පාපන්දු නීතිරීති වල සංශෝධන රැසක්

1826

පාපන්දු ක්‍රීඩාව ක්‍රීඩා කිරීමේ දී පිළිපැදිය යුතු නීතිරීති තීරණය කරනු ලබන ජාත්‍යන්තර පාපන්දු සංගම් මණ්ඩලය (IFAB) විසින් ලබන තරග වාරය ආරම්භයේ සිට ක්‍රියාත්මක වන පරිදි පවතින නීතිරීති කිහිපයක්ම සංශෝධනය කිරීමට කටයුතු කර ඇත.

හඳුන්වා දෙනු ලැබූ මෙම නව සංශෝධන ජුනි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක කළ යුතු නමුත් එදිනට පෙර ආරම්භ කරනු ලබන තරගාවලිවලට මෙම නව සංශෝධන ක්‍රියාත්මක කිරීම මීළඟ තරග වාරය දක්වා කල් දැමීමට අවස්ථාව ලබා දී ඇත.

ඒ අනුව හඳුන්වා දුන් මෙම නව වෙනස්කම් යටතේ සිදු වූ නව සංශෝධන 5ක් හඳුනා ගත හැක.

නොසිතූ ජයක් වාර්තා කළ ලිවර්පූල් බාසිලෝනා හදවත් බිඳියි

පාපන්දු ක්‍රීඩාවේ අවිනිශ්චිත බව මනාවට පසක් කරමින් සුපිරි ක්‍රීඩක ලයනල් මෙසීගේ බාර්සිලෝනා කණ්ඩායම නොසිතූ ලෙස පරාජය කළ ලිවර්පූල්…

සිදු කරන ලද නව සංශෝධන වලට අනුව කණ්ඩායමකට නිදහස් පහර අවස්ථාවක් හිමි වූ විට එහි දී ප්‍රතිවාදී ක්‍රීඩකයින් තිදෙනෙකු හෝ ඊට වැඩි ගණනකින් සමන්විත ‘wall’ එකක් දමන්නේ නම් එවන් අවස්ථාවක දී ප්‍රහාරක කණ්ඩායමේ, එනම් නිදහස් පහර අවස්ථාව ලබා ගන්නා කණ්ඩායමේ ක්‍රීඩකයින් හට එම ‘wall’ ඒකෙන් මීටර 1ක් දක්වා දුර ප්‍රමාණයක් තුළ රැඳී සිටිය නොහැක.

මෙම නීතිය උල්ලංඝනය කිරීමක් සිදු වූ අවස්ථාවක දී අනෙක් කණ්ඩායමට සෘජු නොවන නිදහස් පහර අවස්ථාවක් (indirect free-kick) පිරිනැමෙනු ඇත. මෙවන් අවස්ථාවක දී ‘wall’ ඒක තුළ හෝ ඊට ආසන්නව එය ලබා ගන්නා කණ්ඩායමේ ක්‍රීඩකයින් රැඳී සිටීම උපාය මාර්ගයක් ලෙස සාධාරණීකරණය කිරීමේ හැකියාවක් නොමැති වීම, එය ක්‍රීඩාවේ ජීව ගුණයට කැළලක් වීම සහ ඒ තුළින් අනවශ්‍ය ලෙස කාලය නාස්ති වීම සහ අනවශ්‍ය අවහිරතා ඇතිවීම යන හේතු මත මෙම නව සංශෝධනය හඳුන්වා දී ඇත.

තවදුරටත් නව සංශෝධන වලට අනුව කණ්ඩායමකට තම දඬුවම් පහර කලාපයේ නිදහස් පහර අවස්ථාවක් හිමි වූ විට එම නිදහස් පහර ලබා ගත් අවස්ථාවේ දී ම පන්දුව ක්‍රීඩා කෙරුණු ලෙස සැලකෙන අතර ඒ අනුව පන්දුව ක්‍රීඩා කෙරුණු ලෙස සැලකීම සඳහා එය දඬුවම් පහර කලාපයෙන් පිටතට පැමිණීම අවශ්‍ය නොවේ.

හඳුන්වා දෙනු ලැබූ දෙවන ප්‍රධාන නීතිරීති සංශෝධනය වන්නේ කණ්ඩායමක ක්‍රීඩකයෙකු එල්ල කරනු ලැබූ පහරක දී පන්දුව එම කණ්ඩායමේම තවත් ක්‍රීඩකයෙකුගේ අතේ අහම්බෙන් වැදී ගෝල රාමුව තුළට යොමුවුවහොත් එය ගෝලයක් ලෙස පිළිනොගැනීමයි.

