මොරටුව යන නම ඇසූ සැණින් සිහිපත් වන්නේ බයිලා ය. නැතිනම් ලී බඩු ය. එසේත් නැතිනම් ක්‍රිකට් ය. බයිලා, ලී බඩු හා ක්‍රිකට්වලින් තොර මොරටුවක් ගැන මොහොතක් සිතන්නට මම ඔබට යෝජනා කරමි. ඔබට එය කළ නොහැක. ඔබට එය කළ හැකි වුවත් මොරටුවේ උපන් මොරටු පුත්‍රයෙකුට නම් එය කිසිසේත්ම කළ නොහැක. ඒ බයිලා, ලී බඩු හා ක්‍රිකට් මොරටු පුතුන් ගේ ආත්මය හා බැඳී පවතින බැවින් ය. 

මා මේ ඔබට කියන්නට යන්නේ බයිලාවක් නොවේ. ලී බඩු ගැන ද නොවේ. 

මේ ලියැවෙන්නේ මොරටු පුරයෙන් ක්‍රිකට් ලොවට දායාද වූ, කළු නික තරමටම වටිනාකමක් ඇති සුජාත මොරටු පුත්‍රයෙක් ගැනය. ඉතින් අනාගතයේ යම් දිනක අතීත වටිනාකම් විමසන අයවලුන්ගේ හිතසුව පිණිස ඔහු ගැන මම මෙසේ ලියා තබමි.

රොමේෂ් කලුවිතාරණ..

© flickr

බොහෝ දෙනෙකුට ඔහු ලිට්ල් කලූ ය. තවකෙකුට ලිට්ල් ඩයිනමෝ ය.. ඇතැමුන්ට ඔහු පොකට් රොකට් ය. මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තැබූ කලූ 1990 වසරේ එක්දින කණ්ඩායමට ඇතුලත් වීමත් සමඟ ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ වරම් දිනා ගත්තේ විසි එක් හැවිරිදි වියේ දී ය

ශරීර ප්‍රමාණයෙන් කුඩා වුවද ඔහුගේ ජවසම්පන්න පෞරුෂය සුවිශේෂී ය. තම මංගල තරඟයේ දී ප්‍රබල ඕස්ට්‍රේලියානු පන්දු බල ඇණියට එරෙහිව නොදැවී ලකුණු 132ක් රැස් කළ කලූ ශේන් වෝන්ට පිටිය සිසාරා කට් පහරවල් හා පුල් පහරවල් එල්ල කළේ ඔහුව තුට්ටුවකට මායිම් නොකරමිනි.

කළුවිතාරණ කියූ පමණින්ම අත් ආවරණ යුගලය පැළඳගෙන කඩුල්ල පිටුපසට වී පිතිකරුවන්ගේ කන් පිරෙන්නට තොරතෝංචියක් නැතිව කියවන ඒ හුරුබුහුටි කඩුලු රකින්නාගේ රුව  ඔබේ සිත තුළ මැවෙනු ඇත. එසේ නැතිනම් තමාගේ ප්‍රමාණයට වඩා විශාල කමිසයකින් සැරසී, හෙල්මටයත් පා ආවරණත් පැළඳ ගෙන පිටියට පිවිසෙන ඒ කඩිසර තරුණයා ඔබේ සිත තුළ මැවෙනු ඇත.

අර්ජුන රණතුංග නම් වූ ඒ විශිෂ්ට නායකයා නොවන්නට කළුවිතාරණ කෙනෙකු ද අපට අහිමි වන්නට තිබුණි. අර්ජුනගේ නායකත්වය යටතේ අර්ජුන, අරවින්ද, දුලිප් මෙන්ඩිස් සුසංයෝගයේ ප්‍රතිඵලයක් ලෙස බිහි වූ එදා මෙදාතුර ක්‍රිකට් ලෝකයේ බිහිසුණුම ආරම්භක පිතිකරු යුගලය එක්දින පිටිය තුළ ක්‍රිකට් ක්‍රීඩාව උඩු යටිකුරු කරන්නට සමත් වූයේ “ශ්‍රී ලාංකික ක්‍රිකට් අනන්‍යතාවය” (Sri Lankan Brand of Cricket) ලොවට හඳුන්වා දෙමිනි.

© dhakatribune

90 දශකයේ මැද භාගය වන තෙක්ම ක්‍රිකට් ක්‍රීඩාවට හදිසි පහර දීම (Pinch Hitting) යන සංකල්පය ආගන්තුක එකක් විය. එකල සාම්ප්‍රදායිකව පවත්වා ගෙන ආ රටාව වූයේ මුල් පන්දුවාරවල දී කඩුල්ල ආරක්ෂා කරගෙන ක්‍රීඩාවේ යෙදෙමින් අවසන් පන්දුවාර 5ක් 10ක් තුළ හැකි උපරිම ලකුණු රැස්කර ගැනීමයි.

නමුත් සනත් – කලූ ආගමනයෙන් එතෙක් කලක් අනුගමනය කළ සාම්ප්‍රදායික ක්‍රමය වෙනුවට පළමු පන්දුවාර 15 තුළ වේගයෙන් පහර එල්ල කිරීම හඳුන්වා දීමත් සමඟ ප්‍රතිවාදී කණ්ඩායම් අන්දමන්ද වී ගියේ පන්දු යවන්නන්ව කිසිවක් කර කියා ගත නොහැකි මට්ටමකට ඇද දමමිනි. ප්‍රතිවාදී කණ්ඩායම් ශ්‍රී ලංකාවේ මේ උපක්‍රමය හඳුනා ගන්නා විට ශ්‍රී ලංකා කණ්ඩායම 1996 ලෝක කුසලානය ජයග්‍රහණය කර හමාරය.

ජයසූරිය තමාගේ කස පහර වැනි පහරවල් වලින් මාධ්‍යවල හා ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනා ගන්නා විට කළුවිතාරණ වෙත ජයසූරිය තරමටම අවධානය යොමු වූයේ නැත. ජයසූරියගේ දැවැන්ත සෙවණැල්ලට යටවී ක්‍රීඩා කිරීමට සිදුවීම නිසා ලැබිය යුතුව තිබූ බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර හා මාධ්‍ය අවකාශයන් කලූට අහිමි වී ගියේය.  

නමුත් ඔහු ඒ පිළිබඳව තැකීමක් කළ අයෙකු නොවේ. තමාට පැවරුණ රාජකාරිය ඉටු කිරීමෙන් පමණක් තෘප්තිමත් වූ ඔහු නිහඬවම තම පිතිකරණ වගකීම් ඉටු කළේය. ඔහු පන්දුවාර 50ක් කඩුලු රැකීමේ නිරතව සිටිය දී පවා වෙහෙස නොතකා යළිත් පිටියට පිවිස ඉනිම ආරම්භ කරමින් කණ්ඩායම ජයග්‍රාහී මාවතට යොමු කිරීමට පදනම දැමූ අවස්ථා ගණන බොහෝ ය. 

ක්‍රිකට් වාර්තා සොයා යන කෙනෙකුට හෝ ක්‍රිකට් දත්ත පරීක්ෂා කරන අයෙකුට ඔහුව හමුවීමට ඇති අවස්ථාව අල්ප ය. එහෙත් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය උදෙසා විශාල බලපෑමක් ඇති කළේය. ඔහු කිසිදා දත්ත හෝ වාර්තා පදනම්ව ක්‍රීඩා කළේ නැත. එකල බොහෝ ක්‍රීඩකයන් එසේ ය. ඔවුන් ගේ එකම අරමුණ වූයේ කණ්ඩායම ජයග්‍රහණය කරවීම ය.

