ජෝසප්වරුන් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනී

U19 School Cricket 2026

9
U19 School Cricket 2026

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තවත් තරග කිහිපයක් අද (8) ද ක්‍රියාත්මක වූ අතර එම තරගවල දී මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සහ මොරටුව වේලස් කුමාර විද්‍යාලය අතර පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගත් සාන්ත ජෝසප් විද්‍යාලය Tier A කොටසේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

>>වේල්ස් කුමරුවන් දක්ෂ හඹා යෑමක<<

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සහ මොරටුව වේලස් කුමාර විද්‍යාලය අතර තරගය, කටාන DHH පිටියේ දී. (Tier A)

කාසියේ වාසිය – වේල්ස් කුමාර විද්‍යාලය

කටාන DHH පිටියේ දී පැවැති මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගත් මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් වේල්ස් කුමාර විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත ජෝසප් විද්‍යාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 354ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි වේල්ස් කුමාර විද්‍යාලය තරගය 3 වැනි සහ අවසන් දිනයට ආරම්භ කරන්නේ තම පළමු ඉනිමේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 109ක් පිටුපසින් සිටිමිනුයි. ඔවුන්ට එම ඉලක්කය සපුරා ගැනීමට තවත් කඩුලු 5ක් ද ඉතිරි ව තිබුණා.

ඒ වෙද්දී ආරම්භක පිතිකරු තුසිඳු දීමන්ත පන්දු 248කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 102ක් ලබා ගනිමින් සිටීම ද ඔවුන්ගේ විශ්වාසය තවත් තීව්‍ර ව තිබුණා.

නමුත් ඒ සියලු බලාපොරොත්තු පන්දු 3ක දී බිඳ වැටෙනවා. ඔහු අද මුහුණ දුන් 3 වැනි පන්දුවේ දී දැවී යන අතර ඉන් අනතුරු ව ඉතිරි කඩුලු 4 ලකුණු 89ක් තුළ දවා ගැනීමට සාන්ත ජෝසප් විද්‍යාලය සමත් වෙනවා.

එලෙසින් නිමා වූ ඉනිමේ අද දවසේ වඩාත් කැපි පෙණෙන පිතිකරු බවට පත් වූයේ පසන් කුරේ. ඔහු පන්දු 103කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 66ක් ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී විගේනේශ්වරන් ආකාශ් ලකුණු 109කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව විශ්ව පීරිස් කඩුලු 3ක් ද, තිසඟ පෙරේරා සහ නුශාන් පෙරේරා කඩුල්ල බැගින් ද දවා ගත්තා.

ලකුණු 20ක් ඉදිරියෙන් සිටිමින් තම 2 වැනි ඉනිමට පිටියට පිවිසි සාන්ත ජෝසප් විද්‍යාලය තරගය නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 238ක් ලබා ගන්නවා.

 එම ඉනිම වෙනුවෙන් පළමු ඉනිමේ දී ද ශතකයක් වාර්තා කළ අවීශ් සමාස් පන්දු 104කට මුහුණ දෙමින් හතරේ පහර 20ක් සහ හයේ පහරක් සමඟින් ලකුනු 133ක් ලබා ගත්තා.

ඊට අමතර ව සෙනුජ වකුණුගොඩ පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 42ක් ද සහ යෙනුල දන්තනාරායන පන්දු 81කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 28ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී මතීෂ අපෝන්සු සහ ෂෙහාන් අශේන් කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • සාන්ත ජෝසප් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 354 (78.3)අවීශ සමාස් 122, පමෝද දල්පදාදු 64, චේතින කාවින්ද 34, නුශාන් පෙරේරා 60, ඔශාන් මනීෂ 4/91, නෙතුල් අනුහස් 2/83, රුසඳු සිල්වා 2/39
  • වේල්ස් කුමාරවිද්‍යාලය– පළමු ඉනිම සියලුම දෙනා දැවී 334 (118.2) තුසිඳු දීමන්ත 102, ඔෂාන් මනීෂ 38, ගවේශ ප්‍රනාන්දු 57, පසන් කුරේ 66, විශ්ව පීරිස් 3/110, විගේනේශ්වරන් ආකාශ් 4/109
  • සාන්ත ජෝසප් විද්‍යාලය– දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 238 (48.0)යෙනුල දන්තනාරායන 28, අවීශ සමාස් 133, සෙනුජ වකුණුගොඩ 42, ෂෙහාන් අශේන් 2/91, මතීෂ අපෝන්සු 2/41

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය සාන්ත ජෝසප් විද්‍යාලයට)

කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය අතර තරගය සාලාව යුද හමුදා ක්‍රීඩාංගණයේ දී. (Tier B)

කාසියේ වාසිය දිනා ගත් වෙස්ලි විද්‍යාලයීය ක්‍රීඩකයන්ගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලබා ගන්නේ ලකුණු 187ක් පමණක් වන අතර තරගය වෙස්ලි විද්‍යාලය ද තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 203ක් ලබා ගත්තා.

ඔවුන් අද තම ඉනිම ආරම්භ කරන්නේ කඩුලු 4ක් දැවී 89ක් ලබා සිටිය දී වන අතර එහි දී කවිඳු හෙට්ටිආරච්චි පන්දු 143කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 82ක් ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා.

කඩුලු දවා ගැනීමේ දී මෙවන් දිසානායක, ලිතික ජයසුන්දර සහ මානික්‍ය දේශප්‍රිය කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නවා.

