යළිත් වරක් ශූරතාවය සාන්ත ජෝසප් හා මහාමායා විදුහලට

562

44 වන වරටත් සංවිධානය කරන ලද සමස්ත ලංකා වයස් කාණ්ඩ පිහිනුම් ශූරතා තරගාවලිය ඊයේ (2) කොළඹ සුගතදාස පිහිනුම් තටාකාංගණයේ දී අවසන් වූ අතර, එහි බාලිකා හා බාලක අංශයේ ශූරතාවය පිළිවෙළින් මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය හා මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය ජයග්‍රහණය කිරීමට සමත් විය.

සාන්ත ජෝසප් හා මහාමායා පෙරමුණේ

44 වන වරටත් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සමස්ත ලංකා පිහිනුම් ශූරතා තරගාවලිය පසුගිය 29 වැනි දා…

තෙවන දිනය – ජුලි 1 වන දා

තෙවන දිනය අවසානයේ දී ද සුපුරුදු ලෙස බාලිකා අංශයේ පෙරමුණ ගැනීමට මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය සමත් වූ අතර, ඔවුන් ඒ වන විට ප්‍රසාද ලකුණු 389ක් ලබාගෙන තිබුණි. මහාමායා විද්‍යාලයට තියුණු අභියෝගයක් එල්ල කළ කොළඹ විශාඛා විද්‍යාලය එහි දෙවැන්නා වූයේ ප්‍රසාද ලකුණු 371.5ක් ලබා ගෙනයි.

උත්තමා සිල්වා වයස අවුරුදු 17න් පහළ නිදහස් ආර මීටර 400 බාලිකා තරග ඉසව්ව  5:00.08ක කාලයක් තුල අවසන් කරමින් මහනුවර  මහාමායා විද්‍යාලයට රන් පදක්කම ජයග්‍රහණය කර දෙන ලදි.

එම විද්‍යාලය වෙනුවෙන් තවත් රන් පදක්කමක් එක් කළ නෙත්මි ගුණසේකර වයස අවුරුදු 11න් පහළ බාලිකා මීටර 200 නිදහස් ආර ඉසව්ව මිනිත්තු 3:17.57 කාලයක් තුල අවසන් කරන ලදි. තවද වයස අවුරුදු 17න් පහළ සමනළ ආර මීටර 200 බාලිකා ඉසව්ව මිනිත්තු 2:48.87 කාලයක දී අවසන් කළ මහේශිකා හේවගේ එහි පළමුවැන්නා විය.

බාලක අංශයේ පෙරමුණ ගැනීමට මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සමත් වූයේ ප්‍රසාද ලකුණු 416ක් ලබා ගනිමින් වන අතර, එහි දෙවැනි ස්ථානයේ පසු වූ රාජකීය විද්‍යාලය ප්‍රසාද ලකුණු 285ක් ලබාගෙන සිටියේය.

වයස අවුරුදු 15න් පහළ බාලක මීටර 50 පසුපස ආර තරග ඉසව්ව තත්පර 28.86 කාලයක් තුල නිමා කළ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයේ ශෙවින්ද ද සිල්වා එහි පළමු ස්ථානය ජයග්‍රහණය කරන ලදි.

මෙම තරගාවලියට සමගාමීව පැවැත්වෙන සංයුක්ත අංශයේ ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ දිනා ගැනීමට ප්‍රසාද ලකුණු 403ක් ජයග්‍රහණය කළ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත් වූයේ, තම සහෝදර නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල දෙවන ස්ථානයට ඇඳ දමමිනි. එහි දී නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල ප්‍රසාද ලකුණු 196.5ක් රැස්කරගෙන තිබුණි.

දක්ෂ පිහිනුම් ක්‍රීඩිකාවක් වන අනන්‍යා කළ්‍යානසුන්දරම් වයස අවුරුදු 13න් පහළ බාලිකා මීටර 400 නිදහස් ආර තරග ඉසව්ව ජයග්‍රහණය කිරීමට මිනිත්තු 5:22.66ක කාලයක් ගත කළේය.

