ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය සංවිධානය කරනු ලබන 2018 සිංගර් පාසල් රග්බි ලීග් තරගාවලියේ B කාණ්ඩය නියෝජනය කරනු ලබන දකුණු පළාතේ එකම කණ්ඩායම වන්නේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායමයි. හේෂාන් ද සිල්වාගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායම මෙවර තරගාවලියට සහභාගී වීමේ සූදානම් වීම පිළිබඳ පිළිබඳව ThePapare.com තබන සටහනකි මේ.

ආනන්ද රග්බි කණ්ඩායම නව මුහුණුවරකින් මෙවර සටන් බිමට

දිවයිනේ ප්‍රමුඛතම බෞද්ධ තක්ෂිලාවක් වන කොළඹ ආනන්ද විද්‍යාලයීය රග්බි කණ්ඩායම A…

අපි හොඳ ලීග් එකක් සෙල්ලම් කරන බලාපොරොත්තු වෙනවා. පළමු තරගය අපෙන් මඟ හැරුණා. අපේ කාණ්ඩයේ සිටින දක්ෂතම කණ්ඩායම ලුම්බිණි. තරගයට පිවිසි වෙලාවේ සිටම ඔවුන් අපිට කිසිම අවස්ථාවක් දුන්නේ නැහැ. යම් තරමකින් හෝ හිස ඔසවන්න දුන්නේ අවසන් අවස්ථාවේ දී. ඒත් අනෙක් තරග එහෙම වෙන්නේ නැහැ. ඉදිරි තරගවල දී අපි ප්‍රතිවාදීන් සමඟ හොඳ තරගයකට පිවිසෙනවා. කොහොමටත් අපේ බලාපොරොත්තුව මෙවර තරගාවලිය හොඳින් කරලා, මේ ලීග් එකේ ශූරයන් වෙන්න. ”

රිච්මන්ඩ් විද්‍යාලයීය රග්බි නායක හේෂාන් ද සිල්වා ThePapare.com වෙත අදහස් දක්වමින් මේ කතාබහට එක්විය.

පසුගිය වසරේ දී රිච්මන්ඩ් ක්‍රීඩකයෝ C කාණ්ඩයේ සිට B කාණ්ඩය දක්වා උසස් වීම් ලබා ගත්තේය. ඒ අනුව ඔවුන් B කාණ්ඩයෙන් තරගාවලිය නියෝජනය කරනු ලබන පළමු අවස්ථාව මෙය යි. එය ඓතිහාසික අවස්ථාවකි. එහෙත් එකී ජයග්‍රාහී වසරේ ක්‍රීඩා කළ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් 5 දෙනෙකුගේම සේවය මෙවර තරගාවලියට අහිමි වීම ඔවුන් ලැබූ අභාග්‍යයකි.

රිච්මන්ඩ් විද්‍යාලයීය රග්බි නායක හේෂාන් ද සිල්වා

“අපි ඉතාම කෙටි කාලයක් තුළ තමයි පාසල් රග්බි පිටිය ආක්‍රමණය කරන්නේ. මේ කාලය අවුරුදු 3–4ක් වෙන්න ඇති. දැන් අපි සිටින තැන ගැන සතුටු වෙනවා වගේම, අපිට මෙතැනට එන්න දක්ෂතා දැක්වූ සියලුම රිච්මන්ඩ්වරුන්ට මම ස්තූතිවන්ත වෙනවා. ඔවුන් මේ ලබා දුන් දේ අප ආරක්ෂා කර ගත යුතුයි. මම විශ්වාස කරනවා නවක ක්‍රීඩකයන් රැසක් සමඟ වූවත් අපිට ඒක කරන්න පුළුවන් වෙයි. “ හේෂාන් ද සිල්වා නැවත පැවසුවේය.

