දැවැන්ත ප්‍රහාරයක් සමඟින් සහිරා විද්‍යාලයට ප්‍රබල ජයක්

510

මරදාන සහිරා විද්‍යාලය සහ යාපනය කින්නියා මධ්‍ය මහා විද්‍යාලය අතර අද (13) කොළඹ සුගතදාස පාපන්දු ක්‍රීඩාංගණයේ දී පැවති වයස අවුරුදු 18න් පහළ සමස්ත ලංකා අන්තර් පාඨශාලීය පළමු කාණ්ඩයේ පාපන්දු තරගාවලියේ 3 වැනි ස්ථානය තීරණය කිරීමේ තරගයෙන් ගෝල 5-0ක විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකරගත් සහිරා විද්‍යාලයීය කණ්ඩායම තරගාවලියේ 3 වැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය.

ප්‍රබල සහිරාවන් පරදා රාජකීයයන් අවසන් මහා තරගයට

වයස අවුරුදු 18න් පහළ සමස්ත ලංකා පාසල් පළමු කාණ්ඩයේ පාපන්දු….

කින්නියා මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයින් අවසන් පූර්ව තරගයේ දී සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායම හමුවේ ගෝල 4-0ක පරාජයක් අත්විඳී අතර අනෙක් පසින් සහිරා විද්‍යාලයට අවසන් පූර්ව වටයේ දී රාජකීය විද්‍යාලය හමුවේ දඬුවම් පහර වටයේ දී නොසිතූ පරාජයකට මුහුණ දීමට සිදුවිය.

තරගය ආරම්භයේ දී ම කින්නියා ගෝල රකින ක්‍රීඩකයා ආබාධයකට ලක්වූ අතර ඒ අනුව මොහොමඩ් ආසන් ගෝල රකින ක්‍රීඩකයා ලෙස තරගයට අවතීර්ණ කරන තෙක් මොහොමඩ් සිෆාස් හට ගෝල රකින වගකීම ඉටු කිරීමට සිදු විය.

කෙසේ නමුත් කින්නියා ක්‍රීඩකයින් තරගය ආරම්භයේ සිටම දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරන්නට වූ අතර ඒ හරහා මොහොමඩ් මුෂාරෆ් පිටියේ දකුණු අන්තයේ සිට ලබා දුන් පන්දුවකට පහරක් එල්ල කරමින් ගෝලයක් වාර්තා කරගන්නට රිෆ්කාන් අහමඩ් හට අවස්ථාවක් හිමිවුවත් එහි දී ඔහු පහර එල්ල කිරීමට වැඩි කාලයක් ගැනීමත් සමඟ එය ව්‍යර්ථ කර දමන්නට සහිරා ක්‍රීඩක අබ්දුල් රසාක් හට හැකි විය.

කෙසේ නමුත් තරගය ඉදිරියට යත්ම සහිරා ක්‍රීඩකයින් ද තරගයට අවතීර්ණ වූ අතර ඒ අනුව ගෝල රාමු කලාපය ආසන්නයේ නිදහස් පහර අවස්ථාවක් දිනා ගන්නට ඔවුන් සමත් වුවත් එහි දී හසන් රාසා එල්ල කළ පහර ගෝල රාමුවට ඉහතින් ඇදී ගියේය.

ඉන් අනතුරුව ද සහිරා ක්‍රීඩකයින් ගෝලයක් වාර්තා කරගැනීමට අවස්ථාවන් කිහිපයක්ම නිර්මාණය කරගැනීමට සමත් වුවත් ඒවා සාර්ථකව අවසන් කරගන්නට ඔවුන් සමත් වූයේ නැත. කෙසේ නමුත් තරගයේ 34 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ මොහොමඩ් සාජිඩ් විශිෂ්ට ගෝලයක් වාර්තා කරගනිමින් සිය කණ්ඩායම තරගයේ පෙරමුණට රැගෙන යන්නට සමත් විය. එහි දී කින්නියා ක්‍රීඩකයින් අතින් සිදු වූ අතපසුවීමකින් පන්දුව ලබාගත් සාජිඩ් ප්‍රතිවාදී ක්‍රීඩකයින් තිදෙනෙක් ඉතා විශිෂ්ට ලෙස පසුකර යමින් එය පහසුවෙන් ගෝල රාමුව තුළට යොමුකරමින් එම ගෝලය වාර්තා කරගනු ලැබීය.