තවදුරටත් ක්‍රීඩකයෙකුගේ අතේ පන්දුව අහම්බෙන් වැදී ඒ තුළින් ඔවුන්ට වාසි සහගත අවස්ථාවක් හිමි වී ඔහු ගෝලයක් වාර්තා කරගතහොත් එවන් අවස්ථාවල දී ද එය ගෝලයක් ලෙස පිළිගනු නොලැබේ.

ඒ අනුව එවන් අවස්ථාවල දී ප්‍රතිවාදී කණ්ඩායමට නිදහස් පහර අවස්ථාවක් පිරිනැමෙනු ඇත. පාපන්දු ක්‍රීඩාවේ දී පන්දුව අහම්බෙන් අතේ වැදීමේ අවස්ථාවලට අදාළ නීතිරීති සැලකිල්ලට ගනිමින් මෙම සංශෝධන සිදු කර ඇති අතර ඒ අනුව කිසිදු අවස්ථාවක දී පන්දුව අතේ වැදී ගෝල රාමුව තුළට යොමු වුවහොත් එය ගෝලයක් ලෙස පිළිගැනීමට ලක්නොවීමත්, ක්‍රීඩකයෙකුගේ අතේ අහම්බෙන් පන්දුව වැදුණු පසුව ඒ තුළින් ඔවුන්ට වාසි සහගත තත්වයක් ඇතිවී ගෝලයක් වාර්තා වුවහොත් හෝ ගෝලයක් වාර්තා කරගැනීමට අවස්ථාවක් නිර්මාණය කරගතහොත් එවන් අවස්ථාවක දී ප්‍රතිවාදී කණ්ඩායමට නිදහස් පහර අවස්ථාවක් පිරිනැමීම වැනි පැවති නීතිරීති මෙම සංශෝධනයට ඉවහල් වී ඇත.   

හඳුන්වා දෙනු ලැබූ තෙවැනි නව ප්‍රධාන නීතිරීති සංශෝධනය වන්නේ දඬුවම් පහර අවස්ථාවල දී ගෝල රකින ක්‍රීඩකයා හට එක් පාදයක් ‘goal line’ එකෙන් ඉදිරියට තැබීමට අවස්ථාව ලබා දීමයි. ඒ අනුව එවන් අවස්ථාවක දී ගෝල රකින ක්‍රීඩකයා ‘goal line’ එක මත හෝ ඒ තුළ අනෙක් පාදය තබා ගැනීම අනිවාර්ය වේ. දඬුවම් පහර ලබාගන්නා ක්‍රීඩකයින් පහර එල්ල කිරීමට දිව ඒමේ දී අනුගමනය කරනු ලබන විවිධ උපාය මාර්ග හා පාද දෙකම ‘goal line’ එක මත නැත්නම් එය හඳුනා ගැනීමට පහසු වීම යන කරුණු සැලකිල්ලට ගනිමින් ප්‍රායෝගික වන පරිදි මෙම සංශෝධන සිදු කර ඇත. කෙසේ නමුත් මෙවන් අවස්ථාවල දී ගෝල රකින ක්‍රීඩකයා හට චලනය වීමට හෝ, ‘goal line’ එක පසුපස රැඳී සිටීමට හෝ, දෙපස සහ ඉහළ ගෝල රාමු හා දැළ අල්ලාගෙන සිටීමට හෝ හැකියාවක් තවදුරටත් නොමැත.

සිදු කරනු ලැබූ නව වෙනස්කම් යටතේ හඳුන්වා දෙනු ලැබූ සිව්වැනි ප්‍රධාන සංශෝධනය නම් ක්‍රීඩකයින් ආදේශ කිරීමේ දී ක්‍රීඩාංගණය තුළ සිටින ක්‍රීඩකයා හට විනිසුරුවරයා විසින් ආරක්ෂාව සහ ආබාධ වැනි කරුණු මත නිශ්චිත ස්ථානයකින් පිටියෙන් ඉවත්ව යාමට නියම කළහොත් මිස අනෙක් සෑම අවස්ථාවක දීම එම ක්‍රීඩකයා තමා ආසන්නයේම ඇති ‘touchline’ හෝ ‘goal line’ ස්ථානයෙන් පිටියෙන් ඉවත්ව යා යුතු වීමයි. ක්‍රීඩකයින් ආදේශ කිරීමේ දී සිදු වන කාලය නාස්ති කිරීම් අවම කිරීමට මෙම සංශෝධනය හඳුන්වා දී ඇත.

හඳුන්වාදෙනු ලැබූ පස්වැනි නව ප්‍රධාන නීතිරීති සංශෝධනය වන්නේ විෂමාචාර වලට හසුවන කණ්ඩායමේ නිලධාරීන් හට කහ කාඩ්පත් සහ රතු කාඩ්පත් නිකුත් කළ හැකි වීමයි. යම් අවස්ථාවක දී එම අදාළ විෂමාචාරය සිදු කළ නිලධාරියා හඳුනාගත නොහැකි නම් එම කණ්ඩායමේ තාක්‍ෂණික කලාපයේ රැඳී සිටින ජ්‍යෙෂ්ඨ පුහුණුකරු හට එම අදාළ කහ කාඩ්පත හෝ රතු කාඩ්පත නිකුත් කෙරෙනු ඇත.

