සණ්ඩු සරුවලේ – කන් කරච්චලේ – 01

2363

බෝඩර් – ගවස්කාර් ටෙස්ට් තරගාවලිය ටෙස්ට් ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට උළෙලකි. එය තරගකාරීත්වය, දස්කම් සහ ආන්දෝලනාත්මක සිදුවීම්ද සහිත ය. 2018 තරගාවලිය අතරතුරදී නැවතත් ඒ සුපුරුදු ආන්දෝලනාත්මක තත්වය ඇතිවෙමින් තිබේ. මේ ආන්දෝලනය නම් ඉන්දියා – ඕස්ට්‍රේලියා වාග් සටනයි. මෙවර වාග් සටනේ යෙදෙන්නේ කණ්ඩායම් දෙකේ නායකයන් දෙදෙනා වීම ඊටත් වඩා විශේෂ ය.

මෙතෙක් 13 වතාවක් පවත්වා ඇති බෝඩර් – ගවස්කාර් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය, ඉන්දියාවත් ඕස්ට්‍රේලියාවත් සහභාගී වන ජනප්‍රිය ටෙස්ට් තරගාවලියකි. දෙරටින් බිහිවූ ප්‍රකට ක්‍රිකට් නායකයන් දෙදෙනෙකු වන ඇලන් බෝඩර් සහ සුනිල් ගවස්කාර් සිහිකරමින් මෙයට බෝඩර්-ගවස්කාර් කුසලාන තරගාවලිය යැයි කියනු ලැබේ. 1996/97 තරගවාරයේ සිට පැවැත්වෙන මෙය සෑම වසරකදීම නවමු අත්දැකීම් ලෝක ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ලබාදී ඇත. මෙතෙක් හත්වරක් තරගාවලිය ජයග්‍රහණය කොට ඇති ඉන්දියානුවන්ට සහ පස්වරක් ජයග්‍රහණය කොට ඇති ඕස්ට්‍රේලියානුවන්ට මෙය ක්‍රිකට් සටනක් මෙන්ම වාග් සටනකි. බෝඩර් – ගවස්කාර් තරගාවලි මාලාව කතා සාගරයකි.

1996/97

1996/97 තරගවාරයේ ඉන්දියාව සචින් ටෙන්ඩුල්කාර්ගේ නායකත්වයෙන් සහ ඕස්ට්‍රේලියාව මාක් ටේලර්ගේ නායකත්වයෙන් තරග වැදුණි. ඊට පෙර ඕස්ට්‍රේලියානු සුපිරි පා දඟපන්දු යවන්නා, ෂේන් වෝන්ගේ අතෙහි ඇඟිල්ලක් ශල්‍යකර්මයකට ලක්කොට තිබුණි. ඔහුට නැවත සම්පූර්ණයෙන්ම සුව වන්නට කාලයක් ලබානොදී, දඟ කැවෙන දිල්ලි තණතීරුව මත තරගය ඇරඹුණු විට ඕස්ට්‍රේලියානුවන් ඊට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. ඔවුන්ගේ ගැටලුව පැහැදිළි කරමින් ඔවුන් විසින්, පැවති එකම ටෙස්ට් තරගය පරාජයට පත්වූයේ පිතිකරුවන් අපහසුවෙන් ලකුණු ලබාගනිද්දීයි. ඉන්දියාව වෙනුවෙන් කඩුලු රකින පිතිකරු නයන් මොන්ගියා ලකුණු 152ක් රැස්කළේය. ඉන්දියානු පා දඟපන්දු යවන්නා අනිල් කුම්බ්ලේ තරගය පුරා කඩුලු 9ක් ලබාගත්තේය. කෙසේවුවත් ජය ඉන්දියාවට හිමිවුණත් එහිදී එතරම් වචන හරඹ දක්නට නොලැබුණි.

1997/98

1997/98 තරගාවලියද ඉන්දියාවේදී පැවැත්වුණු අතර එහිදී ෂේන් වෝන් දක්ෂතා අතර සිටියේය. එවර මාක් ටේලර්ගේ ප්‍රතිවාදී නායකයා වූයේ මොහොමඩ් අසාරුඩීන් නම් උත්සාහවන්ත නායකයායි. පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදීම වෝන් කඩුලු 4ක් දවාගනිද්දී ඉන්දියානු පිතිකරුවන් වූ නයන් මොන්ගියා, නව්ජෝට් සිං සිධු, රාහුල් ද්‍රාවිඩ් අර්ධ ශතක රැස්කළේය. ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පිතිකරුවන් කුම්බ්ලේ හට කඩුලු 4ක් පූජා කළ අතර ඉයන් හීලී පමණක් ලකුණු 90ක් රැස්කළේය. තරගයේ තෙවැනි ඉනිම තීරණාත්මක විය. ෂේන් වෝන්ගේ අභියෝගයට සූදානම් වියයුතු බව හඳුනාගෙන සිටි සුපිරි ඉන්දියානු පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් තරගයට පෙර රවී ශාස්ත්‍රී හමුවී උපදෙස් ලබාගත්තේය. ශාස්ත්‍රීට අනුව, “ආක්‍රමණය එකම ආරක්ෂණය විය (Attack is the best form of defence).

images.firstpost.com – රවී ශාස්ත්‍රී අද ඉන්දියානු ක්‍රිකට් පුහුණුකරු ය.

තණතිල්ලේ කඩතොළු සොයමින් කඩුල්ල වටා ගොස් (around the wickets) පන්දු යවන ෂේන් වෝන්ට පිළිතුරු දීමට සචින් තරගයට පෙර දින හතරක් වැයකළේය. ඒ ලක්ෂ්මන් ශිවරාමක්‍රිෂ්ණන්ගේ පුහුණු පන්දුයැවීමට එලව එලවා පහරදෙමිනි. තරගයේ තෙවැනි ඉනිමේදී වෝන් සිය උපක්‍රමය භාවිතා කරන විට, සචින් ඔහුට වඩා එක් පියවරක් ඉදිරියෙන් සිටියේය. ඔහු නොදැවී ලකුණු 155ක් වාර්තා කරමින් තරගයේ වාසිය ඉන්දියාව දෙසට හැරවූයේය.

දෙවන තරගයේදී අනිල් කුම්බ්ලේ කඩුලු 8ක් දවාගත්තේය. වෝන් විසින් තරගය පුරාම කඩුලු රහිතව ලකුණු 147ක් ඉන්දියාවට ලබාදුන්නේය. පළමු සහ දෙවන තරග දෙකෙහිම ජය ඉන්දියාවට හිමිවිය. බැංගලෝර් හිදී පැවැත්වුණු තෙවැනි ටෙස්ට් තරගය ජයගැනීමට ඕස්ට්‍රේලියාව සමත්වූයේ මාක් වෝ සහ මාක් ටේලර් පිළිවෙලින් පළමු සහ දෙවැනි ඉනිම වලදී රැස්කළ ශතක සමඟිනි. එහෙත් තරගාවලි ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය. එම තරගයේදී අනිල් කුම්බ්ලේ හට ඕස්ට්‍රේලියානුවන් විසින් ලබාදුන්නේ කඩුලු 3ක් පමණි. තරගාවලිය 2-1ක් ලෙස ඉන්දියාව සතුවිය.

1999/00

1999/00 තරගවාරයේදී මීළඟ තරගාවලිය පැවැත්විණි. ඒ ඕස්ට්‍රේලියාවේදීයි. එය ඕස්ට්‍රේලියාවේ ස්ටීව් වෝ තම ටෙස්ට් නායකත්වයේ හොඳම අවධිය පසුකරමින් සිටි සමයයි. ඉන්දියානු ටෙස්ට් නායකයා වූයේ සචින් ටෙන්ඩුල්කාර් ය.

එහි පළමු තරගයේ ඉන්දියානු දෙවැනි ඉනිම තුළදී සචින් ටෙන්ඩුල්කාර් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූ බව විනිසුරු ඩැරල් හාපර් පැවසුවත් එය නිවැරදි තීරණයක් නොවන බවට විවාදයක් ඇතිවිය. හේතුව වූයේ තණතිල්ලේ වැදී ඉහළ නගින ග්ලෙන් මැක්ග්‍රාත්ගේ පන්දුවක් වකුටුවී නිදැල්ලේ හැරීමට යාමේදී සචින්ට දැවීයාමට සිදුවීමයි. පන්දුව වැදුනේ ඔහුගේ හිස් ආවරණයේයි. (එහෙත් පන්දුව එතරම් ඉහළ නැගුණේ නැත.)

