මහනුවර ක්‍රීඩකයෝ ජාත්‍යන්තර ශූරතාවකට ඉව අල්ලයි

870

“ආසියානු රග්බි බටහිර ක්‍රීඩා සමාජ ශූරතා තරගාවලිය” මෙවර ශ්‍රී ලංකාවේ දී ආරම්භ වීමට සියලු කටයුතු සූදානම් අතර ශ්‍රී ලංකාවේ හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩා සමාජ අතර පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය එළඹෙන අගෝස්තු 31 වැනිදා සිට සැප්තැම්බර් 14 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ.

සිව් වසරක ඉතිහාසයේ ශූරතාවය අපේක්ෂාවෙන් මෙවර ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මහනුවර ක්‍රීඩා සමාජය තරග බිමට පිවිසීමට සූදානම්ව සිටින අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩා සමාජ කිහිපයක්ම මේ සඳහා සහභාගී වීමට නියමිතයි.

කෙසේ වෙතත් පසුගිය වසරේ මහනුවර ක්‍රීඩා සමාජය ඉතා හොඳින් තරගාවලිය නිමා කළ අතර එක ලකුණකින් තම ප්‍රථම ජාත්‍යන්තර ශූරතාව ගිලිහි ගියේ බහරේන් ක්‍රීඩා සමාජයට එරෙහිවයි.

Watch: Kandy SC vs Bahrain RFC – Asia Western Club Champions League – Match Highlights

මහනුවර ක්‍රීඩා සමාජය යනු ශ්‍රී ලංකාවේ ප්‍රබල සංචිතයකින් සමන්විත වන ක්‍රීඩා සමාජයක් වන අතර වසර කිහිපයක් මුළුල්ලේම ශ්‍රී ලංකාවේ අන්තර් සමාජ ශූරතාව උසුලන්නේ ද ඔවුන්මය. ඒ නිසාම තමා සතු උපරිම ශක්තිය මෙම ශූරතාවය වෙනුවෙන් භාවිතයට ඔවුන් වග බලා ගනු නිසැකයි.

තරග කාලසටහන මෙසේයි.

  • අගෝස්තු 31 – මහනුවර ක්‍රී. ස. සහ බහරේන්  ක්‍රී. ස. – නිත්තවෙල දී
  • සැප්තැම්බර් 07 – අබුඩාබි “ක්වීන්ස්” ක්‍රී. ස. සහ මහනුවර ක්‍රී. ස. – අබුඩාබි හිදී
  • සැප්තැම්බර් 14 – බහරේන් ක්‍රී. ස. සහ අබුඩාබි “ක්වීන්ස්” ක්‍රී. ස.  – අබුඩාබි හිදී

කණගාටුදායක කරුණ නම් ආසියානු රග්බි ශූරතාවය මෙම දින වකවානුවේ දී ම ආරම්භ වීමට නියමිතව ඇති අතර එහෙයින් ධනුෂ්ක රන්ජන්, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, රිචර්ඩ් ධර්මපාල යන ප්‍රධාන ක්‍රීඩකයන්ට මෙම තරගාවලිය මඟ හැරී යනු ඇත.

Watch: Kandy SC vs Abu Dhabi Harlequins – Match Highlights

ඒ නිසාවෙන් මහනුවර  ක්‍රීඩා සමාජයේ යොවුන් ක්‍රීඩකයින් වෙත මහඟු අවස්ථාවක් උදා වනු ඇති අතර හේෂාන් ජැන්සන්, දිලුක්ෂ දන්ගේ හා ලක්ෂිත රණවීර වැනි පාසල් පිටියේ කැපී පෙනෙන ක්‍රීඩකයන් හට වැඩි අවදානයක් යොමු වනු ඇත.

තරගාවලියේ සියලු තොරතුරු ThePapare.com සජීවීව ගෙන ඒමට අපි සූදානම්. රැඳී සිටින්න අප සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<