ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කරනු ලැබූ වයස අවුරුදු 15න් පහළ දෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ 2025 වසරේ ශූරතාව දිනා ගැනීමට ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලය සමත් වුණා.
බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ ප්‍රතිවාදීන් වූයේ කොළඹ රාජකීය විද්‍යාලයයි. තරගයේ කාසියේ වාසිය දිනා ගත් රාජකීය විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගත් අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් තමන්ට හිමි පන්දුවාර 50 දී කඩුලු 9ක් දැවී ලකුණු 135ක් ලබා ගත්තා.
ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ජනාධිපති විද්‍යාලයීය ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 143ක් ලබා ගනිමින් ඉනිම අත්හිටුවනවා. ඒ අනුව පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලැබූ ඔවුන් ශූරයන් බවට පත් වෙනවා.
රාජකීය විද්‍යාලයීය වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම
හේසත් ලියනගේ (නායක), උශේන් තුඩුගල, විනුක කොඩිතුවක්කු, තලාල් කමිල් (කඩුලු රකින්නා), රසිඳු රන්දීර, රවිනු රණතුංග, චාවන් ද සිල්වා, සිතුක අල්විස්, දුල්න නිම්නාල්, නිම්සර ද සිල්වා සහ විශ්විද ප්‍රනාන්දු.
ජනාධිපති විද්‍යාලයීය වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම
ප්‍රමීෂ ප්‍රේමරත්න (නායක), සෙජන ලක්ශාන්, යුගීත් රන්දිනු, සචින්ත දිල්ශාන්, රගීත් රන්දීර, ගිහාන් ගිම්සර, ප්‍රභාෂණ රුවින් (කඩුලු රකින්නා), පන්සිළු ජීවක, බනුජ බටගොඩ, දනිතු පවන් සහ රවීෂ සිරිපුර.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි රාජකීය විද්‍යාලයීය ඉනිමේ පළමු කඩුලු 6 ලකුණු 62ක දී දැවී යන අතර එම අවස්ථාවේ දී පිටියට එක් වූ සිතුක අල්විස් සහ දුල්න නිම්නක 7 වැනි කඩුල්ලට ලකුණු 62ක සබඳතාවක් එක් කරමින් තම ගරා වැටුණ ඉනිමක තරමක් දුරට ගොඩ ගන්නවා.
එහි දී ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ සිතුක අල්විස්. ඔහු පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 44ක් ලබා ගන්නවා. ඊට අමතර ව දුල්න නිම්නක පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 28ක් ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී පන්සිළු ජීවක ලකුණු 16කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරන ලද අතර ඊට අමතර ව රගීත් රන්දීර කඩුලු 2ක් ද, ගිහාන් ගිම්සර සහ දනිතු පවන් කඩුල්ල බැගින් ද දවා ගන්නවා.
- 17න් පහළ Youth ශූරතාව Colombo North කණ්ඩායමට
- 15න් පහළ ශූරතාව සාන්ත ජෝසප්වරුන්ට
- රත්ගම දේවපතිරාජයන් 17න් පහළ ශූරතාව දිනා ගනී
- Greens ක්‍රීඩකයෝ විස්සයි විස්ස ශූරතාව දිනා ගනී
- CCC, Major Clubs එක්දින ශූරතාවයත් දිනා ගනී
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ජනාධිපති ඉනිමේ ද ආරම්භය එතරම් ම සාර්ථක නොවූවත් 7 වැනි කඩුල්ල සඳහා එක් වූ ප්‍රභාෂන රුවින් සහ පන්සිළු ජීවක ලකුණු 36ක සබඳතාවක් එක් කරමින් තම කණ්ඩායම ජයග්‍රහණයට ළඟා කළා. එහි දී ප්‍රභාෂන රුවින් පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 17ක් ද සහ පන්සිළු ජීවක පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 22ක් ද එක් කළා.
ඔවුන් දෙදෙනාට අමතර ව ඉනිමේ වැඩි කාර්යභාරයක් ඉසිළුවේ අංක 2 ස්ථානයෙන් පිටියට පිවිසි සචින්ත ඩිල්ශාන්. ඔහු පන්දු 91කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 47ක් ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී විශ්මිද ප්‍රනාන්දු සහ දුල්න නිම්නක කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නා ලද අතර ඊට අමතර ව නිම්සර ද සිල්වා, රසිඳු රන්දීර සහ උශේන් තුඩුගල කඩුල්ල බැගින් දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
රාජකීය විද්‍යාලයීය වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – කඩුලු 9ක් දැවී 135 (50.0) සිතුක අල්විස් 44, දුල්න නිම්නක 28, පන්සිළු ජීවක 4/16, රගීත් රන්දීර 2/08
ජනාධිපති විද්‍යාලයීය වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 143 (47.0) සචින්ත ඩිල්ශාන් 47, පන්සිළු ජීවක 22, විශ්මික ප්‍රනාන්දු 2/20, දුල්න නිම්නක 2/30
තරගයේ විසඳුමක් නෑ. (ජනාධිපති විද්‍යාලයීය වයස අවුරුදු 15න් පහළ කණ්ඩායමට පළමු ඉනිමේ ජය.)
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<