තෙවින්දි මෙත්ලිනී වයස අවුරුදු 11න් පහළ බාලිකා මීටර 50 නිදහස් ආර තරග ඉසව්ව ජයග්‍රහණය කරනු ලබන්නේ තත්පර 32.68ක් තුල එම ඉසව්ව අවසන් කරමිනි. මීටර 200 වයස අවුරුදු 15න් පහළ සමනළ ආර බාලිකා තරග ඉසව්ව මිනිත්තු 2:53.23 කාලයක් තුල නිමා කිරීමට දේවා රශ්මි  සමත් විය. එසේම එම වයස් කාණ්ඩයේම මීටර 200 සමනළ ආර බාලක තරග ඉසව්ව මිනිත්තු 2:17.23 කාලයක් තුල අවසන් කිරීමට අම්ජාඩ් හසන් සමත් විය. වයස අවුරුදු 17න් පහළ මීටර 50 ලය ආර බාලක තරග ඉසව්ව ජයග්‍රහණය කිරීමට ඩිලුක් ජයතිලක සමත් වූයේ, තත්පර 31.84ක කාලයක් වාර්තා කරමිනි.

මෙම තරගාවලියේ තෙවන දිනය වූ මෙම දිනය තුල නව තරග වාර්තා 6ක් බිහි කිරීමට එම පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. එයින් කිහිපයක් පහත දැක්වේ.

  • වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ අම්ජාඩ් හසන් වයස අවුරුදු 15න් පහළ මීටර 200 සමනළ ආර  බාලක තරග ඉසව්ව මිනිත්තු 2:17.23ක කාලයක් තුල අවසන් කරමින් මිනිත්තු 2:24.41 ලෙස දැක්වූ වාර්තාව බිඳ දමන ලදි.
  • සාන්ත පීතර විද්‍යාලයේ අකලංක පීරිස් වයස අවුරුදු 17න් පහළ මීටර 50 පසුපස ආර බාලක තරග ඉසව්වේ තිබූ පැරණි වාර්තාව වන තත්පර 27.75 වාර්තාව බිඳ දමමින්, තත්පර 27.36 කාලයක් තුල එම ඉසව්ව අවසන් කරන ලදි.
  • කොළඹ විශාඛා විද්‍යාලයේ රමුදි සමරකෝන් වයස අවුරුදු 15න් පහළ මීටර 50 බාලිකා ලය ආර ඉසව්ව සතුව තිබූ පැරණි වාර්තාව වන තත්පර 36.64 වාර්තාව බිඳ දමමින් තත්පර  36.41ක කාලයක් තුල එම ඉසව්ව අවසන් කරමින් ජයග්‍රහණය ලබා ගන්නා ලදි.
  • කොළඹ විශාඛා විද්‍යාලයේම ශෙහන්ති ගුණවර්ධන වයස අවුරුදු 17න් පහළ බාලිකා මීටර 200 නිදහස් ආර ඉසව්ව මිනිත්තු 2:18.53 කාලයක් තුල අවසන් කරන්නේ, මිනිත්තු 2:19.65 ලෙස දැක්වූ වාර්තාව අලුතින් ලියමිනි.

තරගාවලියේ තෙවන දිනය අවසානයේ මුළු ප්‍රසාද ලකුණු පුවරුව මෙසේ දැක්විය.

බාලක අංශය බාලිකා අංශය සංයුක්ත අංශය
1. සාන්ත ජෝශප් විද්‍යාලය – ලකුණු 416 මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය – ලකුණු 389 වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල- ලකුණු 403
2.කොළඹ රාජකීය විද්‍යාලය – ලකුණු 285 කොළඹ විශාඛා විද්‍යාලය – ලකුණු 371.5 නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල – ලකුණු 196.5
3.කොළඹ ආනන්ද විද්‍යාලය – 259 සිරිමාවෝ බණ්ඩාරනායිකා විද්‍යාලය – ලකුණු 245 කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල – ලකුණු 148
4. වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල- ලකුණු 164 වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල- ලකුණු – 239 අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය – ලකුණු 103
5.කොළඹ නාලන්දා විද්‍යාලය – ලකුණු 146 මියුසියස් විද්‍යාලය – ලකුණු 181 Regent ජාත්‍යන්තර පාසල – ලකුණු 70

සිව්වන හා අවසන් දිනය – ජුලි 2 වැනි දා

මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය ප්‍රසාද ලකුණු 518ක් ලබාගෙන ශූරතාවය ජයග්‍රහණය කළ අතර, එහි දෙවන ස්ථානය ලබා ගත් කොළඹ විශාඛා විද්‍යාලය ප්‍රසාද ලකුණු 507.5ක් ලබා ගන්නා ලදි.

