමිනුයි. ඊටපසු වසරේ දී පැවැත්වූ NCAA මල්ලවපොර තරගාවලියේ අනුශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදුවන Kurtට නැවත 1992 වසරේ එම තරගාවලියේ දී ම ශූරතාවය හිමිකර ගැනීමට සමත් වන්නේ තමාගේ දක්ෂතාවය නිසා පමණක් නොව නොපසු බසිනා උත්සාහයේ සහ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙසයි. විශ්ව විද්‍යාලයේ දී ක්‍රීඩා කටයුතුවලින් පමණක් නොව අධ්‍යාපන කටයුතුවලින් ද සාර්ථකත්වයට පත්වන Kurt 1993 වසරේ දී විශ්ව විද්‍යාල ජීවිතයට සමුදෙන්නේ උපාධිධාරියෙකු ලෙසයි.

Clarion විශ්ව විද්‍යාලය නියෝජනය කරමින් තරග කරන Kurt Angle
@Kurtanglebrand.com

විශ්ව විද්‍යාලයෙන් පසුවත් පුහුණුවීම් වල නිරත වන Kurt 1995 වසරේ දී ඇමරිකානු ජ්‍යේෂ්ඨ මල්ලවපොර තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට සමත් වුනා. එම නිසා එම වසරේ ජෝර්ජියාවේ දී පැවති FILA ලෝක ශූරතා මල්ලවපොර තරගාවලියට සහභාගී වීමට වරම් ලැබූ Kurt එහි දී ද ශූරතාවය තමන් සතුකර ගැනීමට සමත් වුනා.

1995 වසරේ FILA ලෝක ශූරතා මල්ලවපොර තරගාවලියේ ශූරතාවය දිනා ගත් අවස්ථාව@Kurtanglebrand.com

එම ලෝක ශූරතා ජයග්‍රහණයත් සමඟ Pennsylvania ප්‍රාන්තයේ Foxcatcher මල්ලවපොර සංගමයට බැඳෙන Kurt එහි දී තම පුහුණුකරු ලෙස කටයුතු කළ, 1984 වසරේ ඔලිම්පික් රන් පදක්කම් ලාභී මල්ලවපොර ශූරයෙකු වූ David Schultz යටතේ පුහුණුවීම් කටයුතු ආරම්භ කළා. දිනකට පැය 8-10ත් අතරක කාලයක් පුහුණුවීම් වල නිරත වූ ඔවුන්ගේ අරමුණ වූයේ 1996 වසරේ පැවැත්වීමට නියමිත වූ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී මල්ලවපොර තරගවලින් පදක්කමක් ජයග්‍රහණය කිරීමයි.

නමුත් තම පුහුණුකරු යටතේ එතරම් කාලයක් පුහුණුවීම් කටයුතු කිරීමට Kurt ඇතුළු Foxcatcher මල්ලවපොර කණ්ඩායමට නොහැකි වන්නේ ඔහුට වෙඩි තබා ඝාතනය කිරීම හේතුවෙනුයි. ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා තරග වදින මල්ලවපොර කණ්ඩායමට අනුග්‍රාහකත්වය දැක්වූ John du Pont නම් ධනපතියා විසින් සිදුකරන ලද මෙම වෙඩි තැබීම නිසා Kurt විශාල අපහසුතාවයකට මුහුණ දුන්නා. නමුත් ඊටත් වඩා ලොකු බලපෑමක් කිරීමට සමත් වුනේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තරග කිරීමට මල්ලවපොර කණ්ඩායම තෝරා ගැනීම සඳහා පැවැත්වූ සුදුසුකම් ලැබීමේ තරගයක දී Kurtගේ ගෙල බිඳීමකට ලක්වීමයි. එම ආබාධය සමඟ තවදුරටත් තරගය ක්‍රීඩා කළ Kurt එම තරගය ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර එමඟින් ඔලිම්පික් තරග සඳහා සහභාගී වීමට වරම් හිමිකර ගැනීමට හැකි වුනා.

David Schultz (ඉහළ) සහ John du Pont (පහළ) @Courtesy- reddit.com

තමාගේ ගෙලෙහි වූ බිඳීම සඳහා ලබා ගත් MRI ස්කෑන් වාර්තාවට අනුව වෛද්‍යවරුන් පවසා සිටියේ අවම වශයෙන් මාස 6ක් වත් විවේක ගත යුතු බවයි. එසේ විවේක ගැනීමට සිදුවුවහොත් තමන්ගේ ඔලිම්පික් සිහිනය බොඳ වන බව Kurt හොඳින් තේරුම් ගෙන තිබුණා. නමුත් ඔහුට හමු වූ එක් වෛද්‍යවරයෙකු පැවසුවේ පුහුණුවීම් නොකර වේදනා නාශක භාවිතයෙන් ඔහුට සුවය ලබාගත හැකි බවයි. එම වෛද්‍යවරයාගේ උපදෙස් ඒ ආකාරයෙන්ම සිදු කිරීමට Kurt සිතාගත්තේ අන් සෑම දෙයකටම වඩා ඔලිම්පික් සිහිනය තමාට වැදගත් වූ නිසයි. එයටත් වඩා තම මියගිය පියාට සහ පුහුණුකරුට ගෞරවයක් අත්කර දීමේ අවශ්‍යතාවය ඔහුට තිබුණා.

එම නිසා වෛද්‍ය උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපැදූ Kurt මාස 5ක් ඇතුළත ක්‍රීඩා කළ හැකි ලෙස සුවයක් ලැබුවත් ඔහුට තවත් ගැටලුවක් පැනනැඟුණා. ඒ ඔහු තම ගෙල පෙදෙසෙන් නැඟෙන වේදනාව අඩු කරගැනීමට භාවිතා කළ වේදනා නාශකවලට ඇබ්බැහි වීමයි. නමුත් වේදනා නාශකවල ආධාරයෙන් හෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තරග කිරීමට Kurt සිතාගත්තේ කෙසේ හෝ ශූරතාවය හිමිකර ගැනීමේ අවශ්‍යතාවය නිසයි. ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී සහභාගී වූ ප්‍රථම තරගයේ සිට ජයග්‍රහණය කරමින් Kurt ක්‍රමක්‍රමයෙන් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමට සමත් වුණා. අවසන් මහා තරගයේ දී Kurtගේ ප්‍රතිවාදියා වූයේ ඉරාන ජාතික මල්ලවපොර ක්‍රීඩකයෙකු වූ Abbas Jadidi යි. අවසන් මහා තරගයේ දී වට 1-1ක් ලෙස සම තත්ත්වයේ පසු වුවත් විනිසුරුවරයාගේ තීරණයට අනුව Kurtට ජයග්‍රහණය හිමි වුනා. එම ජයග්‍රහණයත් සමඟ ඔහු පවසා සිටියේ ඔහුට හිමි වූ ඔලිම්පික් රන් පදක්කමේ සම්පූර්ණ ගෞරවය තම මියගිය පුහුණුකරු වූ David Schultzට හිමි විය යුතු බවයි.

Kurt Angle තම ඔලිම්පික් පදක්කම අතැතිව @Courtesy- Pittsburgh Post-Gazette

ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ හිමිකර ගත් ජයග්‍රහණයත් සමඟ ඔහුට ECW (Extreme Championship Wrestling) නම් වැඩසටහනෙන් ආරාධනා ලැබුනත් එහි තිබූ අන්තරායක බව දුටු Kurt එය ප්‍රතික්ෂේප කළා. නමුත් 1998 වසරේ WWF (World Wrestling Federation/වර්තමානයේ එය WWE ලෙස හඳුන්වයි) හි වැඩසටහනක් වූ Monday Night Raw නැරඹීමෙන් පසුව WWF වෙත පිවිසීමේ ආශාවක් ඔහු තුළ ඇති වුනා. 1998 වසරේ ඔක්තෝබර් මාසයේ දී ඔහු WWF ආයතනය සමඟ වසර 5ක ගිවිසුමකට අත්සන් කර Dory Funk නම් පුහුණුකරු යටතේ පුහුණුවීම් කටයුතුවල නිරත වුනා.

පුහුණුවීම් අරඹා සතියකට පමණ පසු නවක ක්‍රීඩකයින් සඳහා වන WWA (World Wrestling Alliance) හි පළමු තරගයට පෙනී සිටි Kurt පළමු වරට WWF හි පෙනී සිටින්නේ 1999 වසරේ මාර්තු මාසයේදීයි. එතැන් සිට WWF/WWE හි ප්‍රධාන ක්‍රීඩකයෙකු වන Kurt විවිධ ශූරතා ජයග්‍රහණය කිරීමට සමත් වුනා. 2001 වසරේ දී Kurt හට ඇමරිකා එක්සත් ජනපදයේ මල්ලවපොර Hall Of Fame (USA Wrestling Hall of Fame) ලැයිස්තුවට සහ ජාතික ආධුනික මල්ලවපොර Hall Of Fame (National Amateur Wrestling Hall of Fame) ලැයිස්තුවට ඇතුළත් වීමට හැකි වුනා. 2006 වසරේ දී WWE ආයතනයෙන් ඉවත්වන Kurt ඉන්පසු එම වසරේ දී ම TNA ආයතනය සමඟ සම්බන්ධ වුනා.

TNA තරගයක පෙනී සිටින Kurt Angle@Courtesy- Kurtanglebrand.com

2011 වසරේ දී මාධ්‍ය හමුවේ Kurt පවසා සිටියේ තමා එළඹෙන 2012 වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වීමට සූදානම් වන බවයි. නමුත් දණහිසෙහි ඇතිවූ ආබාධයක් නිසා Kurt හට එම අවස්ථාව අහිමි වුනා. 2013 වසරේ දී TNA ආයතනයෙන් ඉවත් වන විට එහි ද ශූරතාවයන් රැසකට හිමිකම් කීමට ද Kurt සමත් වුනා. එම වසරේ දී ම TNA Hall Of Fame ලැයිස්තුවට ඇතුළත් වන Kurt හට 2016 වසරේ ජාත්‍යන්තර ක්‍රීඩා Hall Of Fame (International Sports Hall of Fame) ලැයිස්තුවට ද ඇතුළත් වීමට සුදුසුකම් ලබා ගැනීමට හැකි වුනා. 2017 වසරේ දී WWE Hall Of Fame ලැයිස්තුවට ඇතුළත් වන Kurt එම වසරේ දී ම WWE ආයතනයේ Monday Night Raw වැඩසටහනෙහි ප්‍රධාන කළමනාකරු ලෙස තෝරාගනු ලැබුවා. එතැන් සිට මේ දක්වා ඔහු එම වෘත්තියේ නියැලෙමින් විශේෂ අවස්ථාවන් වල තරග සඳහා ද පෙනී සිටිනවා.

WWE Hall Of Fame ලැයිස්තුවට ඇතුළත් වූ Kurt Angle@WWE Network

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<