සචින් ටෙන්ඩුල්කාර්ට එරෙහිව ග්ලෙන් මැක්ග්‍රාත් සම්පූර්ණ සිද්ධිය

ඒත් සමඟින්ම ඉන්දියානු ක්‍රීඩකයන් සහ මාධ්‍ය, ඕස්ට්‍රේලියාවට එරෙහි තම නොකැමැත්ත ප්‍රදර්ශනය කරන්නට විය. කෙසේවෙතත් සිද්ධිය ගැන පසුව espncricinfo වෙබ් අඩවියට ලිපියක් ලියමින් ඉන්දියානු රචක පතාබ් රාම්චන්ද් සඳහන් කොට තිබුණේ “එක් රටකට ඇති ආදරය නම් වළාව විසින් ක්‍රිකට් ප්‍රේක්ෂකයාගේ සමස්ත විනිශ්චයට බාධා නොවිය යුතුය. ආදරයට වඩා සත්‍යය උතුම් බැවින් යමෙක් එවැනි විවාදාත්මක අවස්ථාවකදී එදෙස විවෘත දෘෂ්ටියකින් බැලිය යුතුය” යනුවෙනි. එමෙන්ම ඩැරල් හාපර් ඕස්ට්‍රේලියානුවෙකු වූ නිසා එවැනි තීරණයක් ලබාදුන්නේය යන චෝදනාව එල්ලවීම නිසා ක්‍රීඩා කරන රටවල් දෙකටම ඇතුළත් නොවන විනිසුරුවන් තරගයකට ඉදිරිපත් කළ යුතුයැයි සාකච්ඡාවට බඳුන් විය. ඉන්දියාව පළමු ටෙස්ට් තරගය පරාජය විය.

දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු මයිකල් ස්ලේටර්ව දවාගෙන නුසුදුසු ආකාරයෙන් එය සැමරූ බැවින් වෙන්කටේෂ් ප්‍රසාද් හට තරග මුදලින් 35%ක දඩයක් නියම කරනු ලැබිණි. ප්‍රසාද් තම අත පිතිකරු දෙසටම යොමුකරමින් සැමරුම සිදුකරන්නට විය. තරග තීරක රන්ජන් මඩුගල්ලේ හට විනිසුරු ඩේවිඩ් ෂෙපර්ඩ් විසින් කළ දැනුවත් කිරීම නිසා ඔහු විසින් අදාළ දඩය නියම කෙරිණි. ඉන්දියාව දෙවන ටෙස්ට් තරගයද පරාජය විය.

තෙවැනි ටෙස්ට් තරගය ඕස්ට්‍රේලියානුවන් සහ ඉන්දියානුවන් මෙම සහස්‍රය තුළ සහභාගී වූ පළමු ටෙස්ට් තරගයයි. එහිදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ජස්ටින් ලැන්ගර් ද්විත්ව ශතකයක්ද, ඉන්දියාව වෙනුවෙන් V.V.S. ලක්ෂ්මන් විසින් ශතකයක්ද වාර්තා කෙරිණි. එහෙත් තරගය අවසානයේ පරාජය ඉන්දියාවට හිමිවිය. තරගාවලියේ ජය 3-0ක් ලෙස ඕස්ට්‍රේලියාව විසින් දිනාගත්තේය.

2000/01

2000/01 තරගාවලිය උණුසුම් එකක් වූයේ ඉන්දියාවට පැමිණි ඕස්ට්‍රේලියානුවන් පළමු ටෙස්ට් තරගය ජයගන්නට සමත් වීමත් සමඟයි. ඒ වනවිට ඔවුන් එක දිගට ලබාගෙන තිබූ 16 වැනි ටෙස්ට් ජයග්‍රහණය එයයි. එවකට තරුණ ක්‍රීඩකයෙකු වූ ඇඩම් ගිල්ක්‍රිස්ට්, 99/5ක් ලෙස අපහසු අඩියක වූ ඕස්ට්‍රේලියානු පළමු ඉනිමේ ලකුණු පුවරුව නොතකා පන්දු 112කදී ලකුණු 122ක් රැස්කළේය. ඉන් දෙවැනි ලකුණු 50 වාර්තා කිරීමට ඔහුට වැයවුණේ පන්දු 26ක් පමණි.

statics.sportskeeda.com – ඇඩම් ගිල්ක්‍රිස්ට්, වේගවත් පිතිකරුවෙකි

දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ඕස්ට්‍රේලියානුවන් ලකුණු 445ක් වාර්තා කළේය. ඉන්දියානු පළමු ඉනිම ලකුණු 171කට සීමා විය. ඔවුන්ට නැවත පන්දුවට පහරදීමට සිදුවිය. නමුත් ඔවුන් ලකුණු 657ක දීර්ඝ ඉනිමක් ක්‍රීඩා කරන්නට සමත් විය. ඕස්ට්‍රේලියානුවන්ට ලකුණු 384ක ඉලක්කයක් ලැබිණි. හර්භජන් සිං, කඩුලු 6ක් ලබාගනිමින් ඕස්ට්‍රේලියානු ඉනිම විනාශ කළේ ලකුණු 171ක ජයක් ඉන්දියානුවන්ට ලබාදෙමිනි. මෙය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ විරල සිදුවීමක් ලෙසයි සැලකෙන්නේ.

තෙවැනි තරගය තීරණාත්මක විය. සිව්වැනි ඉනිමේදී ජයග්‍රහණය සඳහා ඉන්දියාවට අවශ්‍ය වූ ලකුණු සංඛ්‍යාව 155කි. එහෙත් ඔවුන්ගේ කඩුලු දැවෙන්නට විය. 135දී 6වැනි කඩුල්ලත්, 151දී 8වැනි කඩුල්ලත් දැවිණි. කෙසේ හෝ ඉන්දියාව කඩුලු දෙකකින් තරගය සහ තරගාවලිය ජයගත්තේය. හර්භජන් සිං තරගය තුළ දවාගත් කඩුලු ප්‍රමාණය 15 (7+8)කි.

2003/04

2003/04 තරගාවලිය උණුසුම් එකක් විය. හේතුව, සව්රව් ගංගුලි නම් ආක්‍රමණශීලී නායකයා ඉන්දියාව සතුවීමත්, ස්ටීව් වෝ නම් ශක්තිමත් නායකයා ඕස්ට්‍රේලියාව සතුවීමත් ය. පළමු තරගයේ සිටම ප්‍රේක්ෂකයන්ද ක්‍රීඩකයන් හා වචන හරඹ වල පැටලිණි. ඩේමියන් මාටින් ඕස්ට්‍රේලියානු දෙවන ඉනිමේ පන්දුවට පහරදෙන විට ඉන්දියානු ප්‍රේක්ෂකයන් “අවුට් වෙයන් ඩේමියන්, ස්ටීව් උඹව අවුට් කරන්න කලින්” යනුවෙන් කෑගසන්නට විය. (පළමු ඉනිමේදී ඔහු දුවද්දී දැවීගියේ ස්ටීව් වෝ අනෙක් පස සිටියදී ය.)

cricketforindia.com – ඩේමියන් මාටින්, ඕස්ට්‍රේලියාව සතුවූ නිහඬ විරුවෙකි

තරගය ජයගැනීමට දෙපිලම උත්සාහ කළත් එය ජය-පරාජයෙන් තොරව අවසන් විය. ජස්ටින් ලැන්ගර් සහ සව්රව් ගංගුලි ශතක රැස්කළත්, මතක හිටින ඉනිම වූයේ අවසන් දිනයට පෙර මැතිව් හේඩන් විසින් ඉන්දියානු පන්දු යවන්නන්ට ලබාදුන් දැඩි ප්‍රහාරයයි. ඔහු පන්දු 98කින් ලකුණු 99ක් රැස්කළේය.

තරගාවලියේ තෙවැනි තරගය සඳහා වූ තණතීරුව හරිහැටි තලා නැතැයි ඉන්දියානුවන් චෝදනා කරන්නට වූයේ පන්දුව තණතිල්ලේ වැදී අසාමාන්‍ය ලෙස ඉහළපහළ යෑමට පටන් ගැනීමත් සමඟ ය. පළමු දිනයේ බ්‍රෙට් ලී විසින් යැවූ දෙවැනි පන්දු ඕවරයේ පන්දු දෙකක් විරේන්දර් ෂෙවාග්ගේ හිසෙහි වැදිණි. පැයට කිලෝ මීටර 145-150 අතර තිබූ එම පන්දු දෙකෙන් නොසැලුණු ඔහු ලකුණු 195ක් ලබාගත්තේය. ඊට පිළිතුරු ලෙස රිකී පොන්ටින් ද්විත්ව ශතකයක් රැස්කළේය. දින පහ අවසානයේ ඕස්ට්‍රේලියාව තරගය ජයගත්තේය.

සිව්වැනි තරගය නායක ස්ටීව් වෝගේ දිවියේ අවසන් ටෙස්ට් තරගය විය. ඔහු පිතිකරණයට එන විට වයස අවුරුදු 16ක පාර්තිව් පටෙල් ඉන්දියානු කඩුලු රකින්නා ලෙස සිටිමින් වාග් සටනක් කිරීමට අර අදිමින් සිටියේය. “ටෙස්ට් ජීවිතේ ඉවරකරන්න කලින් අර ඔයාගේ ලස්සන ලොකු ස්වීප් පාරවල් එකක් දෙකක් ගහනවද?” ඔහු වෝගෙන් විමසුවේය. ස්ටීව් වෝගේ පිළිතුර වූයේ මෙවැන්නකි.

පුතේ පොඩ්ඩක් ගරු කරලා කතාකරපන්. මම ක්‍රිකට් ගහන්න එනකොට උඹ නැපි එකක් ඇඳගෙන හිටපු එකෙක්” ඔහු කීවේය. පළමු ඉනිමේදී ලකුණු 40ක්ද, දෙවැනි ඉනිමේදී ලකුණු 80ක්ද ලබාගත් ස්ටීව් වෝ ක්‍රීඩාවෙන් සමුගත්තේය. තරගය ජය-පරාජයෙන් තොරව අවසන් විය. තරගාවලිය 1-1ක් ලෙස සම විය. ඇඩම් ගිල්ක්‍රිස්ට් තරගාවලියෙන් අනතුරුව පවසා තිබුණේ එතෙක් ඔහු සිය රටේදී සහභාගී වූ අපහසුම ටෙස්ට් තරගාවලිය එය බවයි.

2004/05

2004/05 පළමු තරගයේදී විරේන්දර් ෂෙවාග් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවූයේයැයි විනිසුරු බිලී බව්ඩන් විසින් සංඥා කිරීමෙන් පසුව ෂෙවාග් ඔහුට යමක් පැවසූ බව තරග තීරකවරයාට හසුවිය. ඒ වරදට තරග මුදලින් 65%ක මුදලක් දඩ වශයෙන් අය කරගැනීමට නියම විය. මයිකල් ක්ලාක් සහ ඇඩම් ගිල්ක්‍රිස්ට් විසින් පළමු ඉනිමේ ශතක වාර්තා කිරීමෙන් පසු ඕස්ට්‍රේලියාව තරගය ජයගත්තේය.

දෙවන ටෙස්ට් තරගයේදී එවකට මුත්තයියා මුරලිදරන් සමඟ කඩුලු සටනක නිරතවෙමින් සිටි ෂේන් වෝන් මුරලිව පසුකළේය. වැඩිම ටෙස්ට් කඩුලු ලැබූ ඕස්ට්‍රේලියානුවා බවට ඔහු පත්වූයේ ඊට දිනයකට පෙරයි. එම තරගය ජය-පරාජයෙන් තොර විය.

i2-prod.mirror.co.uk – ෂේන් වෝන්, වැඩිම ටෙස්ට් කඩුලුලාභී ඕස්ට්‍රේලියානු පන්දු යවන්නායි

තෙවැනි තරගය ජයගත් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ඩේමියන් මාටින් පළමු ඉනිමේ ශතකයක් සහ දෙවැනි ඉනිමේ ලකුණු 97ක් රැස්කළේය.

ඉතා අඩු ලකුණු වාර්තා වූ ටෙස්ට් තරගයක් සේ සැලකෙන සිව්වැනි ටෙස්ට් තරගය ජයගැනීමට ඕස්ට්‍රේලියාවට සිව්වැනි ඉනිමේදී අවශ්‍යව තිබුණේ ලකුණු 107ක් පමණි. එහෙත් ඔවුන් ලකුණු 93කට සියලු දෙනා දැවීගියේ හර්භජන් සිං කඩුලු 5ක් ලබාගැනීමෙන් පසුවයි. එහෙත් තරගාවලියේ ජය 2-1ක් ලෙස ඉන්දියාවට හිමිවිය.

2007/08

2006/07 පළමු තරගයේදී යුවරාජ් සිං හට ලැබුණු විනිසුරු තීරණයට විරෝධය පාන ආකාරයට තණතිල්ල මත මඳක් සිටගෙන සිටීම නිසා ඔහුට අවවාද කිරීමට තරග තීරක මයික් ප්‍රොක්ටර් තීරණය කළේය. පළමු තරගයේ ජය ඕස්ට්‍රේලියාවට හිමිවිය.

මෙම තරගාවලිය පුරාම කැපී පෙනුණු කරුණක් නම් ඕස්ට්‍රේලියානුවන් දැඩි ලෙස වචනයෙන් ඉන්දියානුවන්ව පාලනය කිරීමට උත්සාහ කිරීමයි. එය රිකී පොන්ටින්ගේ සැලසුම් වලම තිබූ එකකි. දෙවැනි තරගය පුරාම ඕස්ට්‍රේලියානුවන් මෙසේ කරන්නට විය. හර්භජන් සිං සහ ඇන්ඩෲ සයිමන්ඩ්ස් අතර ලෝක ප්‍රකට වාග් ප්‍රහාරය (Monkeygate) ඇතිවුණේ මේ තරගයේදී යි. “උඹ බෝලර්ස්ලා එක්ක හරි යාලුයි වගේ.” සයිමන්ඩ්ස් එසේ පවසා තිබූ දෙයට පිළිතුරු වශයෙන් හර්භජන් පවසා තිබුණේ “මමත් බෝලර් කෙනෙක්නේ, උඹනේ දැන් මාත් එක්ක යාලුවෙන්න හදන්නේ” යනුවෙනි.

spiderimg.amarujala.com – හර්භජන් සහ සයිමන්ඩ්ස් දෙදෙනා මුහුණට මුහුණ හමුවූ සෑම අවස්ථාවක්ම සටනක් බවට පත්විය.

සයිමන්ඩ්ස් හට “වඳුරා” යනුවෙන් හර්භජන් විසින් අමතන තෙක්ම වරින්වර සටන ඇවිලුණු අතර දෙදෙනා අතර ජාතිවාදී සහ ක්‍රීඩා පිටියක නොඇසිය යුතු මට්ටමේ කතාබහක් ඇතිවිය. එය එවකට ප්‍රමුඛ පුවතකි. හර්භජන් හට තරග 3ක තහනමක් හිමිවිය. පසුව 2018 වසරේදී සයිමන්ඩ්ස් විසින් පැවසූ පරිදි පෞද්ගලික සාදයකදී හර්භජන් ඔහුගෙන් හඬමින් සමාව ඉල්ලා ඇත. ඊට එරෙහිව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් හර්භජන් පවසා තිබුණේ “ඕක කවදා වුණ එකක්ද? ඇඬුවා? මොකටද?” යනුවෙනි.

එම තරගයේදීම බ්‍රැඩ් හොග් විසින්ද මෙවැනිම අයුරින් ප්‍රතිවාදීන්ට අවහිර වන සේ හැසිරීම නිසා ඔහුටද දඩයක් නියම විය. කෙසේනමුත් තරගය ජයගත්තේ ඕස්ට්‍රේලියාවයි.

සණ්ඩු සරුවලේ – කන් කරච්චලේ – 02

තෙවැනි තරගය තුළදී ඉන්දියානුවන් ධෛර්යයෙන් ක්‍රීඩා කළ අතර ඔවුන් එය ජයගත්තේය. සිව්වැනි තරගයේ පළමු ඉනිමේදී සචින් ටෙන්ඩුල්කාර් ශතකයක් වාර්තා කළේය. පිළිතුරු වශයෙන් මැතිව් හේඩන්, රිකී පොන්ටින් සහ මයිකල් ක්ලාක් ශතක වාර්තා කළේය. තෙවැනි ඉනිමේදී ෂෙවාග් ශතකයක් රැස්කළ අතර තරගයේ කාලය අවසන් වූයේ ජයග්‍රාහකයෙකු නොමැතිවයි.

අපි තරගාවලි 6ක රසකතා කියෙව්වෙමු. එතැන් සිට තවත් බෝඩර් – ගවස්කාර් තරගාවලි 7ක් දෙරට අතර පවත්වා ඇති අතර ඒවායේ රස පුවත් සඳහා මෙම ලිපියේ දෙවැනි කොටසට පිවිසෙන්න.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<