කණ්ඩායමේ නිලධාරීන් විසින් සිදු කරනු ලබන විෂමාචාර සඳහා කාඩ්පත් නිකුත් කිරීමේ අත්හදා බැලීම් ජ්‍යෙෂ්ඨ, පරිණත පුහුණුකරුවන් සමඟ තරුණ විනිසුරුවරුන් කටයුතු කිරීමේ සිට සෑම අවස්ථාවක දීම පාහේ යහපත් ප්‍රතිඵල ගෙන දීමට සමත්ව ඇති බැවින් මෙම සංශෝධනය සිදුකර ඇත.

ඉහත ආකාරයට සිදු කළ ඇති ප්‍රධාන සංශෝධන 5ට අමතරව තවදුරටත් පහත සංශෝධන ද එක්කිරීමට ජාත්‍යන්තර පාපන්දු සංගම් මණ්ඩලය පියවර ගෙන ඇත.

  • දඬුවම් පහර කලාපයක පන්දුව තිබිය දී ක්‍රීඩා කිරීම නැවැත්වූ අවස්ථාවක දී නැවත ක්‍රීඩා කිරීම ආරම්භ කරන විට පන්දුව එම අදාළ දඬුවම් පහර කලාපයේ ගෝල රකින ක්‍රීඩකයා වෙතත්, එය සිදු වූයේ දඬුවම් පහර කලාපයෙන් පිටත නම් ක්‍රීඩා කිරීම නැවැත්වීමට පෙර අවසානයේ පන්දුවට පහර එල්ල කළ ක්‍රීඩකයාගේ කණ්ඩායම වෙත නැවත ක්‍රීඩා කිරීම ආරම්භ කිරීමේ දී පන්දුව ලබා දෙනු ඇත. ඉහත අවස්ථාවන් හිදී කණ්ඩායම් දෙකේම අනෙක් සෑම ක්‍රීඩකයෙක්ම අවම වශයෙන් පන්දුවට මීටර 4ක දුරකින් සිටිය යුතුය. තවදුරටත් පන්දුව විනිසුරුවරයාගේ වැදී ගෝල රාමුව තුළට යොමුවුවහොත් හෝ, පන්දුව සන්තකයේ තබා ගත් කණ්ඩායම වෙනස් වුවහොත් හෝ, ඒ හරහා හොඳ ආක්‍රමණශීලී අවස්ථාවක් නිර්මාණය වුවහොත් එවන් අවස්ථාවක දී ‘dropped ball’ අවස්ථාවක් පිරිනැමෙනු ඇත.
  • නීති විරෝධී ගෝල සැමරීම් (ජර්සිය ගලවා සිදු කරන සැමරීම් වැනි) වලට නිකුත් කරනු ලබන කහ කාඩ්පත් එම ගෝලය වලංගු නොවණ අවස්ථාවන් වලදී ද වලංගු ලෙස පිළිගැනේ.    
  • ‘Goal kick’ අවස්ථාවක දී එය ලබාගත් වහාම පන්දුව ක්‍රීඩා කෙරුණු ලෙස සැලකෙන අතර ඒ අනුව එය දඬුවම් පහර කලාපයෙන් පිටතට පැමිණීමට පෙර එය ක්‍රීඩා කිරීමේ හැකියාව ඇත.
  • කාසියේ වාසිය උරගා බැලීම ජයග්‍රහණය කරන කණ්ඩායමේ නායකයා හට ‘kick-off’ එක ලබා ගැනීමට හෝ නැත්නම් ඔවුන් පහර දෙන්නේ කුමන ගෝල රාමුවට දැයි තීරණය කළ හැක. (මීට පෙර තිබූ නීති රීති වලට අනුව කාසියේ වාසිය ජයග්‍රහණය කරන කණ්ඩායමේ නායකයා හට තීරණය කිරීමට හැකියාව ලැබුණේ ඔවුන් පහර දෙන්නේ කුමන ගෝලයට දැයි යන්න පමණි)
  • ‘Cooling breaks’ (තත්පර 90 – විනාඩි 3) සහ ‘drinks breaks’ (උපරිම විනාඩි 1) අතර වෙනස
  • ප්‍රධාන ජර්සියේ අතේ වර්ණ වලින් යුතු නම් පමණක් ක්‍රීඩකයින්ට විවිධ වර්ණ හා මෝස්‌තර වලින් යුතු බැනියම් (undershirts) ඇඳීමේ හැකියාව ඇත.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<