ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සහභාගී වන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරගයේ දී සුපිරි දක්ෂතා දැක් වූ දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාවට එරෙහි ව ලකුණු 76ක ජයග්‍රහණයක් ලබා ගැනීමට අද (09) සමත් වූවා.
ඔවුන් මෙම තරගාවලියේ ලබා ගත් එක ම ජයග්‍රහණය මෙය වන අතර මෙම තරගයේ දී දකුණු අප්‍රිකාව වෙනුවෙන් Annerie Dercksen ශතකයක් ලබා ගනිමින් ද සහ Chloe Tryon කඩුලු ත්‍රිත්වයක් දවා ගනිමින් ද කැපී පෙණෙන දක්ෂතා දක්වනවා.
අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙන්නේ වෙනස්කම් ද්විත්වයක් සිදු කරමින්. ඒ පෙර තරගයට එක් වූ කවීෂා දිල්හාරි සහ ඉනෝකා රණවීර වෙනුවට මනුදි නානායක්කාර සහ ඉනෝෂි ප්‍රියදර්ශනී කණ්ඩායමට එක් කර ගනිමිනුයි.
දකුණු අප්‍රිකා කණ්ඩායම අද තරගයට එක් වෙන්නේ වෙනස්කම් ත්‍රිත්වයක් සමඟිනුයි. ඒ අනුව මෙම තරගයේ දී නැවතත් නායිකාව ලෙසින් Laura Wolvaardt පිටියට පිවිසි අතර ඇයත් සමඟින් Seshnie Naidu සහ Ayabonga Khaka ද අද තරගයට එක් කර තිබූණා. ඔවුන් වෙනුවෙන් පෙර තරගයට එක් ව සිටි Sune Luus, Nonkululeko Mlaba සහ Masabata Klaas විවේක ගන්වා තිබුණා. මේ අතුරින් Seshnie Naidu දකුණු අප්‍රිකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගත් අලුත් ම ක්‍රීඩිකාව බවට පත් වෙමින් පිටියට එක් වුනා.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම
චමරි අතපත්තු (නායිකාව), හසිනි පෙරේරා, විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, නිලක්ෂිකා සිල්වා, මනුදි නානායක්කාර, අනුශ්කා සංජීවනී (කඩුලු රකින්නිය), දෙව්මි විහංගා, සුගන්දිකා කුමාරි, මල්කි මදාරා සහ ඉනෝෂි ප්‍රියදර්ශනී.
දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම
Laura Wolvaardt (නායිකාව), Tazmin Brits, Lara Goodall, Miane Smit, Nondumiso Shangase, Sinalo Jafta (කඩුලු රකින්නිය), Chloe Tryon, Annerie Dercksen, Nadine de Klerk, Seshnie Naidu සහ Ayabonga Khaka.
කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායිකාවගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ප්‍රතිවාදී දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ කඩුලු 9ක් දැවී ලකුණු 315ක් ලබා ගත්තා.
ඔවුන්ගේ ඉනිම අවසානයේ ලකුණු පුවරුව එසේ වූව ද ආරම්භක කඩුලු 5 දැවී යද්දී ඔවුන් ලබා සිටියේ ලකුණු 85ක් පමණයි. එම කඩුලු 5 ම දවා ගැනීමට සමත් වෙන්නේ 19 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් පිට දඟ පන්දු යවන දෙව්මි විහංඟා වීමත් විශේෂත්වයක්.
ඇය තරගය අවසන් වන විට ලකුණු 43කට කඩුලු 5ක් දවා ගන්නා ලද අතර එය ඇයගේ එක්දින ජාත්‍යන්තර තරග පිටියේ හොඳම පන්දු යැවීම බවට ද පත් වුනා.
තරගයේ පළමු අදියරේ දී ඇය ඇතුලු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ දක්ෂතා දැක් වූව ද අනතුරු ව දකුණු අප්‍රිකානුවන්ගේ ප්‍රබල ප්‍රහාරයකට ගොදුරු වීමට ඔවුන්ට සිදු වෙනවා. එය ආරම්භ කළ 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 57ක දී ලකුණු 42ක සබඳතාවක් ගොඩ නැගීමට Nondumiso Shangase (18) සහ Annerie Dercksen සමත් වෙනවා.
අනතුරු ව Annerie Dercksen සහ Chloe Tryon එක් ව 7 වැනි කඩුල්ලට පන්දු 88ක දී ලකුණු 112ක් එක් කරනවා. එම සබඳතා බිඳී යන්නේ Annerie Dercksen ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඇය පන්දු 84කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 104ක් ලබා සිටියා. එය ඇයගේ මංගල එක්දින ජාත්‍යන්තර ශතකයයි.
එම කඩුලු සබඳතාවයෙන් අනතුරු ව නැවත 8 වැනි කඩුල්ලට පන්දු 24ක දී ලකුණු 66ක් එක් කිරීමට Chloe Tryon සහ Nadine de Klerk සමත් වෙනවා. එම සබඳතාව බිඳී යන්නේ Chloe Tryon ගේ දැවී යෑමත් සමඟිනුයි. ඇය දැවී යන විට පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 74ක් ලබා සිටියා. එම ලකුණු ප්‍රමාණයත් සමඟින් ඇය එක්දින ජාත්‍යන්තර තරග පිටියේ ලකුණු 2000 කඩඉම පසු කිරීමට ද සමත් වෙනවා.
දකුණු අප්‍රිකා ඉනිම අවසන් වෙද්දී Nadine de Klerk පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 32ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී දෙව්මි විහංඟා ට අමතර ව චමරි අතපත්තු කඩුලු ද්විත්වයක් ද සහ මනුදි නානායක්කාර කඩුල්ලක් ද දවා ගත්තා.
- ඉන්දියාව නැවතත් දකුණු අප්‍රිකාව පරාජය කරයි
- හිටපු ඉන්දීය පුහුණුකරු ශ්‍රී ලංකාවට!
- ශ්‍රී ලංකාව නැවත ජය මාවතට
- ශ්‍රී ලංකාව ICC එක්දින ශ්‍රේණිගත කිරීම් හි ඉදිරියට!
- ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ වසර 7කට පසුව ඉන්දියාව පරාජය කරයි
ජයග්‍රහණය සඳහා ලකුණු 316ක් හඹා යෑම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සියලුම දෙනා දැවී ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 239ක් පමණයි. එම ඉනිමේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් හසිනි පෙරේරා සහ විශ්මි ගුණරත්න එක් ව පන්දු 56ක දී ලකුණු 52ක සබඳතාවක් ගොඩ නගනවා.
හසිනි පෙරේරා පෙර තරගවල දී සේ ම අද තරගයේ දී ද ලකුණු අතරට පිවිසෙමින් පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තා. විශ්මි ගුණරත්න ලබා ගත් ලකුණු සංඛ්‍යාව 24ක් වූ අතර ඊට පන්දු 41ක් වැය ව තිබුණා. හතරේ පහර 3කින් ද එම ඉනිම සමන්විතයි.
අනතුරු ව හර්ෂිතා සමරවික්‍රම පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 33ක් ද සහ නායිකා චමරි අතපත්තු පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 52ක් ද ලබා ගත්තා. ඇය මෙම අර්ධ ශතකය වාර්තා කරන්නේ තමන් පිටියට පිවිසි ඉනිම් 4කට පසුව වීම විශේෂත්වයක්.
එතැන් සිට නිලක්ෂිකා සිල්වා ලකුණු 14කට ද සහ මනුදි නානායක්කාර ලකුණු 13කට දැවී ගිය අතර දෙව්මි විහංඟා ද ලකුණු 16කට දැවී යනවා. ඇය ගේ දැවී යෑමෙන් අනතුරු ව යැවුණ පිට පිට පන්දු දෙකක දී සුගන්දිකා කුමාරි සහ මල්කි මදාරා ද දැවී යමින් වමතින් දඟ පන්දු යවන Chloe Tryon වෙත කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට මඟ පාදනවා.
එම දැවී යෑම්වලින් පසුව ඉනෝෂි ප්‍රියදර්ශනී ද ලකුණු නොලබා ම අවසන් කඩුල්ල ලෙසින් දුවද්දී දැවී යෑමට ගොදුරු වෙමින් ශ්‍රී ලංකා ඉනිම අවසන් වෙනවා. ඒ තවත් පන්දු 43ක් ඉතිරි ව තිබියදීයි. ඒ වෙද්දී අනුශ්කා සංජීවනී පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 43ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Chloe Tryon ලකුණු 34කට කඩුලු 5ක් දවා ගත් අතර එය ඇයගේ එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ හොඳම පන්දු යැවීම බවට ද පත් වුනා. ඊට අමතර ව Ayabonga Khaka කඩුලු ද්විත්වයක් ද, Miane Smit සහ Seshnie Naidu කඩුල්ල බැගින් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 9ක් දැවී 315 (50.0) Laura Wolvaardt 33, Tazmin Brits 38, Annerie Dercksen 104, Chloe Tryon 74, Nadine de Klerk නෙදැවී 32, දෙව්මි විහංඟා 5/43, චමරි අතපත්තු 2/70
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 239 (42.5) හසිනි පෙරේරා 30, විශ්මි ගුණරත්න 24, හර්ෂිතා සමරවික්‍රම 33, චමරි අතපත්තු 52, අනුශ්කා සංජීවනී නොදැවී 43, Ayabonga Khaka 2/30, Chloe Tryon 5/34
දකුණු අප්‍රිකා කන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 76ක ජයක්.
- තරගයේ වීරයා – Chloe Tryon (දකුණු අප්‍රිකාව)
කාන්තා තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සහභාගී වන අවසන් මහා තරගයට මැයි මස 11 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ම පැවැත්වීමට නියමිතයි.
මෙම තරගාවලියේ සජීවී දසුන් Dialog Television හී ThePapare TV 2 නාලිකා අංක 63 සුසර කර ගැනීමෙන් මෙන්ම, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ ද නැරඹීමට ඔබට පහසුකම් සපයා තිබෙනවා.
කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<