මාරිස්ටෙලා විද්‍යාලයට ප්‍රථම ඉනිමේ ජයක්

1737
Sri Lanka Schools Cricket U19 Round up

වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරග වාරයේ පළමු කාණ්ඩයේ  අද (26) පැවති තරග අතුරින් දෙවන දිනයටත් ක්‍රියාත්මක වූ කළුතර සිරි කුරුස විද්‍යාලය සහ මාරිස්ටෙලා විද්‍යාලය අතර තරගයෙන් ප්‍රථම ඉනිමේ ජයක් හිමිකර ගන්නට මාරිස්ටෙලාවන් සමත් විය. පිත්තෙන් ලකුණු 99ක් රැස් කල සංඛ පූර්ණ සහ තුන් ඉරියව්වෙන්ම කැපී පෙනුනු සචිඳු කොළඹගේ එම ජයග්‍රහණයේ ප්‍රබල කොටස් කරුවන් බවට පත්වූහ.

පසුගිය ලිපි: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින් 100ක් සමඟ ගිවිසුමකට

කළුතර සිරි කුරුස විද්‍යාලය සහ මාරිස්ටෙලා විද්‍යාලය අතර තරගය

මග්ගොන සරේ විලේජ් හිදී දෙවැනි දිනයටත් ක්‍රියාත්මක වූ මෙම තරගයෙන් ප්‍රථම ඉනිමේ ජයක් ලබන්නට මාරිස්ටෙලා විද්‍යාලය සමත් විය. කාසියේ වාසිය දිනූ මාරිස්ටෙලා නායකයා මුලින්ම පන්දුවට පහර දීමට සිරි කුරුස ක්‍රීඩකයින්ට ආරාධනා කලේ ඔවුන් අඩු ලකුණු ගණනක් තුල නතර කර ගැනීමේ අටියෙනි. එම බලාපොරොත්තු සඵල කරමින් හොඳ පන්දු යැවීමක නිරත වුනු මාරිස්ටෙලා පන්දු යවන්නෝ සිරි කුරුස ප්‍රථම ඉනිම ලකුණු 259කට සීමා කළහ. ලහිරු අංගවිට (63) සහ මලින්ද ජයෝද් (58) අර්ධ ශතක වාර්තා කරමින් සිරි කුරුස ඉනිම ශක්තිමත් කල අතර පසිඳු පෙරේරා ඊට ලකුණු 45කින් දායකත්වය දක්වන ලදී. පන්දුවෙන් අගනා කාර්ය භාරයක් ඉටු කල සචිඳු සහ ලසිත් කඩුලු 9ක්ම තමන් අතරේ බෙදා ගත්තේ මාරිස්ටෙලා විදුහලට ප්‍රථම ඉනිමේ ජයග්‍රහණයක් සඳහා අවශ්‍ය මංපෙත් විවර කර දෙමිනි.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන්නට පිටියට පිවිසි මාරිස්ටෙලා පිතිකරුවෝ සිරි කුරුස පළමු ඉනිමට වඩා ලකුණු 88ක් ඉදිරියෙන් සිය ඉනිම නිමා කරන්නට සමත් වූහ. තම විද්‍යාලය වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කල සංඛ පූර්ණට සිය ශතකට එක් ලකුණක් මෙපිටින් අවාසනාවන්ත ලෙස තම ඉනිම නිමා කරන්නට සිදු විය. පන්දුවෙන්ද දස්කම් දැක්වූ සචිඳු කොළඹගේ මෙවර පිත්තෙන් ලකුණු 85ක් රැස් කිරීමට සමත් විය. නවීන් නිර්මාල් ලකුණු 44යි. දක්ෂ පන්දු යැවීමක නිරත වුනු රෙහාන් වාස් සිරි කුරුස විද්‍යාලය වෙනුවෙන් කඩුලු 4ක් බිඳ හෙලන්නට සමත් විය.

සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි සිරි කුරුස විදුහලේ පිතිකරුවෝ දිනය නිමාවන විට කඩුලු 7ක් දැවී ලකුණු 117ක් රැස් කරගෙන සිටියහ. මලින්ද ජයෝධ (62) අර්ධ ශතකයක් වාර්තා කරද්දී තරගය පුරා කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වූ සචිඳු කොළඹගේ දෙවැනි ඉනිමේ කඩුලු 3ක් බිඳ හෙලන්නට සමත් විය. කෙසේ වෙතත් ප්‍රථම ඉනිමේ දී දක්ෂ ලෙස පන්දුවට පහර දී සිරි කුරුස ඉනිම ඉක්මවා ගිය මාරිස්ටෙලා ක්‍රීඩකයින්ට ප්‍රථම ඉනිමේ ජයග්‍රහණයක් හිමිවිය.

කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 259 (පන්දුවාර 67.3): මලින්ද ජයෝද් 58, ලහිරු අංගවිට 63, පසිඳු පෙරේරා 45, නදීර මධුවන්ත 36, සචිඳු කොළඹගේ 5/48, ලසිත් කෲස්පුල්ලේ 4/74.

මාරිස්ටෙලා විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 347 (පන්දුවාර 81): සංඛ පූර්ණ 99, සචිඳු කොළඹගේ 85, නවීන් නිර්මාල් 44, අශාන් දක්ෂිත 33, රෙහාන් වාස් 4/61, අවිශ්ක පෙරේරා 2/44.

කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 7ක් දැවී ලකුණු 117 (පන්දුවාර 41): මලින්ද ජයෝධ 62, අවිශ්ක පෙරේරා 25*, පසිඳු උශෙට්ටි 3/22, සචිඳු කොළඹගේ 3/11.


ලුම්බිණි විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර තරගය

කොළඹ කෝල්ට්ස් පිටියේදී ක්‍රියාත්මක වන මෙම තරගයේ ප්‍රථම දිනය නිමා වන විට දෙපිලටම සම වාසි හිමිව තිබේ. කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දු යැවීම තෝරාගත් මහානාම විද්‍යාලයේ බලාපොරොත්තු මල්ඵල ගන්වමින් ලුම්බිණි ප්‍රථම ඉනිම ලකුණු 216කට නිමා කරන්නට ඔවුන්ට හැකි විය. එහිදී තානුක දාබරේ අර්ධ ශතකයක් ද, චරිත් මිහිරංග ලකුණු 36ක් ද රැස් කිරීමට සමත් වූහ. පන්දු යැවීමේදී නිදූක වැලිකල (3/48) හා හෂාන් සන්දීප (2/41) අතරේ කඩුලු 5ක් බෙදී ගියේය.

දිනය නිමාවන විට පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන මහානාම පිතිකරුවන් කඩුලු 2ක් දැවී ලකුණු 51ක් ලබා සිටියි. නොදැවී පන්දුවට පහර දෙන කවිඳු මුණසිංහ ලකුණු 31ක් ලබා සිටියි. හෙට තරගයේ දෙවැනි දිනයයි.

ලුම්බිණි විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 216 (පන්දුවාර 70.5): තනුක දාබරේ 50, චරිත් මිහිරංග 36, තරිඳු සංජීව 34, කණිෂ්ක මදුවන්ත 20*, රුවින් පීරිස් 17, නිදූක වැලිකල 3/48, හෂාන් සන්දීප 2/41.

මහානාම විද්‍යාලය කඩුලු දෙකක් දැවී ලකුණු 51 (පන්දුවාර 16): කවිඳු මුණසිංහ 31*.


කෝට්ටේ සාන්ත තෝමස් විද්‍යාලය සහ වත්තල සාන්ත ඇන්තනි විද්‍යාලය අතර තරගය

වත්තල සාන්ත ඇන්තනි විදුහල් ක්‍රීඩා පිටියේදී පැවැත්වෙන මෙම තරගයේ ප්‍රථමයෙන්ම පන්දුවට පහර දුන් සාන්ත තෝමස් පිතිකරුවන් සියලු දෙනාම ලකුණු 136ක් තුලදී දැවී ගියහ. ඒ කාසියේ වාසිය දිනාගත් සාන්ත ඇන්තනි නායකයාගේ ඇරයුමකට අනුව පිටියට පිවිසෙමිනි. අරුක්ෂ මනුල ලකුණු 36ක් රැස් කරද්දී දක්ෂ ලෙස පන්දු යැවීමේ නිරත වුනු ජයවීර සහ දුලාංජන තෝමසුවන් සත් දෙනෙකු නැවතත් ක්‍රීඩාගාරයට හරවා යවන්නට සමත් වූහ.

පිලිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙන සාන්ත ඇන්තනි පිතිකරුවෝ දිනය නිමා වන විට කඩුලු 6ක් දැවී ලකුණු 114ක් රැස් කරගෙන සිටිති. හෙට තරගය දෙවැනි දිනයටත් ක්‍රියාත්මක වේ.

කෝට්ටේ සාන්ත තෝමස් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 136 (පන්දුවාර 57.5): අරුක්ෂ මනුල 36, එදිරිසූරිය ජයවීර 4/49, මෙවන් දුලාංජන 3/22.

වත්තල සාන්ත ඇන්තනි විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 114 (පන්දුවාර 34.2): ඩිලෝන් ප්‍රසන්න 23, පසිඳු චතුරංග 22

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට