ශ්‍රී ලංකාවෙන් විශිෂ්ට ක්‍රීඩා රටාවක්

642
Group A opening match between Sri Lanka and Nepal played in Trivandrum International Stadium in Thiruvananthapuram, India, Wednesday, December 23, 2015. (Images.mv Photo: Mohamed Ahsan)

2018 SAFF Suzuki කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් දෙවන තරගය ගෝල 0-0ක් ලෙසින් ජය පරාජයෙන් තොරව නිමා විය. අද (7) සවස 6.30ට බංගලාදේශයේ ඩකා අගනුවර බංගබන්ධු ක්‍රීඩාංගණයේ දී මාලදිවයිනට එරෙහිව පැවති මෙම තරගය පැවැත්වුණේ B කාණ්ඩයේ තරගයක් ලෙසිනි.

ඉන්දීය අභියෝගය හමුවේ ශ්‍රී ලංකාව නිරුත්තර වෙයි

SAFF Suzuki කුසලානයේ (දකුණු ආසියානු කුසලානය) ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගයෙන් 2-0ක් ලෙසින් ඉන්දියාව…

ඉන්දියාව මෙන්ම මාලදිවයින ද මෙම තරගාවලිය සඳහා ඉතා නවක කණ්ඩායමක් ඉදිරිපත් කර තිබුණි. මාලදිවයින් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ සාමාන්‍ය වයස දැක්වුණේ වයස 23 ලෙසිනි. පෙර තරගයේ දී ආබාධයට ලක්වූ ශ්‍රී ලංකා නායක සුභාෂ් මධුෂාන් වෙනුවට මෙම තරගයේ දී ශ්‍රී ලංකාවේ නායකත්වය දරන ලද්දේ ගෝල රකින ක්‍රීඩක සුජාන් පෙරේරා විසිනි.

දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ මීට පෙර දෙරට අතර තරග 6ක් පවත්වා තිබූ අතර ඉන් තරග 5ක ජය මාලදිවයිනට හිමි විය. අනෙක් තරගය ජය පරාජයෙන් තොරව නිමා විය. අවසන් වරට දෙරට අතර තරගයක් පැවතුනේ 2013 වසරේ දී වන අතර එම තරගයෙන් ශ්‍රී ලංකාවට හිමි වූයේ 10-0ක දැවැන්ත පරාජයකි.

ශ්‍රී ලංකා දැල් රකින ක්‍රීඩක සුජාන් පෙරේරා ක්‍රීඩා කරන්නේ මාලදිවයිනේ ක්ලබ් ඊගල්ස් කණ්ඩායමට වන බැවින් මාලදිවයිනේ බොහෝ ක්‍රීඩකයන් ක්‍රීඩා කරන ආකාරය පිළිබඳ ඔහු දැනුවත්වී තිබීම මෙම තරගයේ දී ශ්‍රී ලංකාවට හිමිවූ අතිරේක වාසියක් විය.

මෙම තරගයෙන් ජයගන්නා කණ්ඩායමට අවසන් පූර්ව වටයට ඇතුලත් වීමට විශාල අවකාශයක් තිබූ හෙයින් දෙරට අතර තරගය බොහෝ උණුසුම් තරගයක් විය.

තරගයේ පළමු අර්ධයේ දී පන්දුව පාලනය කිරීම ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගිය අතර ශ්‍රී ලංකාව ප්‍රති ආක්‍රමණ (Counter attacks) කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබුණි. ශ්‍රී ලංකාවේ ආරක්ෂක පෙළ ඉතා හොදින් සංවිධානය වී තිබීම ද දක්නට ලැබුණි.

තරගයේ 3 වැනි මිනිත්තුවේ දීම කෝනර් පහරකට සිය හිසෙන් ප්‍රහාරයක් එල්ල කිරීමට මාලදිවයිනේ ඊබ්‍රාහිම් හසන්ට හැකිවූවත් පෙර තරගයේ දී මෙන්ම මෙම තරගයේදීත් ශ්‍රී ලංකාවේ තරුව වූ දැල් රකින ක්‍රීඩක සුජාන් පෙරේරා විසින් එම පහර ගෝලයක් බවට පරිවර්තනය වීමට ඉඩ ලබා නොදුන්නේය.

16 වැනි මිනිත්තුවේ දී මාලදිවයිනේ අලි ෆසීර් විසින් එල්ල කරන ලද නිදහස් පහර ශ්‍රී ලංකා ගෝල කණුවේ වැදී ඉවතට යන ලදී.

22 වැනි මිනිත්තුවේ දී මාලදිවයිනේ අක්‍රම් අබ්දුල් ඝානී විසින් මීටර් 35ක දුරකින් සිට එල්ල කරන ලද වේගවත් පහර රැකගැනීමට සුජාන් පෙරේරාට හැකිවිය. එය පළමු අර්ධයේ දී මාලදිවයින ලද හොදම අවස්තාවක් ද විය.

ඉන් මිනිත්තුවක් ගිය කල ඉතා අලංකාර පන්දු හුවමාරු කිහිපයක් (Passes) මාර්ගයෙන් ශ්‍රී ලංකාව ගෝලයක් වාර්තා කළද (ගෝලය වාර්තා කරන ලද්දේ අසේල මධුෂාන් විසිනි) ඔහු offside ස්ථානයක සිටියේ යයි පැති විනිසුරු විසින් සංඥා කිරීමත් සමගින් එම ගෝලය අවලංගු කරන ලදී.

කෙසේ වූවත් පුනරූනපය නරඹන විට පැහැදිලිව පෙනී ගියේ අසේල offside ස්ථානයක නොසිටි බවයි. ඒ අනුව ගෝලයක් වාර්තා කරමින් තරගයේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාවට හිමිවූ වටිනා අවස්තාව විනිසුරු අත්වැරදීමකින් අහිමි විය.

26 වැනි මිනිත්තුවේ දී මාලදිවයිනේ හසන් නයිස් විසින් ගෝලයක් වාර්තා කිරීමට උත්සාහ කළද ශ්‍රී ලංකා ගෝල සීමාවේ වම් අර්ධයේ දී එම උත්සාහය ව්‍යර්ථ කිරීමට සුජාන්ට හැකිවිය.

41 වැනි මිනිත්තුවේ දී ශ්‍රී ලංකාවේ අෆීල් මොහොමඩ් දුර සිට ඉතා වේගවත් පහරක් එල්ල කළ අතර පන්දුව ගෝල කණුවේ වැදී නොවැදී ක්‍රීඩාංගනයෙන් ඉවතට යන ලදී.

ඒ අනුව පළමු අර්ධය නිමා විය.

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 00 – 00 මාලදිවයින

තරගයේ දෙවැනි අර්ධයේ මුල් මිනිත්තු කිහිපයේ දී ද තරගයේ පාලනය සියතට ගත් මාලදිවයින ගෝලයක් වාර්තා කිරීමට ප්‍රයත්න කිහිපයක්ම දරන ලදී. ඉන් සමහර අවස්ථා ඔවුන්ගෙන් ගිලිහුණේ මිලිමීටර් කිහිපයකිනි.

“ඉශාන් කවිඳු”

නමුත් ඉන්පසු තරගයේ ස්වභාවය වෙනස් විය. 66 වැනි මිනිත්තුවේ දී ශ්‍රී ලංකාවේ සසංක ජයසේකරගේ සහය දැක්වීමකට (Assist) දුර සිට විශිෂ්ට පහරක් එල්ල කිරීමට අශිකූර් රහුමාන්ට හැකිවූවත් මාලදිවයිනේ ගෝල රකින්නා මොහොමඩ් ෆයිසාල් විසින් එම පහර ගෝලයක් බවට පරිවර්තනය වීමට ඉඩ නොදුන්නේය.

ඉන් මිනිත්තුවක් ගතවූ පසු ශ්‍රී ලංකාවේ මොහොමඩ් ෆසාල් විසින් දඬුවම් පහර සීමාවෙන් (Penalty box) ඉවත සිට ගෝලයක් ලබාගැනීම සඳහා උත්සාහ කළ ද එම පහර ද වළක්වාලීමට මාලදිවයිනේ දැල් රකින්නාට හැකි විය.

ඉන්පසු තරගයේ පාලනය තමන් සතු කරගැනීමට ශ්‍රී ලංකාවට හැකිවූ අතර ගෝල වාර්තා කිරීමට උපරිම උත්සාහයක යෙදෙන ලදී. 73 සහ 82 මිනිත්තු වලදී කවිඳු ඉශාන් ඉතා අලංකාර ක්‍රීඩා රටාවක් ප්‍රදර්ශනය කරමින් ගෝල වාර්තා කිරීමට උත්සාහ ගත්තද ඔහුට සාර්ථක වීමට නොහැකි විය.

84 වැනි මිනිත්තුවේ දී කවිඳු ඉෂාන්ට කහ කාඩ් පතක් පෙන්වීමට විනිසුරු ක්‍රියා කලේ ඔහු විසින් සිතා මතා බිම පෙරලුනේ (Dive) යයි චෝදනා කරමිනි. නමුත් එහි පුනරූපනද නරඹන විට පෙනී ගියේ එම කහ කාඩ් පතද ඉතා අසාධාරණ ආකාරයෙන් පෙන්වූ එකක් බවයි.

86 වැනි මිනිත්තුවේ දී මාලදිවයින කණ්ඩායම ගෝලයක් වාර්තා කළද රිහාම් අබ්දුල් ගානි offside ස්ථානයක සිටි බැවින් එම ගෝලය අවලංගු කෙරුණි.

තරගයේ අතිරේක කාලයේදී මාලදිවයිනේ ක්‍රීඩකයින් විසින් ශ්‍රී ලංකා අර්ධය ආක්‍රමණය කර පහරක් එල්ල කළද නායක සුජාන් පෙරේරා විසින් එම පහරද වලක්වා ඔහුගේ කාර්ය භාරයය ඉතා හොදින් නිම කළේය.

ඒ අනුව තරගය 0-0 ලෙසින් ජය පරාජයෙන් තොරව නිමා විය.

පළමු අර්ධයේ වැඩි ගෞරව මාලදිවයින ද දෙවැනි අර්ධයේ වැඩි ගෞරව ශ්‍රී ලංකාව ද හිමිකර ගැනීමට සමත්විය. තරගයෙන් අනතුරුව මාලදිවයිනේ පුහුණුකරු පීටර් ශර්ගුට් මහතා විසින් ශ්‍රී ලංකා දැල් රකින ක්‍රීඩක සුජාන් පෙරේරා වර්ණනා කිරීමටද අමතක නොකළේය.

ශ්‍රී ලංකා පුහුණුකරු පකීර් අලි මහතා මෙසේ කීය.

“අපි ඉතා හොඳින් ක්‍රීඩා කළා. මට ගොඩක් සතුටුයි ක්‍රීඩකයන් ක්‍රීඩා කළ ආකාරය පිළිබඳ. අපිට අවස්ථා බොහෝ ප්‍රමාණයක් මඟ හැරුණා. ඒ වගේම අපේ කණ්ඩායමට එරෙහිව ලැබුණ තීරණ පිළිබඳව මාගේ නොසතුට ප්‍රකාශ කරනවා”

අද (7) තරගයේ දී ද පන්දුව වැඩි වශයෙන් රඳවා ගන්නට ශ්‍රී ලංකාව අපොහොසත් වූ අතර පන්දුව ශ්‍රී ලංකාව සතුව පැවතියේ 38%ක ප්‍රමාණයක් පමණි. එහෙත් තරගය පුරාවටම හොදින් ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව ගෝල සීමාව දෙසට පහරවල් 6 ක් එල්ල කිරීමට සමත්විය. මාලදිවයින ද ශ්‍රී ලංකා ගෝල සීමාව දෙසට පහරවල් 7 ක් එල්ල කොට තිබුණි.

ප්‍රසාද ලකුණු 3ක් හිමිකරගනිමින් B කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ඉන්දියාවට හැකිවී තිබෙන අතර ශ්‍රී ලංකාව සහ මාලදිවයින එක් ප්‍රසාද ලකුණ බැගින් ලබා තිබේ. ඒ අනුව B කාණ්ඩයෙන් ඉදිරියට යන කණ්ඩායම් දෙක තීරණය වනු ඇත්තේ අනිද්දා (9) ඉන්දියාව සහ මාලදිවයින අතර පැවැත්වෙන තරගයෙනි.

අවසන් ප්‍රතිඵලය: ශ්‍රී ලංකාව 00 – 00 මාලදිවයින

>>තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට<<