ඉතාලි නායකයා ලුණු ඇඹුල් ඇතිව මාධ්‍ය අමතයි

61

2019 රග්බි ලෝක කුසලාන තරගාවලියෙහි එළඹෙන සතිඅන්තයේ දී පැවැත්වීමට නියමිතව තිබූ මූලික වටයේ ප්‍රධාන තරග ද්විත්වයක් අවලංගු කිරීමට ගත් තීරණය මේ වන විට බොහෝ දෙනා අතර කථා බහට ලක්වන මාතෘකාවක් වී හමාරය. 

Hagibis නිසා තරග දෙකක් අවලංගුයි

2019 රග්බි ලෝක කුසලාන තරගාවලියෙ තරග දෙකක් ………

ප්‍රබල All Blacks කණ්ඩායමත් සමඟ ලෝක කුසලානය වැනි සුවිශේෂී තරගාවලියක දී තරග කිරීමට ලැබීමම බොහෝ කණ්ඩායම්වල සිහිනයක්. ඉතින් එම සිහිනය සැබෑ කරගැනීමට පමණක් නොව වසරකට අධික කාලයක් සිට මෙම තරගය අරමුණු කරගනිමින් සකස් කළ පෙර සැලසුම්, සිදු කළ පුහුණුවීම් කටයුතු ආදී අනේක විද කැපකිරීම් එක් ක්ෂණයකින් සුනුවිසුනු වී ගියහොත්, එම ක්‍රීඩකයින්ට කුමක් සිතෙනවා ඇද්ද?

ඉතාලි රග්බි කණ්ඩායම හට මේ වන විට අත්වී ඇත්තේ ඒ ඉරණමයි. මේ උද්ගතව තිබෙන අවාසනාවන්ත තත්වය නිසාවෙන් ඔවුන් පසුවන්නේ දැඩි සිත් තැවුලෙන්. නායක Sergio Parisse ඊයේ (10) පැවති මාධ්‍ය සාකච්ඡාවක් සඳහා එක්වෙමින් බලධාරීන් විසින් ගෙන ඇති මෙම තීරණය පිළිබඳ තම සෘජු මතය ඉදිරිපත් කර සිටි අතර එහි දී ඔහු වඩාත් ඉස්මතු කිරීමට උත්සාහ දැරූ කාරණය නම් තරගය ක්‍රීඩා නොකිරීමට ගත් තීරණය ඒකපාර්ශ්වික බවයි.

යම් හෙයකින් මෙම තරගයේ ජයග්‍රහණය නවසීලන්ත කණ්ඩායමේ ලෝක කුසලාන ගමන් මඟ තීරණය කරන තීරණාත්මක සන්ධිස්ථානයක් වූවා නම් ඔවුන් මෙවැනි තීරණයක් ගැනීමට මත්තෙන් දෙවතාවක් සිතන්නට නොපැකිලෙන බවත් මෙවැනි තත්වයක් උදාවෙනු ඇතැයි කල්තියා අනුමාන කළේ නම් අමතර දවසක් යොදා ගනිමින් හෝ ක්‍රීඩා පිටිය මාරු කිරීමෙන් තරගය පැවැත්වීමට කටයුතු කිරීමට අවස්ථාව තිබුණ බවත් ඔහු සඳහන් කර සිටියේය.

Hagibis නිසා රග්බි ලෝක කුසලානයට වෙන්න යන හදියක්!

ජපානය කේන්ද්‍රකර ගනිමින් මේ දිනවල ක්‍රියාත්මක වන …….

“නවසීලන්තය වගේ විශිෂ්ට කණ්ඩායමක් එක්ක තරග කරන්නට තිබුණ අවස්ථාව අපට අහිමි වුනා කිව්වම ඇත්තටම ලොකු කනගාටුවක් දැනුණා. හදිසියෙවත් ඔවුන්ට ඉදිරියට යන්න තව ප්‍රසාද ලකුණු හතරක් පහක් මදි වුනා නම් මං හිතන්නේ නැහැ තරගය මේ විදියට නතර කරන්න පියවර ගනී කියලා.”

ටෙස්ට් තරග 140කට ආසන්න ප්‍රමාණයක් ක්‍රීඩා කර ඇති නායක Sergio Parisse මෙවර ලෝක කුසලානය සඳහා සහභාගී වූයේ තරගාවලියේ සිටින අත්දැකීම් බහුලතම ක්‍රීඩකයා යන ගෞරවනාමය ද සමඟිනි. නමුත් මෙවැනි අවසානයකින් ඔහුගේ ලෝක කුසලාන රග්බි දිවිය නිමා කිරීමට සිදුවීම ගැන ඔහු ද පසුවන්නේ දැඩි කනස්සල්ලකි.

