ආසියාව කැළඹූ දැල්පන්දු ක්‍රීඩිකාවන් දැක්වූ දක්ෂතා

361

සැප්තැම්බර් 1 වැනිදා සිට 9 වැනිදා දක්වා සිංගප්පූරුවේ දී පැවති 11 වැනි ආසියානු දැල්පන්දු තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. මෙවර තරගාවලිය පැවැත්වුණේ කණ්ඩායම් 12 සහභාගීත්වයෙනි. මෙවර ශූරතාවයත් සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙන ආසියානු දැල්පන්දු ශූරතා සංඛ්‍යාව 5කි.

ආසියානු දැල්පන්දු රැජිනියන්ගේ ආගමනය

පසුගිය දා සිංගප්පූරුවේ දී නිමාවට පත්වූ 11 වැනි ආසියානු කාන්තා දැල්පන්දු ශූරතා තරගාවලියේ..

  • මූලික වටය

මූලික වටයේ තරග පැවැත්වුණේ කාණ්ඩ 4ක් යටතේය. එහි දී ශ්‍රී ලංකාව B කාණ්ඩයෙන් තරග වැදුණ අතර ශ්‍රී ලංකාවට අමතරව චීන තායිපේ සහ ඉන්දියාව ද ක්‍රීඩා කළේ B කාණ්ඩයෙනි.

ශ්‍රී ලංකාව මූලික වටයේ පළමු තරගයට සහභාගී වූයේ චීන තායිපේ කණ්ඩායමත් සමඟිනි. ඒ සැප්තැම්බර් පළමු වැනිදායි. එම තරගයෙන් 137-05ක අති දැවැන්ත ජයග්‍රහණයක් ලැබීමට ශ්‍රී ලංකාවට හැකි විය.

ශ්‍රී ලංකාව මූලික වටයේ සිය දෙවැනි තරගයට ක්‍රීඩා කළේ ශ්‍රී ලංකාවේ ප්‍රබලතම ප්‍රතිවාදී (Rival) රට වන ඉන්දියාවට එරෙහිවයි. ඒ සැප්තැම්බර් 2 වැනිදාය. බොහෝ ක්‍රීඩාවලින් ඉන්දියාව, ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටිය ද, අපගේ දැල්පන්දු ක්‍රීඩිකාවන් ඉන්දියාවට රිදෙන්නටම ප්‍රහාරයක් එල්ල කළේ 101-29ක ජයක් ලබමිනි.

එම ජයත් සමඟින් ශ්‍රී ලංකාව B කාණ්ඩයේ පෙරමුණට පත් විය. ආසියානු දැල්පන්දු ශූරතාවය පැවැත්වෙන ආකෘතිය අනුව ඒ ඒ කාණ්ඩයෙන් පෙරමුණ ගන්නා කණ්ඩායම් 4 ශූරතාවය සඳහා තරග වදී. කාණ්ඩ 4න් දෙවැනි ස්ථාන ලබාගන්නා කණ්ඩායම් 4 පලඟ ශූරතාවය සඳහා ද, තුන්වැනි ස්ථාන ලබාගන්නා කණ්ඩායම් 4 බඳුන ශූරතාවය සඳහා ද තරග කරයි.

ඒ අනුව එක් එක් කාණ්ඩයෙන් පෙරමුණ ගත් ශ්‍රී ලංකාව, මැලේසියාව, සත්කාරක සිංගප්පූරුව සහ හොංකොං රාජ්‍යය ශූරතා කුසලානය සඳහා ක්‍රීඩා කරන ලදි. දෙවැනි වටයේ දී මෙම රටවල් 4 ක්‍රීඩා කරන ලද කාණ්ඩය හැඳින්වූයේ E කාණ්ඩය යනුවෙනුයි.

