2017 වසර සඳහා වන ‘Dialog’ ක්‍රිකට් සම්මාන උළෙල ඊයේ (31)’Water’s Edge’ පරිශ්‍රයේ දී පැවැත්වුණු අතර එහි දී ‘Dialog’ වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය වමත් දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් විසින් දිනා ගනු ලැබීය.

ලුම්බිණියට පූර්ණ ජයක්; සාන්ත ජෝසප් පළමු ඉනිමේ ජයක්

19න් පහළ අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (31) නිමාවට පත් වූ අතර, එහි දී …

මෙම සම්මානය රංගන හේරත් හට හිමි වූයේ පළමු වරට වන අතර ඒ අනුව එම සම්මානය පසුගිය වසර 03 පුරාවටම දිනාගත් ඇන්ජෙලෝ මැතිව්ස් හට මෙවර එය දිනා ගැනීමේ අවස්ථාව අහිමිව ගියේය. එමෙන්ම තවදුරටත් රංගන, ටෙස්ට් ක්‍රිකට් පිටිය තුළ දැක්වූ ඉහළ දක්‍ෂතා වෙනුවෙන් ඔහු වසරේ ටෙස්ට් ක්‍රිකට් පන්දු යවන්නාට හිමි සම්මානයෙන් ද පිදුම් ලැබීය. මෙම සම්මාන උළෙල සඳහා 2016 වසරේ ජුනි මාසයේ සිට මෙම වසරේ ජුනි මාසය දක්වා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූ දක්ෂතාවන් සලකා බලනු ලැබීය.

මෙම කාලසීමාව තුළ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පෙරළිකාර ක්‍රීඩකයෙක් වූ අසේල ගුණරත්න මෙහි දී සම්මාන 04කින් පිදුම් ලැබීය. ඒ අනුව එහි දී වසරේ පන්දුවාර 20 හොඳම පිතිකරුවා, පන්දුවාර 20 සහ එක්දින හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා සහ වසරේ බලාපොරොත්තු තබා ගත හැකි ක්‍රීඩකයාට හිමි සම්මාන දිනා ගැනීමට ඔහු සමත් විය.

පසුගිය වසරේ දී පැවති ඕස්ට්‍රේලියාවට එරෙහි ටෙස්ට් තරගාවලියේ දී ඉහළම ලකුණු ලාභියා වූ ධනංජය ද සිල්වා වසරේ ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවාට හිමි සම්මානය දිනාගත් අතර සලකා බැලූ කාල සීමාව තුළ පිත්තෙන් සහ පන්දුවෙන් දැක්වූ ඉහළ දස්කම් වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් පිටියේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයාට හිමි සම්මානය දිල්රුවන් පෙරේරා හට පිරිනැමිණ.

අසේල, කුසල් ජනිත් හා මැතිව්ස් ගැන ඉඟියක්

ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තානු කණ්ඩායම අතර පැවැත්වූ දීර්ඝ ක්‍රිකට් තරගාවලිය අවසන් වීමට පසුව, ශ්‍රී ලංකා …

වසරේ නැඟී එන ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නිරෝෂන් දික්වැල්ල සම්මානයට පාත්‍ර වූ අතර සුරංග ලක්මාල්, ලසිත් මාලිංග සහ කුසල් මෙන්ඩිස් තවදුරටත් සීමිත පන්දුවාර තරග අංශයේ සම්මාන දිනාගනු ලැබීය.

විශේෂ සම්මාන අංශය යටතේ වසරේ ජාත්‍යන්තර විනිසුරුවරයා ලෙස කුමාර් ධර්මසේන සම්මානයෙන් පිදුම් ලැබූ අතර ‘Lifetime Award’ හිමි වූයේ නීල් පෙරේරා මහතා හටයි. වසරේ කීර්තිමත් ජනමාධ්‍යවේදියා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ ‘The Sunday Times’ පුවත්පතේ සංස්කාරක චම්පික ප්‍රනාන්දු ය.

මෙම උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහභාගී වූ අතර විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේ ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන් ලෝක කුසලානයක් ජයග්‍රහණය කළ නායකයෙකු වන කපිල් දේව් මහතා යි.