“වසර ගණනක් වුනු මගේ රග්බි ක්‍රීඩා ජීවිතයේ අවසන් වතාවට All Blacksලා එක්ක ක්‍රීඩා කරන්න තිබුණු අවස්ථාව නැති වීම ගැන ගොඩක් දුක් වෙනවා. මේ තරගය නරඹන්න ඉතාලියේ ඉඳන් ඊයේ දවසෙත් ගොඩක් ප්‍රේක්ෂකයින් ප්‍රමාණයක් ආවා ජපානයට. ඇත්තටම මටත් ඔවුන් පත්වෙච්ච අපහසුතාව ගැන කනගාටුයි.”

“ලෝක කුසලානයක් කියන්නේ එසේ මෙසේ තරගාවලියක් නෙමේ. මොනයම් හේතුවක් නිසාවෙන් හරි තරගයක් ක්‍රීඩා කරන්න බැරි වෙනවා නම් ඔවුන් ඒ වෙනුවෙන් අතිරේක සැලැස්මක් හෝ වැඩපිළිවෙළක් සකස් කරලා තියෙන්න ඕනෑ.”

මේ වන තෙක් නවසීලන්තය සහ ඉතාලිය අතර පවත්වා ඇති මුළු තරග සංඛ්‍යාව 15ක් වන අතර එම සෑම තරගයක්ම ජයග්‍රාහී සටහනකින් නිම කිරීමට සමත් ඇත්තේ All Blacks කණ්ඩායමයි. එම නිසාවෙන්ම මෙම තරගයත් ඔවුන් පහසුවෙන්ම ජය ගනු ඇතැයි උපකල්පනය කිරීමෙන් තරගය අතරමඟ නතර කර දැමීමට යම් අයෙක් තීරණය කළා නම් එය ද තම කණ්ඩායම හට සිදු කරන එක්තරා ආකාරයක අගෞරවය කිරීමක් ලෙස තමන් සලකන බවට ද ඔහු අවධාරණය කර සිටියේය.

2019 රග්බි ලෝක කුසලානය උඩු යටිකුරු කළ හොඳම 7

2019 රග්බි ලෝක කුසලාන තරගාවලියේ කාණ්ඩ අදියරේ …

“ඔව් ඇත්ත. ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වෙනවා වගේ මේ තරගයත් නවසීලන්තය ජය ගන්න ඉඩකඩක් තිබ්බා, නමුත් අපිටත් කණ්ඩායමක් විදියට යම් කිසි ගෞරවයක් කියලා දෙයක් තියෙනවා සහ අපි ඒ ගෞරවය ලබන්න සුදුසුයි කියලත් මම හිතනවා.”

මේ අතර මෙම අනපේක්ෂිත සිදුවීම සම්බන්ධයෙන් තම මතය ද ඉදිරිපත් කිරීමට ඉතාලි ජාතික රග්බි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු Conor O’Shea මහතා ද අමතක නොකළේය.

“මට කියන්න තියෙන්නේ Sergio ඇතුළුව මගේ කණ්ඩායම ක්‍රීඩකයෝ හැමෝම ගැන ලොකු දුකක් තියෙන්නේ. මොකද මම මගේ ඇස් දෙකෙන් දැක්කා එයාලා මේ ගමන එන්න මොන තරම් කැප කිරීමක්, මහන්සියක් වුනා ද කියන එක. මේ හැම කෙනෙක්ම ඉතාලි රග්බි වෙනුවෙන් සෑහෙන ලොකු සේවාවක් ඉෂ්ට කරන්නේ එයලාගේ පෞද්ගලික සුඛ විහරණ සියල්ල අතහැරලා දාලා. අන්තිමේ දී වුනේ තරග පිටියෙන් අවසන් වෙන්න තිබ්බ ලෝක කුසලානය පුහුණු සැසියකින් අවසන් වෙච්ච එකයි.”

මෙසේ අයහපත් කාලගුණය නිසාවෙන් තරගය අත්හැර දැමීමත් සමඟම කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණ බැගින් පිරිනැමීමට සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබුණි. ඒ අනුව D කාණ්ඩයේ ඉහළින්ම වැජඹෙන්නට මුළු ප්‍රසාද ලකුණු 16ක් හිමිකරගෙන තිබෙන All Blacks කණ්ඩායමට හැකි වී තිබෙන එහි දෙවන සහ තෙවැනි ස්ථාන තම නමින් වෙන්කරවා ගැනීමට පිළිවලින් දකුණු අප්‍රිකාව සහ ඉතාලිය සමත්ව තිබේ.

කෙසේ නමුත් අර්ධ අවසන් පූර්ව වටය දක්වා ගමන් කිරීමේ භාග්‍ය උදාකරගන්නේ සෑම කාණ්ඩයකම පළමු සහ දෙවන ස්ථාන හිමිකරගන්නා කණ්ඩායම් පමණි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<