බාලක අංශය තුල ආධිපත්‍යය පැතිර වූ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය ප්‍රසාද ලකුණු 560ක් ලබාගෙන නැවත වතාවක් ශූරතාවය ජයග්‍රහණය කළ අතර, එහි දෙවැනි ස්ථානය දිනා ගත් කොළඹ රාජකීය විද්‍යාලයට ලබා ගැනීමට හැකි වූයේ ප්‍රසාද ලකුණු 381ක් පමණි.

සංයුක්ත අංශයේ පළමු ස්ථානය දිනා ගත් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල ප්‍රසාද ලකුණු 541ක් ලබා ගැනීමට සමත් විය. එහි දෙවන ස්ථානය ලබාගෙන අනුශූරතාවය හිමි කර ගත් වත්තල ලයිසියම් විද්‍යාලයේ සහෝදර පාසලක් වන නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල ප්‍රසාද ලකුණු 266.5ක් රැස්කරගත්තේය.

තරගාවලියේ අවසන් දිනය තුල නව වාර්තා 13ක් බිහිකිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. ඒ අතුරෙන් වත්තල ලයිසියම් ජාත්‍යන්තර විද්‍යාලය වයස අවුරුදු 17න් පහළ වයස් කාණ්ඩයේ මීටර 400 නිදහස් ආර සහය පිහිනුම් තරගයේ දී මිනිත්තු 3:51.47ක කාලයක් තුල තරගය නිමා කරමින් මිනිත්තු 3:55.15ක් ලෙස සටහන්ව තිබූ වාර්තාව බිඳ දැමුවේය.

මීටර 400 වයස අවුරුදු 15න් පහළ බාලිකා නිදහස් ආර සහය පිහිනුම් තරගයේ දී කොළඹ විශාඛා විද්‍යාලය විසින් මිනිත්තු 4:35.15ක් ලෙස දැක්වුනු පැරණි වාර්තාව අලුතින් ලියවූ අතර, එය දැක්වූයේ මිනිත්තු 4:33.66 ලෙසයි.

සාන්ත ජෝසප් විද්‍යාලය නව වාර්තා දෙකක් බිහි කළ අතර, වයස අවුරුදු 19න් පහළ බාලක නිදහස් ආර මීටර 400 ඉසව්ව මිනිත්තු 3:25.85 කාලයක් තුල අවසන් කරමින් හා වයස අවුරුදු 15න් පහළ මීටර 400 බාලක නිදහස් ආර ඉසව්වේ දී මිනිත්තු 4:22.53 කාලයක් වාර්තා කරමින්, පිළිවෙළින් මිනිත්තු 4:21.19ක් හා මිනිත්තු 5:08.39ක් ලෙස දැක්වූ වාර්තා බිඳ දමන ලදි.

වයස අවුරුදු 19න් පහළ බාලක අංශයේ වයස් කාණ්ඩය තුල නව වාර්තා තුනක් ද අලුත් කරමින්, ප්‍රසාද ලකුණු 45ක් ලබා ගත් කොළඹ නාලන්ද විද්‍යාලයේ දිලංක ශෙහාන් බාලක අංශයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, කොළඹ විශාඛා විද්‍යාලයේ ගිහිනි නාවල, මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ එස්. ඒ. කේ. යූ. කුලතුංග හා  සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ තෝමලී සෙනෙවිරත්න එහි බාලිකා ශූරතාවය සමසමව ජයග්‍රහණය කරන ලද්දේ, ප්‍රසාද ලකුණු 30ක් ලබා ගනිමිනි.