  • දෙවැනි වටය

“තර්ජිනී සිවලිංගම්, සිංගප්පූරුවට එරෙහිව දක්ෂතා දක්වමින්”

දෙවැනි වටයේ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන්ම තරග කළේ සත්කාරක සිංගප්පූරුව සමඟිනි. ඒ සැප්තැම්බර් 4 වැනිදායි. එම තරගයෙන් 61-74ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි විය.

ඉන්පසු සැප්තැම්බර් 5 වැනිදා මැලේසියාව සමඟින් පැවති දෙවැනි වටයේ දෙවැනි තරගය ඉතාම තියුණු මුහුණුවරක් ගන්නා ලදි. මෙම තරගාවලිය පුරාවටම ශ්‍රී ලංකාවට එල්ල වූ විශාලතම අභියෝගය එල්ල වූයේ එම තරගයේ දී මැලේසියාවෙන් වන අතර අවසානයේ දී 59-62ක ඉතා තියුණු ජයක් ලැබීම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි විය.

දෙවැනි වටයේ අවසාන තරගය එතරම් ආයාසයකින් තොරව ජයග්‍රහණය කිරීමට අප ක්‍රීඩිකාවන්ට හැකි විය. සැප්තැම්බර් මස 6 වැනිදා හොංකොං දේශයට එරෙහිව පැවති එම තරගය ශ්‍රී ලංකාව විසින් ජයග්‍රහණය කළේ 71-48ක් වශයෙනි.

වසර 9කට පසුව ශ්‍රී ලංකාව ආසියානු දැල්පන්දු ශූරියෝ වෙති

සැප්තැම්බර් මස 1 වැනිදා ආරම්භ වූ 11 වන ආසියානු දැල්පන්දු ශූරතා කුසලාන තරගාවලියේ..

ඒ අනුව දෙවැනි වටයේ දී තම කණ්ඩායම සහභාගී වූ සියලුම තරග ජය ගනිමින් E කාණ්ඩයේ ප්‍රථම ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකි විය. ශූරතාවය සඳහා වූ අවසන් පූර්ව වටයට ක්‍රීඩා කළේ ද මූලික වටයේ කාණ්ඩ 4 දී පෙරමුණ ගෙන E කාණ්ඩයෙන් තරග වැදුණ කණ්ඩායම් 4යි.

E කාණ්ඩයේ පෙරමුණ ගත් ශ්‍රී ලංකාව E කාණ්ඩයේ සිව්වැනි ස්ථානය හිමිකරගත් හොංකොං දේශය සමඟිනුත්, E කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිකරගත් සිංගප්පූරුව, E කාණ්ඩයේ තෙවැනි ස්ථානය හිමිකරගත් මැලේසියාව සමගිනුත් අවසන් පූර්ව වටයේ දී තරග කරන ලදි.

  • අවසන් පූර්ව වටය

ශූරතාවය වෙනුවෙන් අවසන් පූර්ව වටයේ තරග පැවැත්වුණේ සැප්තැම්බර් 8 වැනිදායි. පළමු අවසන් පූර්ව තරගයට සහභාගී වූ ශ්‍රී ලංකාව සහ හොංකොං දේශය අතර තරගය, දෙපිල අතර පැවති දෙවැනි වටයේ තරගයට වඩා උණුසුම් අන්දමින් පැවැත්වුණි. මෙහි දී 55-46ක් වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත් අතර හොංකොං ක්‍රීඩිකාවන් ද හොඳ සටනක් ලබා දීමට සමත් විය.

දෙවැනි අවසන් පූර්ව වටයේ තරගයෙන් ජය ගැනීමට සිංගප්පූරුවට හැකි විය. එම කණ්ඩායම් දෙක අතර දෙවැනි වටයේ පැවති තරගයෙන් 56-55ක් ලෙසින් එක් ලකුණක ජයක් ලද සිංගප්පූරුව අවසන් පූර්ව වටයේ දී තරගය ජය ගනු ලැබුවේ 51-43ක් වශයෙනි.

  • අවසන් මහා තරගය

අවසන් මහා තරගය පැවැත්වුණේ සැප්තැම්බර් 9 වැනි දින සිංගප්පූරුවේ OSBC ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ය. මෙයට පෙර දෙවැනි වටයේ දී, සිංගප්පූරුව පරාජය කරමින් තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම ලෙසින් ශ්‍රී ලංකාව අවසාන මහා තරගයට එක්විය.

මූලික වටයේ දී ශ්‍රී ලංකාව හමුවේ පරාජය වූවද ලෝක ශ්‍රේණිගත කිරීම්වල දී 21 වැනි ස්ථානය ලබා (ශ්‍රී ලංකාව සිටින්නේ 26 වැනි ස්ථානයේය) ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටිමින්, සත්කාරකත්වයේ වාසිය ද සමඟින් සිංගප්පූරුව අවසාන මහා තරගයට ක්‍රීඩා කරන ලදි. එයට අමතරව 2015 වසරේ පැවති දැල්පන්දු ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව පරාජය කිරීමට ද සිංගප්පූරුවට හැකිව තිබූ අතර එය සිංගප්පූරු ක්‍රීඩිකාවන්ට තිබූ මානසික වාසියකි.

අවසාන මහා තරගයේ දී ශ්‍රී ලංකාවට තිබූ ප්‍රධානතම බලාපොරොත්තුව අපගේ පන්දු විදීමේ ක්‍රීඩිකාව වන තර්ජිනී සිවලිංගම්ය. සිංගප්පූරුවේ සිටි සුපිරිම තරුව වූයේ ශාමේන් සෝ ය.

අවසන් මහා තරගයේ පළමු කාර්තුව අවසානයේ දී දෙපිල ලකුණු 16 බැගින් ලබා සම තත්වයේ පසු විය. දෙවැනි කාර්තුව ආරම්භයේ දී සත්කාරක ක්‍රීඩිකාවන් ඉතා හොඳින් ක්‍රීඩා කළ ද ශ්‍රී ලංකාව, සිංගප්පූරුවට ලකුණක් ලබා නොදී ලකුණු 6ක් එකවර වාර්තා කිරීමත් සමඟින් තරගයේ වැඩි වාසි හිමිකර ගැනීමට අපගේ ක්‍රීඩිකාවන්ට හැකි විය.

ඒ අනුව දෙවැනි කාර්තුවේ ජයත්, පළමු අර්ධයේ ජයත්, තරගයේ පාලනයත් සියතට ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන්ට හැකි විය. පළමු අර්ධය අවසානයේ ප්‍රතිඵලය දැක්වුණේ 32-26ක් වශයෙනි.

තුන්වැනි කාර්තුවේ දී ලකුණු පරතරය තවත් වැඩි වූ අතර 50-38ක් වශයෙන් එම කාර්තුව නිමා විය. ඒ වන විටත් තරගය ශ්‍රී ලංකාව 2018 ආසියානු දැල්පන්දු ශූරියන් වන බවට කිසිදු සැකයක් නොතිබූ අතර සිව්වැනි කාර්තුවේ දී ද සිය ග්‍රහණය ලිහිල් නොකළ අප ක්‍රීඩිකාවන් එම කාර්තුව ද ජයග්‍රහණය කරමින් අවසානයේ 69-50ක් වශයෙන් සත්කාරක සිංගප්පූරුව පරදවා 5 වැනි වරටත් ආසියානු දැල්පන්දු ශූරතාවය හිමිකර ගන්නා ලදි. අප රට ආසියානු දැල්පන්දු ශූරතාවය හිමිකර ගන්නා ලද්දේ වසර 9කට පසුවය. තරගාවලියේ පලඟ ශූරතාවය තායිලන්තය විසින් ද, බඳුන ශූරතාවය පිලිපීනය විසින් ද ජයග්‍රහණය කරන ලදි.

තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා නායිකා චතුරංගි ජයසූරිය මෙලෙස සිය අදහස් දැක්විය.

“මට ගොඩක් සතුටුයි මගේ කණ්ඩායම සහ පුහුණුකාරිනිය පිළිබඳව. අපි අවසාන මාස කිහිපයේ දී ඉතා හොඳින් පුහුණු වුනා. අපි හොඳ විනයක් තියාගත්තා. අපි කණ්ඩායමක් වශයෙන් ක්‍රීඩා කරා. ඒක තමයි අපේ ජයග්‍රහණයේ රහස.”

මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා පුහුණුකාරිනී තිලකා ජිනදාස මහත්මිය බෙහෙවින් ඉවහල් වූ බව නොරහසකි. 2009 වසරේ දී ඇයගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකාව ආසියානු දැල්පන්දු ශූරතාවය ජයග්‍රහණය කළ ද, ඉන්පසුව ඇයව පුහුණුකාරීත්වයෙන් ඉවත් කරන ලදි.

හොංකොං පරාජය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අවසන් පූර්ව වටයට

ආසියානු දැල්පන්දු පිටියේ සිය ආධිපත්‍ය තව දුරටත් පවත්වා ගනිමින් හොංකොං කණ්ඩායම..

ඒ අනුව පසුගිය වසර කිහිපයේම බෘෘනායි රාජ්‍යයේ පුහුණුකාරිනිය වශයෙන් කටයුතු කළ ඇය මෙම වසරේ මුල නැවතත් ශ්‍රී ලංකා පුහුණුකාරීත්වය භාර ගන්නා ලදි. කණ්ඩායමේ ක්‍රීඩිකාවන් සියලු දෙනාටම එක හා සමානව සලකමින්, කණ්ඩායම එකට එකතු කරමින් ජිනදාස මහත්මිය විසින් අප රටට ලබා දුන් මෙම ජයග්‍රහණය අතිශයින්ම අගය කළ යුතුය.

වරක් ලෝකයේ හොඳම පන්දු විදින්නිය ලෙසින් අභිෂේක ලැබූ ශ්‍රී ලංකාවේ පන්දු විදින්නිය, තර්ජිනී සිවලිංගම් විවිධ හේතු මත පසුගිය වසර කිහිපයේ ක්‍රීඩා නොකළ ද, පසුගිය කාලයේ දී නැවතත් කණ්ඩායමට පැමිණි ඇය මෙම ජයග්‍රහණයේ ප්‍රධානතම කොටස්කාරියක් බව සියලු දෙනා දනී.

මෙතැනින් කොතනටද?

ජිනදාස මහත්මිය කණ්ඩායමෙන් ඉවත් කළ පසු ශ්‍රී ලංකාව මුහුණ දුන් ආසියානු ශූරතා ත්‍රිත්වයේ දී ම ශ්‍රී ලංකාවට හිමි වූයේ අනුශූරතාවයි. පසුගිය වසර කිහිපයේ දී ම මාධ්‍යයට විහිළු සැපයූ එක් ක්‍රීඩාවක් වූයේ දැල්පන්දු ක්‍රීඩාවයි. නමුත් වර්තමානය වන විට එම තත්වය වෙනස් වී ඇත.

දැන් ශ්‍රී ලංකාව විසින් අවධානය යොමු කළ යුතු වන්නේ ලබන වසරේ පැවැත්වෙන දැල්පන්දු ලෝක කුසලානය වෙතයි. ආසියානු තරගාවලිය ජයග්‍රහණය කිරීම නිසා ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමට අප රටට හැකි විය. (සිංගප්පූරුව ද සුදුසුකම් ලැබීය)

ඕනෑම ක්‍රීඩාවකින් මෑත කාලයේ දී ශ්‍රී ලංකාව ලබාගත් ප්‍රධානතම ජයග්‍රහණය මෙය වන අතර සමස්ත ශ්‍රී ලංකාවම එක අරමුණකට එකතු කිරීමට ද තිලකා ජිනදාසගේ කණ්ඩායමට හැකි වීම ද පැසසිය යුතු කරුණකි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<