© cricketique

ඔහුගේ ටෙස්ට් සාමාන්‍යය 26.12ක් සහ එක්දින සාමාන්‍යය 22.22කි. ජාත්‍යන්තර තරග 238ක් තුළ ඔහු රැස්කරගෙන ඇත්තේ ශතක 5ක් පමණි. ඒ තුළ කතා කළ යුතු විශේෂ කරුණක් නැතැයි බැලූ බැල්මට යමෙකුට හැඟෙනු ඇත. බොහෝ විට ඔහු රැස් කළේ ලකුණු 20ක් 30ක් පමණි. ඒ පන්දු 15කට 20කට පමණක් මුහුණ දෙමිනි. නමුත් ප්‍රේක්ෂකයන් ඔහුට කිසිදා දොස් පැවරුවේ නැත. මක් නිසා ද යත් කණ්ඩායම තුළ ඔහුට පැවරුණ රාජකාරිය එය බැව් ඔහු පමණක් නොව ප්‍රේක්ෂකයන් ද හොඳින් වටහාගෙන සිටි නිසාය. එකල ප්‍රේක්ෂකයන් එසේය.

කඩුල්ල පසුපස සිටිමින් පන්දු යවන්නා සහ අනෙකුත් පන්දු රකින්නන් දිරි ගැන්වීමේ කාර්යයේ දී කළුවිතාරණ පුරාවෘත‍යකි. මුරලිදරන්, චමින්ද වාස් වැන්නවුන් දිරිගැන්වීමට ඔහු භාවිතා කළ වදන් අදටත් අපගේ සවන් තුළ දෝංකාර දෙන්නේ ඒ මතකයන් යළි යළිත් අප වෙත සිහිගන්වමිනි.. මුරලිදරන්ව “මුරේ” ලෙසත්, චමින්ද වාස්ව “වාසි” ලෙසත් ආමන්ත්‍රණය කළ කලූ පිතිකරුවන්ගේ දුර්වල ස්ථාන හඳුනා ගෙන පන්දු යවන්නන්ට උපදෙස් දීමෙහි ද දක්ෂයෙකි.

මුරලිදරන් පන්දු යවන විට “මුරේ හොඳට උඩදාලා දෙන්න”, “මුරේ එකක් කපලා පෙන්නන්න” වැනි යෝජනා ඉදිරිපත් කරන ඔහු එම යෝජනාවට අනුව මුරලි පන්දුව යොමු කළ විට “අන්න හරි.” යනුවෙන් පවසන්නේ සිනහවින් මුව සරසාගෙනය. උඩ පන්දුවක් හෝ උඩ පන්දුවකට ආසන්න පන්දුවක් යොමුවන විට “අල්ලගන්න.. ” හෝ “අල්ලපාන්….” යනුවෙන් මහ හඬින් කෑ ගැසීම කලූගේ පුරුද්දකි. එය යොමු වන්නේ ශෝට් ලෙග් හෝ සිලි පොයින්ට් වැනි පිතිකරු අසල පන්දු රකින්නෙකු වෙත නම් සම්පූර්ණ වචනයම කීමට කාලය නැති බැවින් “අල්ල..” යනුවෙන් ඔහුට කෑගැස්සවෙයි.. 

© sportskeeda

එය ඔහු සිතා කරන දෙයක් නොවේ.. එකල බොහෝ ක්‍රීඩකයන්ට මෙන්ම ප්‍රේක්ෂකයන්ටත් වැළඳී තිබූ ක්‍රිකට් උණ නිසා සිදුවන දෙයකි එය.. ඔවුන් සිත, කය, වචනය යන තුන් දොරම තරගය වෙත යොමුකරවාගෙන සිටි වකවානුවකි ඒ. එසේම දිවා ආහාරය හෝ තේ පානය කිට්ටු වන විට “කට්ටියම එන්න ළමයි.. තව එකක් අරන් යං..” වැනි වදන් වලින් කණ්ඩායම එකට බැඳ තබාගත් ආකාරය බලා සිටින ප්‍රේක්ෂකයන්ට ද ගෙන ආවේ ආශ්වාදයකි.