වයස අවුරුදු 17න් පහළ බාලක වයස් කාණ්ඩය තුල ප්‍රසාද ලකුණු 45ක් ලබාගෙන නව තරග වාර්තා තුනක් බිහි කළ සාන්ත පීතර විද්‍යාලයේ අකලංක පීරිස් උක්ත වයස් කාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කරන විට, එහි බාලිකා ශූරතාවය ජයග්‍රහණය කිරීමට කොළඹ ගේට්වේ ජාත්‍යන්තර විද්‍යාලයේ මොනලි වීරක්කොඩි සමත් විය. ඇය මෙම තරගාවලිය තුල ලකුණු 40ක් හා නව තරග වාර්තා දෙකක් බිඳ හෙලුවාය.

වයස අවුරුදු 15න් පහළ බාලක අංශයේ ශූරතාවය මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයේ ශෙවින්ද ද සිල්වා ජයග්‍රහණය කළ අතර, එහි දී ඔහු විසින් ප්‍රසාද ලකුණු 40ක් හා නව තරග වාර්තා 2ක් අලුතින් ලියන ලදි. එහි බාලිකා ශූරතාවය ප්‍රසාද ලකුණු 45ක් සමඟින් නව තරග වාර්තා 3ක් අලුත් කළ, කොළඹ විශාඛා විද්‍යාලයේ රමුදි සමරකෝන් විසින් ජයග්‍රහණය කරන ලදි.

  • තරගාවලියේ හොඳම බාලක පිහිනුම් ක්‍රීඩකයා – අකලංක පීරිස්  (සාන්ත පීතර විද්‍යාලය)
  • තරගාවලියේ හොඳම බාලිකා පිහිනුම් ක්‍රීඩිකාව – විනෝලි කළුආරච්චි (සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය)

මෙම තරගාවලියට සාපේක්ෂව පැවැත්වූ කිමිදුම් තරගාවලියේ බාලක අංශයේ ජය තහවුරු කර ගැනීමට ප්‍රසාද ලකුණු 193ක් ලබා ගත් කොළඹ රාජකීය විද්‍යාලය සමත් විය. එහි බාලිකා අංශයේ ශූරතාවය කොළඹ බිශොප් විද්‍යාලය ජයග්‍රහණය කළේ ප්‍රසාද ලකුණු 150ක් දිනා ගනිමිනි.

  • වයස අවුරුදු 19න් පහළ බාලක කිමිදුම් ශූරයා – ප්‍රසාද ලකුණු 30 – දුලංජන ප්‍රනාන්දු (කොළඹ රාජකීය විද්‍යාලය)
  • වයස අවුරුදු 19න් පහළ බාලිකා කිමිදුම් ශූරිය – ප්‍රසාද ලකුණු 27 – විවංකා නානායක්කාර (කොළඹ බිශොප් විද්‍යාලය)

මෙම තරගාවලිය අවසානයේ පිහිනුම් අංශයේ හා කිමිදුම් අංශයේ සමස්ත ප්‍රසාද ලකුණු පුවරුව පහත පරිදි දැක්විය.

පිහිනුම් අංශයේ ප්‍රසාද ලකුණු පුවරුව

බාලක අංශය බාලිකා අංශය සංයුක්ත අංශය
1) මරදාන සාන්ත ජෝශප් විද්‍යාලය – ලකුණු 560 මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය – ලකුණු 518 වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල  – ලකුණු  541
2) කොළඹ රාජකීය විද්‍යාලය – ලකුණු 381 විශාඛා විද්‍යාලය – ලකුණු 507.5 නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල– ලකුණු 266.5
3)කොළඹ ආනන්ද විද්‍යාලය – ලකුණු 349 සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය – ලකුණු 343 කොළඹ ගේට්වේ විද්‍යාලය – 158
4)  වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල – ලකුණු 210 වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල – ලකුණු 331 අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය – ලකුණු 103
5) මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය – ලකුණු 199 මියුසියස් විද්‍යාලය  – ලකුණු 231 Regent ජාත්‍යන්තර පාසල – ලකුණු 70

කිමිදුම් අංශයේ ප්‍රසාද ලකුණු පුවරුව

බාලක බාලිකා
1)කොළඹ රාජකීය විද්‍යාලය – ලකුණු 193 කොළඹ බිශොප් විද්‍යාලය  – ලකුණු  150
2)කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය – ලකුණු 45 සාන්ත බ්‍රිජට් කන්‍යාරාමය – ලකුණු 70
3) ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය – ලකුණු 39 සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය  – ලකුණු 34

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට