අගමැති වුන ඉම්රාන් ඛාන් ගැන අරවින්ද කියන කතාව

8

පාකිස්තානු ක්‍රිකට් වංශ කථාවේ තුන් ඉරියව්වෙන්ම සාර්ථකත්වයට පත් ක්‍රීඩකයා ලෙසින් අදටත් අවිවාදයෙන් පිළිගනු ලබන චරිතයක් වේ නම් ඒ ඉම්රාන් ඛාන්ය. එයට ඉතිහාසයේ ඕනෑ තරම් සාක්ෂි තිබේ.

ක්‍රීඩාවේ නියැලුණු විසි එක් වසරක කාල සීමාවේ දී පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩාවට අපමණ සේවයක් කළ ඉම්රාන් ඛාන් ක්‍රිකට් ක්‍රීඩාවේ වටිනාම වස්තුව ලෙසින් සැලකෙන ක්‍රිකට් ලෝක කුසලානය ද 1992 වසරේ දී ප්‍රථමයෙන්ම පාකිස්තානයට දිනා දීමට සමත්වන්නේය.

Mr. 360

“Off Season” මෙහෙම කිව්වම මේ දවස්වල අපිට මතක් වෙන්නෙ එකම එක නමක්..

ලෝක කුසලාන ජයග්‍රහණයත් සමඟ ලද අසීමිත ජනප්‍රියත්වය හේතුවෙන් දේශපාලනයට පිවිසෙන ඉම්රාන් ඛාන් මේ වන විට පාකිස්තානු අගමැති පුටුවේ නිල අයිතිකරුවා බවට පත්ව සිටියි. මේ දිනවල ලොව වැඩිම ජනප්‍රියත්වයට පත්ව සිටින ඉම්රාන් ඛාන් පිළිබඳ කතා නොකෙරෙන මාධ්‍යයක් මේ දිනවල නොමැති තරම්ය. හෙතෙම මෙම මස 11 වැනිදා සිය අගමැති පුටුවේ දිවුරුම් දීමට නියමිතව සිටින බැවින් ඉම්රාන් ඛාන්ගේ ක්‍රීඩා දිවිය පිළිබඳ වූ අතීතාවර්ජනයකට  ඉඩ විවර කිරීමට අදහස් කළෙමු.

මෙරට ප්‍රථම ටෙස්ට් නායකයා වූ බන්දුල වර්ණපුරගේ සිට අර්ජුන රණතුංග දක්වා වූ නායකයින්ගේ නම් අප කථා නායකයා පිළිබඳව විමසීම සඳහා යෝජනා වූ නමුත්, අවසානයේ ඒ සඳහා හොඳම චරිතය බවට පත්වූයේ මෙරටින් බිහි වූ විශිෂ්ටතම පිතිකරුවා ලෙසින් සැලකෙන අරවින්ද ද සිල්වාය. ඒ සඳහා කරුණු කිහිපයක්ම බලපෑවේය.

1996 ලෝක කුසලාන අවසන් මහ තරගයේදී අරවින්ද ද සිල්වා ශතකය රැස් කර ගැනීමෙන් අනතුරුව

පාකිස්තානු ක්‍රිකට් වංශ කතාවට ඉම්රාන් ඛාන් සුවිශේෂී වන්නා සේම අරවින්ද ද සිල්වා යනු මෙරට ක්‍රීඩාවේ ඉහළම ගෞරවය හිමිවන සුවිශේෂීම චරිතය බවට පත්වීම ඉන් ප්‍රධාන විය. දෙරටේම ක්‍රිකට් ක්‍රීඩාව අතින් ගත් විට පුරාවෘත්තයන් දෙකක් බවට පත්ව තිබෙන ඉම්රාන් සහ අරවින්ද අතර ඇති තවත් සුවිශේෂී සම්බන්ධතාවක් ලෙස 1992 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේ දෙපිළේ නායකත්වය දැරීම සඳහන් කළ හැක. එමෙන්ම මොවුන් දෙපළගේ ක්‍රිකට් දිවියේ යම් යම් සුවිශේෂී වූ කඩඉම් සඳහා ඉම්රාන් අරවින්දටත්, අරවින්ද ඉම්රාන්ටත් සුවිශේෂී චරිත බවට පත්ව සිටිති.

පාකිස්තානු ක්‍රිකට් වංශ කතාවේ 13 වැනි ටෙස්ට් නායකයා බවට පත්ව පසුව පාකිස්තානයේ 19 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස මේ මස 11 වැනිදා දිවුරුම් දෙන ඉම්රාන් ඛාන් පිළිබඳව මතකය මෙරටින් බිහි වූ අග්‍රගණයේ පිතිකරුවා සිය මතක හඬ අවධි කළේ 1992 වසරේ ඔස්ට්‍රේලියාවේ පැවති ලෝක කුසලාන තරගාවලියේ වූ මතකයෙනි.

”91 වර්ල්ඩ් කප් එකට කලින් මම ඉම්රාන් එක්ක සෙල්ලම් කළා. ඒත් ඉම්රාන් කියන්නේ කොයි වගේ චරිතයක් ද කියන එක මම හරියටම අඳුන ගත්තේ ඒ වර්ල්ඩ් කප් එකේදී. ඒ තරගාවලියේ දී ෆස්ට් රවුන්ඩ් එකේදි එයාලා හොඳටම කළේ නෑ. වැස්සේ වාසනාවකුත් ඔවුන්ට අවසන් කණ්ඩායම් 4ට එන්න උදව් වුනා. සෙමි ෆයිනල් සහ ෆයිනල් හොඳට කරලා ලෝක කුසලානය දිනුවත්, පළමු වටයේ දී පාකිස්තානු කණ්ඩායම ගොඩක්ම වැටිලා හිටියේ. එතැනදි නායකයෙක් විදියට ඉම්රාන් ඔවුන්ව දිරිගන්වපු හැටි විශිෂ්ටයි. ඒ හරහා ජයග්‍රහණය කරන තැනට කණ්ඩායම යළිත් හරවා ගත්තා. ඒක නායකයකු වශයෙන් ඉම්රාන් කටයුතු කරද්දී මම දැක්ක හොඳම ලක්ෂණය.” යැයි අරවින්ද පවසයි.

ඉම්රාන් ඛාන් 1992 ලෝක කුසලාන අතැතිව

එම ලෝක කුසලාන ජයග්‍රහණය සඳහා උර දුන් ප්‍රබල පුරුකක් බවට ඉන්සමාම් උල්හක් පත්වුවත්, ඔහුව කණ්ඩායමට රැගෙන ඒමේ දී ඉම්රාන්ට නොසෑහෙන විවේචනවලට මුහුණ දීමට සිදු විය. පළමු වටය යටතේ පැවති තරගවල දී පිතිකරුවකු ලෙස ඉන්සමාම් අසාර්ථක වීම එම තත්ත්වය දෙගුණ තෙගුණ කරවීය. දිගින් දිගටම අසාර්ථක පිතිකරුවෙකු බවට ඉන්සමාම් පත් වද්දීත් ඔහු පිළිබඳව වූ විශ්වාසය ඉම්රාන් සිතින් අත් නොහළේය. එහි ප්‍රතිඵලයක් ලෙස අවසන් කණ්ඩායම් 4ට යෑමේ තීරණාත්මක දකුණු අප්‍රිකාව සමඟ තරගයේ දී ලකුණු 48ක් ලබමින් නවසීලන්තය සමඟ පැවති අවසන් පූර්ව තරගය දක්වා රැගෙන ගිය ඉන්සමාම් එම තරගයේ දී පන්දු 37ක දී වේගවත් ලකුණු 60ක් ලබාගනිමින් අවසන් මහ තරගය දක්වා පාකිස්තානය රැගෙන ගියේය. අවසන් මහා තරගයේ දී ද යළිත් සාර්ථක වන ඉන්සමාම් පන්දු 35ක දී ලකුණු 42ක් ලබා පාකිස්තානු ලකුණු සංඛ්‍යාව 249ක් දක්වා ඉහළට ගෙන ඒමට දායක වන්නේ ඉම්රාන් තිබූ විශ්වාසය අකුරටම ඉටු කරමිනි.

ඉම්රාන් ඛාන් පන්දු යවමින්.

“ඒක තමයි මම කලිනුත් කිව්වේ. ඉම්රාන් කියන්නෙ හොඳ ලීඩර් කෙනෙක් කියලා. මං හිතන්නේ හැම පැත්තෙන්ම සුදුසුකම් තියෙන කෙනෙක් තමයි එයා. නායකයෙක් විදියට මම ඔහුට ඉතාමත් ගරු කරනවා. එයා කොයිම වෙලාවකවත් පරාජය පිළිගන්නේ නැති කෙනෙක්. අභියෝගයක් ඕන වෙලාවක ගන්න කැමති කෙනෙක්. එය තමයි නායකයකුගේ තිබිය යුතු හොඳ ලක්ෂණය කියලයි මම විශ්වාස කරන්නේ. ඉතිං ක්‍රිකට් ක්‍රීඩකයකු විදියට මම මේ අවස්ථාවේ දී එයාගේ ඒ කොලිටීස් (ගතිගුණ) අගය කරනවා.” යැයි අරවින්ද පවසයි.