රිච්මන්ඩ් විද්‍යාලය ආසියාවේ පළමු මෙතෝදිස්ත පාසල ලෙස ගාල්ලේ දී උපත ලබන්නේ 1814 තරම් ඈත වකවානුවේය.  ඒ වෙද්දී රග්බි ක්‍රීඩාව අප තබා ලෝකයවත් හඳුනා ගෙන නොසිටී කාලයකි. පසු කාලයේ එනම් 1876 වසරේ දී ගාල්ල අග්‍ර පාසල ලෙසත් අනතුරුව 1882 දී නැවත රිච්මන්ඩ් විද්‍යාලය ලෙසත් නම් ලබන මේ පාසලේ රග්බි ඉතිහාසයේ ආරම්භය එතරම්ම පැරණි නොවේ.

කොහොමටත් අපේ බලාපොරොත්තුව මෙවර තරගාවලිය හොඳින් කරලා, මේ ලීග් එකේ ශූරයන් වෙන්න.

රිච්මන්ඩ් විද්‍යාලය නිසාම පිහිටි කඳු ගැටය රිච්මන්ඩ් කන්ද ලෙස නම් ලැබීම අනුව අපට සිතා ගත හැක්කේ එකී භූමිය රග්බි ක්‍රීඩාවට උචිත නොවීම හේතු කොට ගෙන මේ ක්‍රීඩාවේ ආරම්භය එකල නොසිදු වූ බවයි.

රිච්මන්ඩ් විද්‍යාලයේ රග්බි ඉතිහාසය මිනිස් ආයුෂ අනුව ගන්නේ නම් මේ වෙද්දී පසුවෙන්නේ තරුණ අවධියේ ය. ඊට හේතූන් ලෙසින් ඉහත කාරණාව ප්‍රබල ලෙසින්ම දැක්විය හැකිය. වර්තමානයේ වූවද එකී ප්‍රශ්නයෙන් රිච්මන්ඩ් රග්බි ක්‍රීඩකයෝ බට කති.

කණ්ඩායමක් ලෙස අප මුහුණ දෙන විශාලම ප්‍රශ්නය වෙන්නේ පුහුණුවීම් සඳහා සුදුසු ක්‍රීඩාංගණයක් නොමැති වීම. දැනට අප සතුව තිබෙන ක්‍රීඩාංගණය රග්බි ක්‍රීඩාව වෙනුවෙන් නිසි ප්‍රමිතියට නැහැ. නමුත් අපි වැඩි වශයෙන්ම පුහුණුවීම් කරන්නේ දැනට තිබෙන ක්‍රීඩාංගණයේ. ඇතැම් අවස්ථාවල අපි පිට ක්‍රීඩාංගණවලට ගොස් පුහුණුවීම් කරනවා. ඒ තරගයක් ආසන්නයේ. මේ සඳහා විශාල වියදමක් පාසලට කැප කරන්න සිදු වෙලා තිබෙනවා. ඒක හරි දුක්ඛදායක දෙයක්. ”

රිච්මන්ඩ් විද්‍යාලයීය රග්බි පුහුණුකරු අනිල් මංගල මහතා පැවසුවේය.

අපි හොඳ පුහුණුවකින් ඉන්නේ. කණ්ඩායමේ අඩුවකට තිබෙන්නේ පළපුරුදු ක්‍රීඩකයන් අඩු එක විතරයි

කළුතර ඥාණෝදය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන මංගල මහතා ශ්‍රී ලංකා පොලිස් රග්බි කණ්ඩායම මගින් රග්බි ක්‍රීඩාවේ පන්නරය ලැබූවෙකි. පසුව මාතර විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා යුධ හමුදාවේ ගජබා රෙජිමේන්තුව සහ කොළඹ රාජකීය විද්‍යාලයේ කනිෂ්ඨ කණ්ඩායම්වල රග්බි පුහුණුකරුවෙක් සේ සිටිමින් එකී කණ්ඩායම්වලට ජීවය දෙමින් ලද පන්නරයෙන් වර්තමානයේ රිච්මන්ඩ් විද්‍යාලය හා ඔහු එක්ව සිටී. එමෙන්ම ඔහු  ශ්‍රී ලංකාවේ A ශ්‍රේණියේ රග්බි විනිසුරුවරයෙක් ලෙස ද කටයුතු කරයි.

