නිරෝෂ්ගේ උත්සාහක දිනුම් අපතේ යවමින් තරින්ද වැලිසර හොල්ලයි

596

ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ දෙවන සති අන්තයේ තවත් තරගයක් අද (17) වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී නාවික හමුදා ක්‍රීඩා සමාජය හා CR&FC කණ්ඩායම අතර පැවැත්වුණු අතර ලකුණු 28-22ක් ලෙස තියුණු ජයක් හිමි කර ගැනීමට CR&FC කණ්ඩායම සමත් විය.

රහල් සහ රීසා, මධුවන්තගේ උත්සාහයන් සියල්ල ව්‍යර්ථ කරයි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන සති අන්තය අරඹමින් ප්‍රබල කණ්ඩායම් දෙකක් වන හැව්ලොක් ක්‍රීඩා සමාජය හා CH&FC ක්‍රීඩා…

තරගය පුරා දඬුවම් පහර 20කට වඩා විනිසුරු විසින් කණ්ඩායම් දෙකටම ලබා දුන් අතර CR&FC කණ්ඩායමේ තරින්ද රත්වත්ත දඬුවම් පහර හතක් සාර්ථක කර ගත්තේ නාවිකයින්ගේ උත්සාහක දිනුම් තුන අපතේ යවමිනි. විශේෂයෙන්ම නාවික හමුදා කණ්ඩායමේ නායක තිළිණ වීරසිංහ වැදගත් දඬුවම් පහර කිහිපයක් අපතේ යැව්වේ තරගයේ ප්‍රතිඵලයට සැලකිය යුතු වෙනසක් කරමිනි.

නාවික හමුදා නායක තිළිණ වීරසිංහගේ පා පහරින් තරගය ආරම්භ වූ අතර පළමු මිනිත්තුවේ දී ම නාවික හමුදා කණ්ඩායමට දඬුවම් පහරක් පිරිනමන්නට විනිසුරු ජමල්ඩීන් තීරණය කළේය. තිළිණ විරසිංහ හට එම අවස්ථාව මග හැරුණු අතර සිව්වැනි මිනිත්තුවේ දී ලැබුණු දෙවන දඬුවම් පහර ද අවාසනාවන්ත ලෙස ඔහුට සාර්ථක කර ගැනීමට හැකි වූයේ නැත.

කෙසේ වෙතත් CR ක්‍රීඩකයින් පළමු මිනිත්තු කිහිපයේ කිහිප වතාවක්ම පන්දුව නිදහස් නොකිරීමේ වරදට හසුවනු දක්නට හැකි විය.

අනතුරුව CR ක්‍රීඩකයින් පසුපසට තල්ලු කරමින් නාවික හමුදා ක්‍රීඩකයින් ප්‍රබල ආක්‍රමණයක නිරත විය. තරින්ද රත්වත්ත හට නොසිතූ ලෙස උත්සාහක දිනුම් රේඛාව පසුපස පන්දුව ඇතහැරුණු අතර ක්ෂණිකව රත්වත්ත ළඟට ආ රදීෂ සෙනෙවිරත්න  රත්වත්තට ප්‍රථමයෙන් පන්දුව බිම තැබුවේ නාවික හමුදාවට නොසිතූ උත්සාහක දිනුමක් හිමි කර දෙමිනි. තිළිණ එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (නාවික 07-00 CR)

නව මුහුණුවරකින් සංග්‍රාමයට සැරසෙන CR&FC ක්‍රීඩා සමාජය

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය ඉකුත් දා ආරම්භ විය. ශ්‍රී ලංකාවේ පැරණිතම ක්‍රීඩා සමාජයක් වන CR&FC ක්‍රීඩා සමාජය නවක මුහුණු කිහිපයක්…

අනතුරුව කණ්ඩායම් දෙකම ප්‍රතිවාදීන්ට දඬුවම් පහර ලබා දීමේ පූජාවක නිරත වූ අතර 10 වන මිනිත්තුවේ දී තරින්ද රත්වත්ත CR කණ්ඩායම වෙනුවෙන් ලකුණු රැස් කිරීමට සමත් විය. 14 වන මිනිත්තුවේ දී තිළිණ වීරසිංහ නාවික හමුදා කණ්ඩායම වෙනුවෙන් දඬුවම් පහරක් සාර්ථක කර ගත් අතර 23, 30, 32 වන මිනිත්තුවල දී හිමි වූ දඬුවම් පහර සියල්ල රත්වත්ත CR කණ්ඩායම වෙනුවෙන් සාර්ථක කර ගත්තේ පෙර සිදු වූ වරද නිවැරදි කර ගනිමිනි. (නාවික 10-12 CR)   

පළමු අර්ධයේ අවසන් මිනිත්තු පහ තුළ කණ්ඩායම් දෙකම තියුණු සටනකට අවතීර්ණ වූ අතර ක්‍රීඩාගාරයේ සිට ආදේශ ක්‍රීඩකයෙකු ලෙස පිටියට අවතීර්ණ වූ නිරෝෂ් පෙරේරා පිටියට පැමිණ සුළු මොහොතකින් දක්ෂ ධාවනයක් සමඟින් CR ආරක්ෂක වළලු බිඳ දැමුවේ දෙවන නාවික උත්සාහක දිනුම තමන් සතු කර ගනිමිනි. තිළිණ අමතර ලකුණු එකතු කිරීමට සමත් වූයේ නැත. (නාවික 15-12 CR)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

පළමු අර්ධය නාවික හමුදාවේ පෙරමුණත් සමඟ නිමාවේ යැයි සිතුවත් 38 වන මිනිත්තුවේ දී මීටර 30 ආසන්නයේ තිළිණ වීරසිංහ පා පහරක් අවහිර කළ රෙහාන් සිල්වා, මලිත පෙරේරාට පන්දුව දිනා දුන්නේ මලිතට ධවල රේඛාව ඉක්මවා යෑමට මග සකස් කරමිනි. එහි ප්‍රවර්තනය තරින්ද සාර්ථක කර ගත් අතර නාවික හමුදාවට නොසිතූ ලෙස ලකුණු හතරක් පසුපසින් තරගය අවසන් කරන්නට සිදු විය.

පළමු අර්ධය: නාවික හමුදාව 15 (2T, 1C, 1P) -19 (4P, 1C, 1T) CR & FC ක්‍රීඩා සමාජය  

දෙවන අර්ධය ආරම්භයත් සමඟ ඔමල්ක ගුණරත්න හට කහ කාඩ්පතක් ලබා දී පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු තීරණය කළේ CR කණ්ඩායමට දැඩි ගැටලුවකට ඇද දමමිනි. 42 වන මිනිත්තුවේ දී නාවික හමුදාවට තවත් දඬුවම් පහරක් හිමි වූ නමුත් තිළිණ එම අවස්ථාව සාර්ථක කර ගත්තේ නැත.

47 වන මිනිත්තුවේ දී බුද්ධිම පියරත්න දක්ෂ ධාවනයක යෙදෙමින් උත්සාහක දිනුමක් කරා යාමට උත්සහ කළ නමුත් කවිඳු පෙරේරා එම අවස්ථාව ව්‍යර්ථ කිරීමට සමත් විය.

48 වන මිනිත්තුවේ දී චරණ චාමිකර හට කහ කාඩ් පතක් ලබා දීමට විනිසුරු තීරණය කළ අතර ක්‍රීඩකයින් දෙදෙනෙකු අහිමි වූ CR කණ්ඩායම පත් වූයේ දැඩි අර්බුදයකටය.

සැලසුම් වෙනස් කළ CR කණ්ඩායම සිය ඉදිරිපෙළ ක්‍රීඩකයින් යොදා ගෙන ඉදිරියට යෑමට උත්සහ කළ අතර 53 වන මිනිත්තුවේ දී දුලංජන විජේසිංහ දිනා දුන් දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට තරින්ද සමත් විය. නාවික හමුදා ක්‍රීඩකයින් දිගින් දිගටම ප්‍රතිවාදීන්ට දඬුවම් පහර ලබා දුන් අතර 59 වන මිනිත්තුවේ දී ද තවත් දඬුවම් පහරක් මගින් ලකුණු රැස් කරන්නට තරින්ද සමත් විය. (නාවික 15-25 CR)

මිනිත්තුවෙන් මිනිත්තුව තරගය තවත් උණුසුම් වූ අතර නාවික හමුදා ක්‍රීඩකයින් දිගින් දිගටම පන්දුව ඔවුන් සතුව තබා ගන්නට අසමත් වීම ඔවුන්ට බරපතල පාඩුවක් විය.CR ක්‍රීඩකයින් එහි වාසිය ලබා ගනිමින් ඉතා හොඳින් නාවිකයින්ට ප්‍රහාර එල්ල කළ අතර නාවිකයින් දරුණු ලෙස පසු පාදයට ඇද දමමින් ‘Scrum Half’ ක්‍රීඩක රිචී ධර්මපාල කහ කාඩ් පතක් ලබා පිටියෙන් ඉවත් විය.

නැවත තරගයට පිවිසීමට ප්‍රබල සටනක් දුන් නාවික හමුදා ක්‍රීඩකයින් පියවරින් පියවර ඉදිරියට ඇදුණු අතර පන්දු හුවමාරු කිහිපයකට පසු නිරෝෂ් පෙරේරා ප්‍රමුඛ නාවික හමුදා ඉදිරිපෙළ උත්සාහක දිනුමක් මගින් නැවත තරගයට පිවිසෙන්නට සමත් විය. එහි ප්‍රවර්තනය ද ඔවුන් සාර්ථක කර ගන්නා ලදි. (නාවික 22-25 CR)

කෙසේ වෙතත් නාවිකයින් නැවතත් පීඩනයකට ලක් කරමින් CR කණ්ඩායමට නැවත වරක් දඬුවම් පහරක් හිමි වූ අතර තරින්ද එම දඬුවම් පහර ද සාර්ථක කර ගන්නා ලදි. (නාවික 22-28 CR)

අවසන් මිනිත්තු කිහිපයේ දී ඉතා ඉවසීමෙන් ක්‍රීඩා කළ CR & FC කණ්ඩායම සිය දෙවන තරගයත් ජය ගන්නට සමත් විය.

අවසන් ලකුණු තත්වය: නාවික හමුදා ක්‍රීඩා සමාජය 22 (3T, 2C,1P) – 28 (1T, 1C, 7P ) CR & FC ක්‍රීඩා සමාජය   

ThePapare.com තරගයේ වීරයා: තරින්ද රත්වත්ත (CR)

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • CR&FC – තරින්ද රත්වත්ත (7P, 1C), මලිත පෙරේරා (1T)
  • නාවික හමුදාව – තිළිණ වීරසිංහ (1C, 1P), නිරෝෂ් පෙරේරා (2T), රදීෂ සෙනෙවිරත්න (1T)  

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<