මෙරට ක්‍රිකට් වංශ කතාවේ නව පරිච්ඡේදය එසේත් නැතහොත් ක්‍රිකට් ක්‍රීඩාව අද පවතින වෘත්තීමය තත්ත්වයට පරිවර්තනය වන ප්‍රධානතම කඩඉම වන්නේ 1996 ලෝක කුසලාන ජයග්‍රහණයයි. එම තරගාවලිය වන විට ඉම්රාන් තම ක්‍රිකට් දිවියට සමුදී සිටිය ද අවසන් මහ තරගය පැවති ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේ තණතීරුව කණ්ඩායමකට වාසිදායක ලෙස හැසිරෙන ආකාරය සම්බන්ධව ද තම කණ්ඩායම දැනුවත් කළ ආකාරය ද අරවින්දගේ මතකයේ වෙයි.

“එයා අපිට ගඩාෆි තණතීරුව ගැන විස්තර කිව්වා. කන්ඩිෂන් ගැන තමයි ගොඩක්ම කතා කළේ. මුලින් බැට් කරලා ලකුණු 250ක් ලබාගන්න කණ්ඩායමට ලෝක කුසලාන දිනන්න පහසු වේවි කියලා එයා කිව්වා. ඒ වගේම ඒ වන තෙක් පවත්වා තිබුණු කිසිම ලෝක කුසලාන අවසන් මහ තරගයක දී දෙවැනියට පන්දුවට පහර දුන්න කණ්ඩායමක් ලෝක කුසලාන දිනලා නැති බවත් මතක් කරලා දුන්නා. මමත් හිතුවේ කාසියේ වාසිය දිනලා පන්දුවට පහර දෙන එක තමයි සුදුසුම කියලා. ඒ ගැන මම අර්ජුණත් සමඟ වාදත් කළා මට මතකයි. මවුන්ඩ්‍රි ලයින් එකෙන් ඇතුළට යනකම්ම මම හිටියේ ඉම්රාන් කිව්වා වගේ මුලින් බැට් කරමු කියන තැන. ඒත් ඒ වෙලාවේ අපේ හිත්වල තිබුණ විශ්වාසයත් එක්ක තීරණය වෙලා තිබුණේ ෆීල්ඩ් කරන්න” යැයි අරවින්ද මතකය දිග හැරියේය.

“උඩුගං බලා පීනන තරමේ” වූ එම තීරණයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 50ක දී කඩුලු 7ට ලකුණු 241කට නවතාලන සිංහ රැළ ඉතිහාසය වෙනස් කරමින් ඒ සුවිශේෂී වූ කුසලාන ශ්‍රී ලංකාවට දිනා දෙන්නේ කඩුලු 3ක් පමණක් ලබා දෙමිනි. නායක අර්ජුනගේ පිත්තෙන් ජයග්‍රාහී ලකුණ ලංකාවේ වාර්තා වද්දී නොසැලුණු ඉනිමක නියැලුණු අරවින්ද පන්දු 124ක දී ලකුණු 107ක් වාර්තා කරමින් තම නාමය සදාතනිකව රන් අකුරින් ලියා ගත්තේය. අරවින්ද රැස් කරන ලද එම ශතකය ලෝක කුසලාන අවසන් මහ තරගයක දී හඹා ගිය ඉනිමක ශතකයක් වාර්තා කළ පළමු පිතිකරුවාගේ වාර්තාවට හිමිකම් කීවේය.