මෙහි දී අදහස් දක්වමින් කපිල් දේව් මහතා ප්‍රකාශ කර සිටියේ;

“මම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු වන ආකාරය තරුණ කාලේ ඉඳන් දැකලා තියෙනවා. මම ඉතාමත් තරුණයි ඉන්දියානු කණ්ඩායම නියෝජනය කරන කොට. ඒ කාලෙම තමයි ශ්‍රී ලංකා කණ්ඩායම ලෝකය තුළ පිළිගැනීමකට ලක්වුණේ. කුඩා කාලයක් තුළ දී ඔබලාට ඒක කරන්න හැකි වුනා. ඒක ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ පමණක් නෙමෙයි, මේකට සම්බන්ධ සියලු දෙනාගේම උත්සාහයේ ප්‍රතිඵලයක්. කණ්ඩායම වසර 15ක් පුරාවට සහභාගී වූ තරග ගොඩක් පරාජයට පත්වුණත් ප්‍රේක්ෂකයින් ක්‍රීඩාංගණ වලට ඇවිල්ලා ඔබලාට සහයෝගය දුන්නා.”

මෙවර සම්මාන උළෙලේ දී ජාත්‍යන්තර මෙන්ම දේශීය තලය තුළ ද ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට සම්මාන 60ක් බෙදා දෙන ලදි.

කාන්තා ක්‍රිකට් (පන්දුවාර 20 – පළමු කාණ්ඩය)

  • හොඳම පිතිකාරිණිය – ප්‍රසාදිනී වීරක්කොඩි (නාවික හමුදා ක්‍රී.ස.)
  • හොඳම පන්දු යවන්නිය – ජනකාන්ති මාලා (කෝල්ට්ස් ක්‍රි.ස.)
  • හොඳම තුන් ඉරියව් ක්‍රීඩිකාව – චමරි අතපත්තු (ගුවන් හමුදා ක්‍රී.ස.)
  • අනුශූරයින් (2016) – යුද හමුදා ක්‍රීඩා සමාජය
  • ශූරයින් (2016) – ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

කාන්තා ක්‍රිකට් (පන්දුවාර 50 – පළමු කාණ්ඩය)

  • හොඳම පිතිකාරිණිය – ලසන්ති මදුෂානි (නාවික හමුදා ක්‍රී.ස.)
  • හොඳම පන්දු යවන්නිය – ඉනෝකා රණවීර (නාවික හමුදා ක්‍රී. ස.)
  • හොඳම තුන් ඉරියව් ක්‍රීඩිකාව – චමරි අතපත්තු (ගුවන් හමුදා ක්‍රී.ස.)
  • අනුශූරයින් (2016) – යුද හමුදා ක්‍රීඩා සමාජය
  • ශූරයින් (2016) – ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

වයස අවුරුදු 23න් පහළ (පන්දුවාර 20 – පළමු කාණ්ඩය)

  • හොඳම පිතිකරුවා – ලහිරු උදාර (NCC)
  • හොඳම පන්දු යවන්නා – රමේෂ් මෙන්ඩිස් (SSC)
  • හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා – රමේෂ් මෙන්ඩිස් (SSC)
  • අනුශූරයින් (2016) – සිංහල ක්‍රීඩා සමාජය (SSC)
  • ශූරයින් (2016) – යුද හමුදා ක්‍රීඩා සමාජය

වයස අවුරුදු 23න් පහළ (පළමු කාණ්ඩය)

  • හොඳම පිතිකරුවා – ක්‍රිෂාන් සංජුල (SSC)
  • හොඳම පන්දු යවන්නා – චලන ද සිල්වා – (හලාවත මේරියන්ස්)
  • හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා – කසුන් විදුර (හලාවත මේරියන්ස්)
  • අනුශූරයින් (2016) – යුද හමුදා ක්‍රීඩා සමාජය
  • ශූරයින් (2016) – හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය

ප්‍රිමියර් ලීගය – B කාණ්ඩය

  • හොඳම පිතිකරුවා – හෂාන් ප්‍රභාත් (කුරුණෑගල ත. ක්‍රී. ස.)
  • හොඳම පන්දු යවන්නා – චාමිකර එදිරිසිංහ (ශ්‍රී ලංකා වරාය අධිකාරිය)
  • හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා – රජීව වීරසිංහ (ලංකන් ක්‍රි. ස.)
  • අනුශූරයින් (2016) – පානදුර ක්‍රීඩා සමාජය
  • ශූරයින් (2016) – ශ්‍රී ලංකා වරාය අධිකාරී ක්‍රීඩා සමාජය

අන්තර් දිස්ත්‍රික් සීමිත පන්දුවාර

  • හොඳම පිතිකරුවා – හර්ෂ කුරේ (කිළිනොච්චි දිස්ත්‍රික්කය)
  • හොඳම පන්දු යවන්නා – සංජික රිද්ම (බදුල්ල දිස්ත්‍රික්කය)
  • හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා – අශාන් ප්‍රියංජන් (කොළඹ දිස්ත්‍රික්කය)
  • අනුශූරයින් (2016) – කෑගල්ල දිස්ත්‍රික්කය
  • ශූරයින් (2016) – කොළඹ දිස්ත්‍රික්කය

ප්‍රිමියර් ලීගය – A කාණ්ඩය

  • හොඳම පිතිකරුවා – සදීර සමරවික්‍රම (කෝල්ට්ස් ක්‍රි. ස.)
  • හොඳම පන්දු යවන්නා – මලින්ද පුෂ්පකුමාර (හලාවත හෙරියන්ස් ක්‍රි.ස.)
  • හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා – චතුරංග ද සිල්වා (NCC)
  • අනුශූරයින් (2016) – හලාවත හෙරියන්ස් ක්‍රිකට් සමාජය
  • ශූරයින් (2016) – සිංහලීස් ක්‍රීඩා සමාජය
  • වසරේ අන්තර් සමාජ විනිසුරුවරයා – රැන්මෝ මාටීනස්
  • වසරේ අන්තර් සමාජ තරග තීරකවරයා – වෙන්ඩල් ලැබ්‍රෝයි
  • Lifetime Achievement Award – නීල් පෙරේරා
  • වසරේ ජාත්‍යන්තර විනිසුරුවරයා – කුමාර් ධර්මසේන
  • වසරේ මාධ්‍යවේදියා – චම්පික ප්‍රනාන්දු
  • පන්දුවාර 20 ජාත්‍යන්තර වසරේ හොඳම පිතිකාරිණිය – චමරි අතපත්තු
  • පන්දුවාර 20 ජාත්‍යන්තර වසරේ හොඳම පන්දු යවන්නිය – සුගන්දිකා කුමාරි
  • එක්දින ජාත්‍යන්තර වසරේ හොඳම පිතිකාරිණිය – චමරි අතපත්තු
  • එක්දින ජාත්‍යන්තර වසරේ හොඳම පන්දු යවන්නිය – ඉනෝකා රණවීර
  • පන්දුවාර 20 ජාත්‍යන්තර වසරේ හොඳම පිතිකරුවා – අසේල ගුණරත්න
  • පන්දුවාර 20 ජාත්‍යන්තර වසරේ හොඳම පන්දු යවන්නා – ලසිත් මාලිංග
  • පන්දුවාර 20 ජාත්‍යන්තර වසරේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා – අසේල ගුණරත්න
  • එක්දින ජාත්‍යන්තර වසරේ හොඳම පිතිකරුවා – කුසල් මෙන්ඩිස්
  • එක්දින ජාත්‍යන්තර වසරේ හොඳම පන්දු යවන්නා – සුරංග ලක්මාල්
  • එක්දින ජාත්‍යන්තර වසරේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා – අසේල ගුණරත්න
  • වසරේ ටෙස්ට් පිතිකරුවා – ධනංජය ද සිල්වා
  • වසරේ ටෙස්ට් පන්දු යවන්නා – රංගන හේරත්
  • වසරේ ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයා – දිල්රුවන් පෙරේරා
  • වසරේ නැඟී එන ක්‍රිකට් ක්‍රීඩකයා (අන්තර් සමාජ) – රොන් චන්ද්‍රගුප්ත
  • බලාපොරොත්තු තබාගත හැකි ක්‍රීඩකයා (අන්තර් සමාජ) – වනිඳු හසරංග
  • වසරේ නැඟී එන ක්‍රිකට් ක්‍රීඩකයා – නිරෝෂන් දික්වැල්ල
  • බලාපොරොත්තු තබාගත හැකි ක්‍රීඩකයා – අසේල ගුණරත්න
  • ‘Dialog’ වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව – චමරි අතපත්තු
  • ‘Dialog’ වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා – රංගන හේරත්

Dialog Cricket Awards 2017  >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<