කඩුලු රැකීමේ කාර්යයේ යෙදෙන විට කලූ පිතිකරුවාගේ පා ඉන්න දෙසින් පැමිණෙන පන්දු රැකගැනීමෙහි ශූරයෙකි. ඔහු පා ඉන්න දෙසින් ආ පන්දු සැණින් ග්‍රහණය කරගෙන ස්ටම්ප් කිරීමෙන් පිතිකරුවන් දවා ගත් වාර ගණන බොහෝ ය. එක් අවස්ථාවක දී ඔහු ඕස්ට්‍රේලියානු පිතිකරු ඩැරන් ලීමන්ව උපක්‍රමශීලී අයුරින් ස්ටම්ප් කිරීමකට හසුකරගත් ආකාරය ප්‍රේක්ෂකයන්ට අමතක නොවෙන මතකයකි. කලූ කඩුල්ල පසුපස සිටගෙන සිටීමම ප්‍රතිවාදී පිතිකරුවන්ට හිසරදයකි. ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවෙකු වූ මැතිව් හේඩ්න් පවා වරක් පවසා තිබුණේ ශ්‍රී ලාංකිකයන් කඩුල්ල වටා සිට කරන මිමිණීම් ඉතා කරදරකාරී බවය (They are annoyingly chirpy). කලූ එයට කදිම උදාහරණයකි.

© espncricinfo

කලූගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ලැබුණ දේ මෙයැයි කියා ලඝු කොට තැබිය නොහැක. ක්‍රීඩා දිවිය අවසානයේ ඉන් නොනැවතී පුහුණුකරුවෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් හා එක්වී යොවුන් ක්‍රීඩකයන් පුහුණු කරවීමට ඔහු ලබා දෙන දායකත්වය ද අපමණය. ඒවා මෙසේ ලිපියකින් ලියා තැබිය හැකි දේවල් නොවේ. නමුත් ක්‍රිකට් ක්‍රීඩාව තුළ කලූ අපට ඉතිරි කර ගිය මතකයන් අපමණ ය. මෙය කියවන බොහෝ පාඨකයන්ගේ කුඩා හා තරුණ කාලයන් ගෙවී ගියේ ජයසූරියලා කලුවිතාරණලාගේ දස්කම් විස්කම් මැද ය. ඒවා ප්‍රේක්ෂක සිත් තුළ සදා නොමැකෙන මතකයන් ය.

ක්‍රීඩාගාරයේ සිට කළුවිතාරණත් සනත් ජයසූරියත් එකිනෙකාට නොදෙවෙනි කඩිසර ගමනකින් හතරේ සීමාව පසුකර පිටිය වෙත පිවිසෙන දර්ශනය දැක ශරීරයේ හිරිගඩු පිපුණේ නැති ප්‍රේක්ෂකයෙක් 90 දශකයේ ශ්‍රී ලංකාවේ සිටියේ නැත. ඒ දර්ශනය දැකීමෙන් භීතියට පත් නොවූ පන්දු යවන්නකු ද එකල සිටියේ නැත. වමත් කසකරුවෙකු සමඟ පිටියට පැමිණෙන කුඩා ඩයිනමෝවක් වැනි එතරම් උස නැති පිතිකරුවෙකු ක්‍රීඩා පිටිය මැදට විත් ඉතා උස පන්දු යවන්නන් යොමු කරන කෙටි පන්දුවලට රිසි සේ එල්ල කරන පුල් පහරවල්, හුක් පහරවල්, කට් පහරවල් ඔබටත් මතක නම් ඔබත් ඒ සුවිශේෂී ප්‍රේක්ෂක පරම්පරාවේ එක් අයෙකි.. ඔවුන් අපට ඉතිරි කර ගිය මතක ඒවාය..

කලූ.. ඔබේ මතකයන්ට ස්තූතියි..

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<