ඉන්සමාම් උල්හක් ලෝක කුසලාන තරගාවලියේදී

අරවින්ද පවසන අන්දමට ඔහු ඉම්රාන්ව හඳුනන්නේ අසූ ගණන්වල මැද භාගයේ සිටය. දිනය 1985 වසරේ ඔක්තෝබර් 17 වැනිදාය. ස්ථානය ෆයිසලාබාද් නුවරය. ඉම්රාන් ඛාන්, වසීම් අක්‍රම්, අබ්දූල් කාදර් වැනි ලොවක් භීතියට පත් කළ පන්දු යවන්නන් හමුවේ නොබියව ක්‍රීඩා කළ අරවින්ද දිනය අවසන් වන තෙක් කඩුල්ලේ රැඳෙමින් ලකුණු 93ක් ලබා ගත්තේය. දියුණු වී තිබෙන ලෝකයේ ශතකයක් අබියස සිටිනා පිතිකරුවකුගේ හදගැස්ම හඳුනා ගැනීම සඳහා උපකරණයක් මෙලොව තවම නිපදවා නොමැත. ඒත් එකී තිගැස්ම කුමක්දැයි කිසිවකුටත් අමුතුවෙන් වටහා දිය යුතු නොවේ. එය මංගල ටෙස්ට් ශතකය නම් එකී හද ගැස්ම වැඩි වන වාර ගණන දන්නේ එම තත්ත්වයට මුහුණ දී සිටින පිතිකරුවා පමණි. එබැවින් ශතකයට අවශ්‍ය ලකුණු 6 ඉවසීමෙන් ක්‍රීඩා කොට ලබාගනු ඇතැයි තරගය නැරඹි සුවහසක් රසිකයන්ට සිතෙන්නට ඇත.

අරවින්ද හමුවේ පන්දු යවන ලද්දේ අප කථා නායක ඉම්රාන් ඛාන්ය. එහෙත් සිදු වූයේ වෙනකකි. ඉම්රාන් එවන ලද කෙටි පන්දුවට කිසිදු පැකිළීමකින් තොරව පසුපසට ගිය අරවින්ද හුක් පහරක් එල්ල කළේය. සැවොම තුෂ්ණිම්භූත වූ එම නිමේෂයේ ප්‍රතිඵලය බවට පත්වූයේ එය දැවැන්ත හයේ පහරක් බවට පරිවර්තනය වී අරවින්ද ශතකය සම්පූර්ණ කර ගැනීමයි.

“ඒක මගේ පළවැනිම ටෙස්ට් ශතකය. ඒ කාලේ ඉම්රාන් ඛාන් කිව්වහම ගොඩක් පිතිකරුවන් බැට් කරන්න එන්නේ දෙපාරක් හිතලා. ඒත් මම මගේ සුපුරුදු ක්‍රීඩා විලාශයෙන්මයි ක්‍රීඩා කළේ. කොහොම වුනත් ඉම්රාන් ඛාන් වගේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෙක්ට 6 පහරක් එල්ල කරලා ශතකයක් වාර්තා කරන්න ලැබීම ගැන නම් ගොඩක් සතුටුයි.” යැයි අරවින්ද පවසයි.

අරවින්දගේ ක්‍රිකට් දිවියට සුවිශේෂී වූ එම ශතකය වාර්තා කරන ලද්දේ අරවින්දගේ උපන් දිනය දා බව සඳහන් වුවත් එය උපන්දිනයට පසුදින වාර්තා කළ බවට නිවැරදි විය යුතු බව ද අරවින්ද මෙහි දී සඳහන් කර සිටියේය.

“හැමෝම හිතන්නේ ඒක මගේ උපන්දිනය දවසේ ගහපු සීයක් කියලයි. ඒත් මගේ උපන්දිනය තිබුණේ ඊට කලින් දවසේ. ඒ කියන්නේ 17 වැනිදා. එදා මට රැස්කර ගන්න පුළුවන් වුනේ ලකුණු 93ක් පමණයි. මම ශතකය රැස්කරපු දවස 18 වැනිදා. මගේ මතකයේ හැටියට එදා දවස රෝයි ඩයස්ගේ උපන්දිනය යෙදී තිබුණේ” යැයි අරවින්ද පවසයි.

මෙම 11 වැනිදා අගමැති පුටුවේ දිවුරුම් දෙන ඉම්රාන් ඛාන්ව අවසන් වරට මුණ ගැසුණු දිනය මතකයේ තිබේ ද යන්න කරන ලද විමසීමේ දී, “මෑතක දී නම් මුණ ගැසුණේ නෑ. ඒත් හුඟ කාලෙකට කලින් නම් මම පාකිස්තානයට ගිය වෙලාවේ එයාව මුණ ගැසුණා. ඒ වෙලාවේ මට එයාගේ හොස්පිටල් එක බලන්න යන්නත් ආරාධනා කළා. ඒ ආරාධනාව පිළිගෙන මම හොස්පිටල් එක බලන්නත් ගියා. අවුරුද්ද නම් හරියටම මතක නෑ. ඒත් සෑහෙන්න කල් කියල නම් මතකයි” යැයි අරවින්ද පැවසීය.