කින්නියා අභියෝගයට ජෝසප්වරුන්ගෙන් ප්‍රබල පිළිතුරක්

වයස අවුරුදු 18න් පහළ සමස්ත ලංකා පාසල් පළමු කාණ්ඩයේ පාපන්දු තරගාවලිය යටතේ මරදාන…

ඉන් අනතුරුව කින්නියා ක්‍රීඩකයින් හට පළමු අර්ධය අවසන් වන්නට පෙර ගෝලයක් වාර්තා කරගන්නට ඉතා පහසු අවස්ථාවන් කිහිපයක්ම හිමිවුවත් ඒවා සාර්ථක කරගැනීමට ඔවුන් සමත් වූයේ නැත. එම අවස්ථා සියල්ල මුෂාරෆ් විසින් නිර්මාණය කරනු ලැබූ අතර ඒවා සාර්ථකව අවසන් කරගැනීමට අසමත් වූයේ ආසිෆ් අහමඩ් විසිනි.

පළමු අර්ධය: සහිරා විද්‍යාලය 01 – 00 කින්නියා මධ්‍ය මහා විද්‍යාලය

දෙවන අර්ධයේ පළමු මිනිත්තු කිහිපය තුළ දෙපිළේම ක්‍රීඩකයින් ගෝලයක් වාර්තා කරගැනීමට අවස්ථාවක් නිර්මාණය කරගන්නට අසමත් වුවත් තරගයේ 54 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ සහිරා විද්‍යාලයේ මොහොමඩ් අක්තාර් සිය කණ්ඩායමට ඔවුන්ගේ දෙවන ගෝලය හිමිකර දෙන්නට සමත් විය. එහි දී ඔවුන්ට ලැබුණු කෝනර් අවස්ථාවකින් සාජිඩ් විසින් ගෝල රාමුව තුළට යොමු කළ පන්දුවට අක්තාර් විසින් හිසින් පහරක් එල්ල කරමින් එම ගෝලය වාර්තා විය.

ඉන් අනතුරුව ද සාජිඩ් හට අවස්ථාවක් හිමිවුවත් එහි දී ඔහු එල්ල කළ පහර ගෝල රාමුවෙන් ඉවතට ඇදී ගියේය.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

පසුව කින්නියා කණ්ඩායමේ මුෂාරෆ් හට ගෝල රාමුව ආසන්නයේ සිය ගෝලයක් වාර්තා කරගැනීමට අවස්ථාවක් හිමිවුවත් එහි දී ඔහු එල්ල කළ පහර දුර්වල එකක් වූ අතර ඒ අනුව එය ගෝල රාමුවෙන් ඉවතට ඇද දමන්නට සහිරා ක්‍රීඩකයින් සමත් විය. කෙසේ නමුත් එහි දී පන්දුව සිෆාස් වෙත යොමුවුවත් ඔහුට පහරක් නිර්මාණය කරගැනීමට අවස්ථාවක් ලැබුණේ නැත.

තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය තුළ ගෝලයක් වාර්තා කරගැනීමේ අරමුණින් කින්නියා කණ්ඩායම ක්‍රීඩකයින් ඉදිරියට යොමුකරන්නට වූ අතර ඉන් උපරිම ප්‍රයෝජනය ලබාගත් සහිරා ක්‍රීඩකයින් තවත් ගෝල 3ක් වාර්තා තරගයේ ජයග්‍රහණය තහවුරු කරගන්නට සමත් විය. රසාක්, මොහොමඩ් මුෂ්ෆීර් සහ රාසා විසින් පිළිවෙළින් එම ගෝල වාර්තා කර ගනු ලැබූ අතර ඒ සියල්ල ගෝල රාමුව කලාපය තුළ සිට පහසුවෙන් එල්ල කරනු ලැබූ පහරවල් හරහා වාර්තා විය.

තරගය අවසන් වන්නට පෙර කින්නියා ක්‍රීඩකයින් ද ගෝලයක් වාර්තා කර ගනු ලැබුවත් එහි දී ‘off-side’ නීතිය උල්ලංඝණය වූ බවට විනිසුරුවරයා සංඥා කිරීමත් සමඟ එම ගෝලය ඔවුන්ට පිරිනැමුණේ නැත.

ඒ අනුව මෙම තරගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකරගත් සහිරා විද්‍යාලයීය කණ්ඩායම තරගාවලියේ 3 වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් විය.

සම්පූර්ණ කාලය: සහිරා විද්‍යාලය 05 – 00 කින්නියා මධ්‍ය මහා විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා හසන් රාසා (සහිරා විද්‍යාලය)

ගෝල ලාභීන්
සහිරා විද්‍යාලය – මොහොමඩ් සාජිඩ් 36’, මොහොමඩ් අක්තාර් 54’, අබ්දුල් රසාක් 77’, මොහොමඩ් මුෂ්ෆීර් 81’, හසන් රාසා 83’

කහ කාඩ්පත්
සහිරා විද්‍යාලය – නිසාම් නබීල් 70’
කින්නියා මධ්‍ය මහා විද්‍යාලය – මොහොමඩ් ඉසාන් 58’

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<