ධනුෂ්ක රන්ජන් ප්‍රමුඛ ශ්‍රී ලංකා නඩය චීන සහෝදරයින්ට බැට දෙති

361
Danushka Ranjan

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවන අදියර අද (13) කොළඹ තුරඟ තරග පිටියේ දී ආරම්භ වූ අතර අද දිනයේ දී ශ්‍රී ලංකා පිරිමි රග්බි කණ්ඩායම සහභාගී වූ තරග දෙකෙන්ම ජය හිමි කර ගැනීමට ඔවුන්ට හැකි විය.

දිනයේ පළමු තරගයේ දී ඔවුන් චීන කණ්ඩායම පරාජය කළ අතර දිනයේ දෙවන තරගයේ දී චීන තායිපේ කණ්ඩායමට දැවැන්ත පරාජයක් අත් කර දීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

ආසියානු ශූරතාවේ තුන්වන අදියරට සංචිතය නිකුත් වේ

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම එළඹෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන අදියරට…

ශ්‍රී ලංකාව හා චීන තායිපේ

ධනුෂ්ක රන්ජන් ගයාන් වීරරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ වේගවත් ක්‍රීඩා රටාවක් දියත් කරමින් දිනයේ සිය දෙවන තරගයේ දී චීන තායිපේ කණ්ඩායම ලකුණු 43-00ක් ලෙස පරාජය කිරීමට සමත් වූහ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වේගවත් ක්‍රීඩා රටාවක් හා වේගවත් පන්දු හුවමාරු කිරීම් සමඟින් ඉතා පහසුවෙන් උත්සාහක දිනුම් රැස් කළ අතර ධනුෂ්ක රන්ජන්ගේ හා ඔමල්ක ගුණරත්නගේ කණ්ඩායමට ආදේශ වීම් මේ තරගය පුරා කැපී පෙනුණි.

තරගයේ පළමු මිනිත්තුවේ දී ම උත්සාහක දිනුමක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේ ආරම්භයේ දී ම තායිපේ ආරක්ෂක වළලු බිඳ දමමිනි. ඔමල්ක ගුණරත්න සුපුරුදු ලෙස තායිපේ ක්‍රීඩකයින් බිඳ හෙලමින් ඉදිරියට ඇදුණු අතර පන්දුව දනුෂ් දයාන් වෙත භාර දීමෙන් අනතුරුව දයාන්ගේ විශිෂ්ට ධාවනයක් කෙවින් ඩික්සන් සාර්ථක ලෙස සීමාව ඉක්මවා යමින් උත්සාහක දිනුමක් ලෙස අවසන් කළේය. ශ්‍රීනාත් සූරියබණ්ඩාර එහි ප්‍රවර්තනය අලංකාර ලෙස ගෝල කණු අතරින් යැවීමට සමත් විය. (ශ්‍රී ලංකාව 07-00 චීන තායිපේ)

චීන තායිපේ ක්‍රීඩකයින් නැවත තරගය ආරම්භ කිරීමේ පන්දුවට පා පහර දීම ආසාර්ථක කර ගත් අතර සිව්වැනි මිනිත්තුවේ දී ධනුෂ්ක රන්ජන්, ශ්‍රීනාත්ගේ දක්ෂ පන්දු යොමු කිරීමක් ග්‍රහණය කර ගනිමින් දෙවන ශ්‍රී ලංකා උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. අනතුරුව පළමු අර්ධයේ අවසන් මිනිත්තුවේ දී තායිපේ ක්‍රීඩකයින් දෙදෙනෙක් මැඩපවත්වමින් කරමින් දනුෂ් දයාන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළේ තායිපේ කණ්ඩායම ප්‍රබල පීඩනයකට ලක් කරමිනි. (ශ්‍රී ලංකාව 17-00 චීන තායිපේ)

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 17 – 00 චීන තායිපේ

දෙවන අර්ධයේ තවත් උත්සාහක දිනුම් කිහිපයකින් තායිපේ ක්‍රීඩකයින්ට සංග්‍රහ කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වූ අතර දෙවන අර්ධය ආරම්භයේම ගයාන් විරරත්නත් ඊට මිනිත්තු දෙකකට පසු කවිඳු පෙරේරාත් උත්සාහක දිනුම් රැස් කරන්නට සමත් විය. කවිඳුගේ උත්සාහක දිනුම ඩික්සන් විසින් ප්‍රවර්තනය කරන ලදි. (ශ්‍රී ලංකාව 29-00 චීන තායිපේ)

තරගය ආරම්භ කිරීමෙන් අනතුරුව නැවත වරක් චීන තායිපේ ක්‍රීඩකයින් ඉහළ ගිය පන්දුව රැක ගැනීමට අසමත් වූ අතර බිම පතිත වූ පන්දුවට පා පහරක් දුන් ගයාන් පන්දුව හඹා ගොස් සිය දෙවන උත්සාහක දිනුමත් වාර්තා කළේ ඉතා පහසුවෙනි. කෙවින් ඩික්සන් පහසුවෙන් අමතර ලකුණු එකතු කිරීමට සමත් විය. (ශ්‍රී ලංකාව 36-00 චීන තායිපේ)

අවසන් මිනිත්තුවේ දී අදිශ වීරතුංගගේ පන්දු යොමු කිරීමක් කෙවින් ඩික්සන් උත්සාහක දිනුමක් බවට පරිවර්තනය කළ අතර සුදම් සූරියආරච්චි එහි ප්‍රවර්තනය සාර්ථක කරගන්නා ලදි. (ශ්‍රී ලංකාව 43 -00 චීන තායිපේ)

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 43 (7T,4C ) – 00 චීන තායිපේ

  • ශ්‍රී ලංකාව – ගයාන් වීරරත්න (2T), දනුෂ් දයාන් (1T), කෙවින් ඩික්සන් (2T, 2C), සුදම් සූරියආරච්චි (1C), ධනුෂ්ක රන්ජන් (1T), කවිඳු පෙරේරා (1T), ශ්‍රීනාත් සූරියබණ්ඩාර (1C)

කළුආරච්චි හා තනුජා වීරක්කොඩි කොරියානු සිහින බොඳ කරයි

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවන අදියර අද (13) කොළඹ තුරඟ තරග පිටියේ දී …

චීනය හා ශ්‍රී ලංකාව

ධනුෂ්ක රන්ජන්ගේ නැවත ආගමනයෙන් බලගැන්වුණු ශ්‍රී ලංකා පිරිමි සත් සාමාජික රග්බි කණ්ඩායම 2018 ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ සිය පළමු තරගයේ දී චීන කණ්ඩායම ලකුණු 19-12ක් ලෙස පරාජය කිරීමට සමත් විය.

ආබාධයක් නිසා පෙර අදියර දෙකට එක් නොවූ සුපිරි ක්‍රීඩක ධනුෂ්ක රන්ජන් හා දෙවන අදියරට ක්‍රීඩා නොකළ ගයාන් වීරරත්න, කවිඳු පෙරේරා මෙන්ම ඔමල්ක ගුණරත්න ද මෙම අදියරට කැඳවා තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායම තවත් සවිමත් කරමිනි.

කෙසේ වෙතත් බලාපොරොත්තු රැසක් සමඟින් පිටියට පිවිසුණු ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු මිනිත්තුවේ දී ම නොසිතූ අභියෝගයක් එල්ල කළ Yongqiang CHEN චීනය වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කළේ ‘line out’ අවස්ථාවකින් පන්දුව දිනා පන්දු හුවමාරු කිරීම් කිහිපයකින් අනතුරුවයි. Yinghao GAO එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (ශ්‍රී ලංකාව 00-07 චීනය)

චීන ප්‍රහාරයට ඉක්මන් පිළිතුරක් ලබා දුන් රිසා රෆයිඩීන් විශිෂ්ට ධාවනයක නිරත වෙමින් පන්දුව දිනුක් අමරසිංහ වෙත ලබා දුන් අතර දිනුක් හා දනුෂ් දයාන් අතර දක්ෂ පන්දු හුවමාරුවකින් අනතුරුව දනුෂ් පළමු ශ්‍රී ලංකා උත්සාහක දිනුම වෙනුවෙන් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යාමට සමත් විය. සුදම් සූරියආරච්චි එහි ප්‍රවර්තන සාර්ථක කර ගන්නා ලදි. (ශ්‍රී ලංකාව 07-07 චීනය)

සිව්වැනි මිනිත්තුවේ දී චීන ක්‍රීඩකයින් දෙදෙනෙකුගෙන් මිදුණු සුපිරි ක්‍රීඩක ධනුෂ්ක රන්ජන් අලංකාර ධාවනයක යෙදෙමින් මෙවර තරගාවලියේ පළමු වරට සිය නම උත්සාහක දිනුම් අතර සටහන් කිරීමට සමත් විය. සුදම් සූරියආරච්චි හට එහි ප්‍රවර්තනය සාර්ථක කිරීමට හැකි වූයේ නැත. (ශ්‍රී ලංකාව 12-07 චීනය)

හයවැනි මිනිත්තුවේ දී චීන ක්‍රීඩකයින් දෙදෙනෙකු අතරින් එක්වරම රිංගා ගිය නායක ශ්‍රීනාත් සූරියබණ්ඩාර තෙවන ශ්‍රී ලංකා උත්සාහක දිනුම වාර්තා කළේ ශ්‍රී ලංකා ලකුණු පුවරුවට තවත් ලකුණු එකතු කරමිනි. සුදම් එහි ප්‍රවර්තනය පහසුවෙන් ගෝල කණු අතරින් පා කර හරින්නට සමත් විය. (ශ්‍රී ලංකාව 19-07 චීනය)

පළමු අර්ධය: ශ්‍රී ලංකාව 19 – 07 චීනය

දෙවන අර්ධයේ දී ශ්‍රී ලංකාවට සිතූ ලෙස සාර්ථක වීමට චීන ක්‍රීඩකයින් ඉඩ ලබා දුන්නේ නැත.

දිනුක් අමරසිංහ ආබාධයකට ලක්ව ප්‍රතිකාර ලබමින් සිටින මොහොතක ඉක්මනින් ක්‍රියාත්මක වූ චීන ක්‍රීඩක LI සිය සගයා වූ Haitao LI වෙත දීර්ඝ පන්දු යොමු කිරීමක් යොමු කළ අතර Haitao පහසුවෙන් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගියේ ලකුණු පරතරය එක් උත්සාහක දිනුමකට සීමා කරමිනි. (ශ්‍රී ලංකාව 19-12 චීනය)

කොළඹ අදියරේ ශූරතාවය ශ්‍රී ලංකාවට ද?

අදියර තුනකින් සමන්විත ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවන හා අවසන් අදියර…

අවසන් මිනිත්තු කිහිපයේ ලකුණු ආරක්ෂා කිරීම සඳහා කෙවින් ඩික්සන්, කවිඳු පෙරේරා මෙන්ම ඔමල්ක ගුණරත්න ද පිටියට ඇතුළු කිරීමට පුහුණුකරු පීටර් වුඩ්ස් කටයුතු කළ අතර කෙවින් ඩික්සන්ගේ පා පහරකින් ඉදිරියට ගිය පන්දුව හඹා ගිය නවීන් හේනකන්කානම්ගේ රැගෙන උත්සාහක දිනුමක් කරා යාමට උත්සාහ කළත් ඔහුගේ ඒ උත්සාහය සාර්ථක වූයේ නැත.

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 19 – 12 චීනය

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • ශ්‍රී ලංකාව – දනුෂ් දයාන් (1T), ධනුෂ්ක රන්ජන් (1T), ශ්‍රීනාත් සූරියබණ්ඩාර (1T), සුදම් සූරියආරච්චි (2C)
  • චීනය – Haitao LI (1T), Yinghao GAO (1C), Yongqiang CHEN (1T)

ශ්‍රී ලංකාව හෙට (14) හොංකොං සමඟින් තරග වැදීමට නියමිත අතර ඒ තරගයේ සියලු තොරතුරු ද ඔබ වෙත ගෙන ඒමට අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<