ලකුණු 16ක් පිටුපස සිටිමින් තම 2 වැනි ඉනිමට පිටියට පිවිසි සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගය 2 වැනි දිනයට නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 112ක් ලබා සිටියා.

එම ඉනිම වෙනුවෙන් මාරියෝ ප්‍රනාන්දු පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 51ක් ලබා ගත්තා.

ඊට අමතර ව ටෙහාන් බීටර් පන්දු 82කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 34ක් ලබා සිටියා.

ඉනිමේ දැවී ගිය කඩුලු ද්විත්වය දිනුජ සමරත්න සහ ජීවහන් ශ්‍රීරාම් විසින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 187 (54.5)ටෙහාන් බීටර් 27, විහඟ රත්නායක 29, සිතුම් හසරංග නොදැවී 67, දිනුජ සමරරත්න 3/36, කවිඳු හෙට්ටිආරච්චි 2/26, මෙත්නුල මායාදුන්න 3/41
  • වෙස්ලි විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 203 (72.5)රශීඩ් නායන් 39, ලිතුම් සෙනුජ 38, කවිඳු හෙට්ටිආරච්චි 82, මෙවන් දිසානායක 2/56, ලිතික ජයසුන්දර 2/30, මානික්‍ය දේශප්‍රිය 2/33
  • සාන්ත බෙනඩික්ට් විද්‍යාලය– පළමු ඉනිම කඩුලු 2ක් දැවී 112 (29.0)මාරියෝ ප්‍රනාන්දු 51, ටෙහාන් බීටර් නොදැවී 34

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය ලකුණු 128ක් ඉදිරියෙන්.

මෙම තරගය හෙට (9) 3 වැනි සහ අවසන් දිනයට පැවැත්වීමට නියමිතයි.

කොළඹ රාජකීය විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර තරගය මග්ගොන Surrey Village ක්‍රීඩාංගණයේ දී. (Tier A)

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ත්‍රිත්ව විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි රාජකීය විද්‍යාලය තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 328ක් ලබා සිටියා.

ඔවුන්ගේ පළමු කඩුල්ල ලකුණු 15කට දැවී ගිය ද 2 වැනි කඩුල්ලේ දී ලකුණු 94ක සබඳතාවක් ගොඩ නැගීමට හිරුන් ලියනාරච්චි සහ දුශේන් උඩවෙල සමත් වූවා. එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ හිරුන් ලියනාරච්චි පන්දු 102කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 78කට දැවී යෑමත් සමඟිනුයි.

අනතුරු ව 3 වැනි කඩුල්ල වෙනුවෙන් එක් වූ දුශේන් උඩවෙල, විමත් දින්සර හා එක් ව ලකුණු 149ක සබඳතාවක් එක් කරමින් රාජකීය ඉනිමට රාජකීය විලාසයක් ගෙන එනවා. විමත් දින්සර පන්දු 77කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 68කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව දුශේන් උඩවෙල 4 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 186කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 105ක් ලබා සිටියා.

තරගය පළමු දිනයට නතර කරන විට රමිරු පෙරේරා පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 44ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී ඩිනාල් ප්‍රනාන්දු, සෙත්මික සෙනෙවිරත්න සහ කනිල්ක ධම්මගේ කඩුල්ල බැගින් බිඳ දැමුවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • රාජකීය විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 328 (77.0) හිරුන් ලියනාරච්චි 78, දුශේන් උඩවෙල 105, විමත් දින්සර 68, රමිරු පෙරේරා නොදැවී 44

මෙම තරගය හෙට (9) 2 වැනි දිනටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.

කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය අතර තරගය කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගණයේ දී. (Tier B)

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී සුමංගල විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මලියදේව විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 219ක් ලබා ගන්නවා.

එම ඉනිම වෙනුවෙන් දිමන්ත අබේසිංහ සහ තිවංක පබසර අර්ධ ශතක ඉනිම් ලබා ගැනීම කැපී පෙණුනා. ඒ අතුරින් දිමන්ත අබේසිංහ පන්දු 85කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 67ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වුණා.

තිවංග පබසර ලබා ගත් ලකුනු සංඛ්‍යාව 59ක්. ඔහුගේ ඉනිම පන්දු 112කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 4ක් ද ඇතුලත් ව තිබුණා.

කඩුලු දවා ගැනීමේ දී බිහඟ සිල්වා ලකුණු 44කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව මෙතුම් ප්‍රනාන්දු සහ මෙවිඳු කුමාරසිරි කඩුලු 3ක් බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී සුමංගල විද්‍යාලය තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 58ක් ලබා සිටියා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ පන්සිළු සිල්වා පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 25ක් ලබා සිටි අතර කඩුලු දවා ගැනීමේ දී දම්ලත් ගමගේ ලකුණු 24කට කඩුලු 2ක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • මලියදේව විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 219 (67.3)තිවංක පබසර 59, දිමත් අබේසිංහ 67, සොනාල් අශ්වින් 22, මෙවිඳු කුමාරසිරි 3/100, මෙතුම් ප්‍රනාන්දු 3/31, බිහඟ සිල්වා 4/44
  • ශ්‍රී සුමංගල විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 58 (20.0)පන්සිළු සිල්වා 25, දම්ලත් ගමගේ 2/24

ශ්‍රී සුමංගල විද්‍යාලය ලකුණු 161ක් පිටුපසින්.

මෙම තරගය හෙට (9) 2 වැනි දිනයට පැවැත්වීමට නියමිතයි.

අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<