1952 වසරේ ඔක්තෝබර් මස 05 වැනි දින මෙලොව එළිය දුටු ඉම්රාන් 1971 වසරේ දී ප්‍රථමයෙන්ම ටෙස්ට් වරම් දිනා ගන්නේය. එංගලන්තය සමග බර්මිංහැම්හි පැවති ටෙස්ට් තරගය ඉම්රාන්ගේ මංගල ටෙස්ට් තරගය බවට පත් වුවත් එම තරගයේ දී කැපී පෙනෙන දක්ෂතාවක් දැක්වීමට ඔහු අසමත් වන්නේය.

එහෙත් එතැන් පටන් ඇරඹි ඉම්රාන්ගේ දශක දෙකක ක්‍රීඩා කාලයේ අවසානය සනිටුහන් වූ 1992 වසරේ දී ශ්‍රී ලංකාව සමඟ ෆයිසලාබාද්හි පැවති ටෙස්ට් තරගය සමුගැනීමේ තරගය බවට පත් කර ගන්නා විටත් ඔහු පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් තරග 88කට ක්‍රීඩා කර තිබුණි. ශතක 6ක් සහ අර්ධ ශතක 18ක් ද සහිතව ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 37.69ක් ලෙස රඳවා තබා ගත් ඉම්රාන් එක්දින තරග 175ක දී පාකිස්තානය නියෝජනය කරමින් මුලු ලකුණු 3709ක් රැස්කර ගැනීමට සමත්ව තිබේ. ශතකයක් සහ අර්ධ ශතක 19ක් ඇතුළත් ඉම්රාන්ගේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 33.41ක් ලෙස සටහන් වේ.

1992 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙහෙයවන ලද සියලුම රටවල නායකයින්. අරවින්ද දකුණ පස කෙළවරේද ඉම්රාන් ඛාන් ඉදිරි පෙළ කෙළවරේද වෙයි

පිතිකරණයෙන් මෙන්ම පන්දු යැවීමෙන් ද එක ලෙස දක්ෂතා දැක්වූ ඉම්රාන් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය හමාර කරන විට ටෙස්ට් කඩුලු 362කුත්, එක්දින කඩුලු 182කුත් දවා ගැනීමට සමත්ව තිබුණි. කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 22.81ක් ලෙස රඳවා තබාගෙන සිටින ඉම්රාන් ටෙස්ට් අංශයෙන් කඩුලු 5ක් හෝ ඊට වැඩි අවස්ථා 23ක් ද, කඩුලු තරගයක කඩුලු 10ක් හෝ ඊට වැඩි අවස්ථා 6ක් සටහන් කරගෙන සිටියි. ටෙස්ට් අංශයේ පරිදීම කඩුල්ලක් ලබා ගැනීමේ සාමාන්‍ය 26.61ක් ලෙස රඳවා ගැනීමට සමත්ව සිටින ඉම්රාන් එක්දින තරග අංශයේ දී නම් කඩුලු 5කට හෝ වැඩියෙන් දවා ගැනීමට සමත්ව ඇත්තේ එක් අවස්ථාවක දී පමණි.

ක්‍රිකට් දිවියට පරිබාහිරව පෞද්ගලික අතින් ගත්ත ද ඉතාම සුහදශීලී පුද්ගලයකු ලෙසින් ඉම්රාන් ඛාන්ගේ චරිතය අර්ථ දක්වන අරවින්ද, මුණ ගැසුණු සෑම අවස්ථාවක දී ම “එයා මුණ ගැහුණ ඕන වෙලාවක කතා කරන්නේ ක්‍රිකට් ගැනම තමයි” යැයි ප්‍රශ්නය ඇසීමට පෙරම උත්තර ලබා දුන්නේය. මේ අතර ඉම්රාන් ඛාන් සමඟ වූ මතකයේ අමතක නොවනම සිදුවීමක් පිළිබඳව ද මෙහි දී හෙළිකර සිටි අරවින්ද, “ඉන්දියාවේ තිබුණා ඩබල් විකට් කියලා ක්‍රිකට් තරගාවලියක්. ඒක ගහන්න මම ඉන්දියාවට ගිය වෙලාවේ ඒක සෙල්ලම් කරන්න ඉම්රාන් ඛානුත් ඇවිල්ලා හිටියා. මම ඒ තරගාවලියේ ගොඩක් වෙලාවට කාලය ගත කළේ ඉම්රාන් ඛාන් එක්කමයි. ඒ හැම වෙලාවකම එයා කතා කළේ ක්‍රිකට් ගැනම තමයි. ඒ වගේමයි එය අමතක නොවන තරගාවලියක් බවටත් පත්වුනා” යැයි ඉම්රාන් පිළිබඳව තම සිත තුළ වූ අවසන් මතකය පිළිබඳව පවසා සිටියේය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<