“අපේ පළමු බලාපොරොත්තුව තව දුරටත් මේ කාණ්ඩයේම රැඳී සිටීමයි. ඉන් එහා බලාපොරොත්තුත් තිබෙනවා. නමුත් අපිට ඒ තැන්වලට යන්න හැකි වෙන්නේ පළමු බලාපොරොත්තුවේ සිටීම තුළයි. අප වෙනුවෙන් සහ රග්බි ක්‍රීඩාව වෙනුවෙන් පාසලේ විදුහල්පතිතුමා ඇතුළු සියලුම දෙනාමත්, ආදි ශිෂ්‍ය රග්බි යූනියන් එකත් මේ වෙනුවෙන් විශාල කැපවීමක් වෙනවා. ඔවුන්ගේ ඒ සේවයට අවංකවම ස්තූතිවන්ත වෙනවා.“ පුහුණුකරු අනිල් මංගල මහතා පැවසුවේ ය.

ඔහු වැඩිදුරටත් පවසනුයේ මෙම ලීගයේ ක්‍රීඩා කරන කණ්ඩායම් අතරින් රග්බි ක්‍රීඩාව පවත්වා ගෙන යෑමට සුදුසු ප්‍රමිතියෙන් යුතු ක්‍රීඩාංගණයක් නොමැති එකම කණ්ඩායම රිච්මන්ඩ් විය හැකි බව ය.

රිච්මන්ඩ් විද්‍යාලයීය රග්බි පුහුණුකරු අනිල් මංගල මහතා පැවසුවේය.

“අපි ක්‍රීඩා කරන්නේ ශ්‍රී ලංකාවේ සිටින සුපිරිම පාසල් කණ්ඩායම් සමඟ. අපි අපට තිබෙන කුඩා ඉඩ ප්‍රමාණයේ පුහුණුවීම් කරල ඔවුන් සමඟ තරගයට පිවිසෙද්දී අපේ සමහර සැලසුම් අතරමං වෙනවා. ඊට ප්‍රධාන හේතුව වෙන්නේ අපි අපේ සැලසුම් ක්‍රියාත්මක කරන්න පුරුදු වෙලා තියෙන්නේ කුඩා ඉඩක. නමුත් අපිට සැබැවින්ම ඒ සැලසුම් ක්‍රියාත්මක කරන්න වෙන්නේ ප්‍රමිතිගත ක්‍රීඩාංගණයක සහ සුපිරි කණ්ඩායමක් සමඟ. අපි බොහෝ විට ෆේල් වෙන්නෙ එතැනින්.” අනිල් මංගල මහතා නැවත අදහස් දක්වමින් පැවසුවේය.

මේ අනුව පුහුණුවීම් ලබන රිච්මන්ඩ් විද්‍යාලයීය රග්බි ක්‍රීඩකයෝ ඉදිරියේ දී කොළඹ තර්ස්ටන්, මොරටුව වේල්ස් කුමර, කොළඹ මහානාම සහ කුරුණෑගල මලියදේව යන විද්‍යාල සමඟ තරග පිටියට පිවිසීමට නියමිත ය.

කණ්ඩායමක් ලෙස අප මුහුණ දෙන විශාලම ප්‍රශ්නය වෙන්නේ පුහුණුවීම් සඳහා සුදුසු ක්‍රීඩාංගණයක් නොමැති වීම

අපි හොඳ පුහුණුවකින් ඉන්නේ. කණ්ඩායමේ අඩුවකට තිබෙන්නේ පළපුරුදු ක්‍රීඩකයන් අඩු එක විතරයි. ඒ වුනත් හොඳ පුහුණුවක් සමඟින් මේ ගේම් එක රන් කරන්න පුළුවන් කියල මට විශ්වාසයක් තියෙනවා. අපි ඉදිරි තරගවලට සහභාගී වෙන්නේ තරගයෙන් තරගය කළ යුත්තේ මොකක්ද කියන සැලසුමත් එක්ක. ඒක වඩාත් සුබදායක වේවි. මොකද සෑම කණ්ඩායමක්ම එක වගේ නැහැ. ඒ නිසා අපිට විවිධ ආකාරයේ සැලසුම් සකස්කර ගන්න වෙනවා.” නායක හේෂාන් ද සිල්වා පැවසුවේය.

හේෂාන්ගේ විශ්වාසය දිනා සිටිමින් කණ්ඩායමේ උප නායකත්වයේ කටයුතු කරන්නේ චරිත් ප්‍රියදර්ශන වනිගසේකර ය. අවසන් වසරට කණ්ඩායම නියෝජනය කරන චරිත් කණ්ඩායමේ විශ්වාසය දිනා සිටින ක්‍රීඩකයන් කිහිප දෙනා අතුරින් කෙනෙකි.

රිච්මන්ඩ් විද්‍යාලයීය උපනායක චරිත් ප්‍රියදර්ශන වනිගසේකර.

“නවක ක්‍රීඩකයන් වැඩි ප්‍රමාණයක් හිටියත් ඉතා හොඳ සමබර කණ්ඩායමක් ලෙස අපේ කණ්ඩායම මම දකිනවා. කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් ලෙසින් මම විශ්වාස කරනවා අපේ කණ්ඩායම පැක් කරලා ගේමක් ගහන්න පුළුවන් තත්ත්වයේ ඉන්නවා කියලා. අපිට තව තියෙන්නේ තරග 4ක් පමණයි. මේ තරග ඉවර වෙද්දී රග්බි පිටියේ විශාල පෙරළියක් කරන්න අපිට පුළුවන් වේවි.” චරිත් පවසන්නේ ය.

මේ හෙට දින රග්බි පිටිය ජය ගැනීමට පෙරුම් පුරන අංකුර ක්‍රීඩකයන්ගේ අද දවසේ සිතුවිලි ය. ඔවුහු එකාවන්ව තම ජවය සහ උපක්‍රමශීලීත්වය ක්‍රීඩා පිටියට මුදා හරින්නේ තරගයක ජයග්‍රහණයම ඔවුන්ගේ අභිප්‍රාය වන බැවිනි. හෙට දවසේ පාසල් රග්බි පිටියේ දී රිච්මන්ඩ්වරුන් කුමක් සිදු කරති දැයි කැට තබා කිව නොහැකි ය. නමුත් අවැසි වන්නේ මේ ජවය ය. සිතුවිල් පවා ජයග්‍රාහී වන්නේ නම් ක්‍රියාවෙහි ජයග්‍රහණය වැඩි ඈතක නැත. රිච්මන්ඩ්වරුන් උත්සාහ කරන්නේ ඒ ජයග්‍රහණය ලබා ගැනීමට ය.

ThePapare.com ඔවුන්ගේ උත්සාහය අගය කරන අතරතුරම ඔවුන්ගේ ගමනට ද සුබ පැතුම් එක් කරමු.

රිච්මන්ඩ් විද්‍යාලයීය රග්බි කණ්ඩායම

හේෂාන් ද සිල්වා (නායක), චරිත් ප්‍රියදර්ශන වනිගසේකර (උප නායක), ඉරේෂ් අයන්ත, රුපුන් තරුක්ෂ, දහම් තත්සර, රවිඳු උමගිලිය, ටෙෂාන් බානුක, උදාර සචින්ත, දුලාර දනූෂ, සසිඳු කාවින්ද, මල්ෂ පැතුම්, ඔෂාර චිරත්ම, යොමේෂ් රමින්ද, උෂාන් සුලක්ෂණ, සංදීප් කාරියවසම්, හසිඳු සංජීව, සකුණ බිඟුසර, ප්‍රභාෂ ද සිල්වා, ඉත්සුර, රසුල සහ අශේන්

රග්බි භාර ආචාර්ය- උදාර ආදිහෙට්ටි මහතා
පුහුණුකරු – අනිල් මංගල මහතා

පාසල් රග්බි ලීගයේ B කාණ්ඩයේ තරග ආවරණය කිරීමට ද ThePapare.com සූදානම්, රැඳී සිටින්න.

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<