විශිෂ්ට 2016 වසරකින් පසු බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය මේ වසරේ දීත් ප්‍රබල දස්කම් අතර සිටින කණ්ඩායමකි. මහා ක්‍රිකට් තරගය පෙනෙන මානයේ පසු වන ඔවුන්ගේ කණ්ඩායම පිළිබඳ කෙරෙන විමසා බැලීමක් මේ.

සාන්ත ජෝසප් විදුහල කුසලානය ගෙන ඒමේ මෙහෙයුමක

අවධානය යොමු වන ක්‍රීඩකයන් වමත් පිතිකරු නිපුන් සුමනසිංහ සාන්ත ජෝසප් විදුහල් කණ්ඩායමේ සාර්ථකම පිතිකරුවන්ගෙන් එක් අයෙකු ලෙස හැඳින්විය හැක.

මතක පොතේ පිටු අතරින්

ශ්‍රී ලංකා ක්‍රිකට් කරළියේ ප්‍රධාන ‘තරු සැකසුම් මධ්‍යස්ථානයක්’ ලෙස වසර ගණනාවක් කටයුතු කර තිබෙන සාන්ත පීතර විද්‍යාලය. දේශීය මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට දායාද කර තිබෙන ක්‍රීඩකයන් සංඛ්‍යාව අති විශාලය. පසුගිය වසරේ දී මෙරට පාසල් ක්‍රිකට් පිටියේ ප්‍රධාන තරගාවලි දෙකක කුසලාන බම්බලපිටියට ගෙන යන්නට ඔවුන් සමත් විය. ඒ වයස අවුරුදු 19න් පහල පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ ශූරයන් සහ වයස අවුරුදු 19න් පහල සමස්ත ලංකා පළමු කාණ්ඩයේ ලීග් සම ශූරයන් ලෙස අභිෂේක ලබමිනුයි. එමෙන්ම පසුගිය වසරේ 82 වන සාන්තුවරුන්ගේ සටන මහා ක්‍රිකට් තරගය ජය ගනිමින් ‘ගරු මොරිස් ලේගොක් පිය’ කුසලානය ද තමන් සතු කර ගැනීම සාන්ත පීතර කණ්ඩායමේ දස්කම් අතර ප්‍රධාන තැනක් ගනී.

2016/17 තරග වාරය පසුගිය වසරට වඩා සාර්ථකද?

පසුගිය වසරේ ඔවුන් දැක්වූ අති විශිෂ්ට දක්ෂතා තවත් වසරක් බලාපොරොත්තු වීම ඉතා අසීරු වුවත් පීතරයන් මේ වසරේ දී ද එම මට්ටම කරා යාමේ පෙර ලකුණු මැනවින් පෙන්වා තිබෙන්නේ තරග 18ක් තුල පූර්ණ ජයග්‍රහණ 5ක් සහ පළමු ඉනිමේ ජයග්‍රහණ 9ක් වාර්තා කරමිනුයි. ඒ අතරින් මොරටුව සාන්ත සෙබස්තියන් සහ කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාල වලට එරෙහිව ලද ජයග්‍රහණ දැවැන්ත ජයග්‍රහණ ලෙස හැඳින්විය හැකි අතර අනෙක් පූර්ණ ජයග්‍රහණ වාර්තා වී තිබෙන්නේ කෑගල්ල සාන්ත මරියා, මීගමුව මාරිස් ස්ටෙල්ලා  සහ වත්තල සාන්ත අන්තෝනි යන විදුහල් වලට එරෙහිවයි. මේ අනුව ඔවුන් මෙවර අන්තර් පාසල් 19න් පහල පළමු පෙළ ලීග් තරග වාරයේ පළමු වටය අවසන් වන විට තම කාණ්ඩයේ දෙවන ස්ථානයේ පසුවිය.

අවධානය යොමු වන ක්‍රීඩකයන්

පසුගිය වසරේ හෂාන් වනසේකර සහ ලක්ෂින රොද්‍රිගෝ පිත්තෙන් ඉතා ඉහල දස්කම් පෙන්වූ අතර මෙවර තරග වාරයේ දී ලක්ෂින හට කණ්ඩායම මෙහෙය වීමේ වගකීම ද පැවරී තිබේ. මේ වන තෙක් කණ්ඩායමට ඇති කැපවීම ක්‍රියාවෙන්ම ඔප්පු කර තිබෙන ඔහු ඉනිම 24ක දී ලකුණු 885ක් ලබා සිටින්නේ 46.5ක සාමාන්‍යයක් ද රඳවා ගනිමිනුයි. සිව් වන වසරේ වර්ණලාභියෙකු වූ ලක්ෂිනගේ දායකත්වය මෙවර මහා ක්‍රිකට් ගැටුමේ දී සාන්ත පීතර කණ්ඩායමේ ප්‍රධාන බලාපොරොත්තුවකි.

වසරක පමණ කාලයක් පිටිය තුල පෙනෙන්නට නොසිටි සන්තුෂ් ගුණතිලක යලිත් කණ්ඩායමට පැමිණ සිටින්නේ තම පන්දු යැවීමේ ශෛලිය දඟ පන්දුවේ සිට වේග පන්දුව දක්වා වෙනස් කර ගනිමිනුයි. මනේල්ක ද සිල්වා නොමැති වීම හේතුවෙන් සාන්ත පීතර වේග පන්දු බල ඇණිය මෙහෙයවීමේ වගකීම ද ඔහුට පැවරී තිබුනත් සන්තුෂ් වඩාත්ම අවධානය දිනා ගෙන සිටින්නේ ඔහුගේ පිතිකරණ දක්ෂතා හේතුවෙනුයි. ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කරන සන්තුෂ් ඉනිම 26ක දී ලකුණු 956ක් ලබා සිටින්නේ ශතක 2ක් සහ අර්ධ ශතක 7ක් සමඟිනි.

ඔවුන් දෙදෙනා හැරුණු විට තවත් කැපී පෙනෙන පිතිකරණ දක්ෂයන් තිදෙනෙක් සාන්ත පීතර කණ්ඩායම සතුව සිටියි. පළමු වසරේ ක්‍රීඩක ශලිත් ප්‍රනාන්දු කණ්ඩායමේ 3 වන වැඩිම ලකුණු ලාභියා වන්නේ ලකුණු 730ක් සමඟිනි. ජාතික කණ්ඩායමේ වගකීම හේතුවෙන් මෙම තරග වාරයේ තරග රැසක් මඟ හැරුණ ද, උප නායක මනෙල්ක ද සිල්වා ඉනිම 17කදී ලකුණු 648ක් ලබා සිටින අතර ඊට ශතකයක් සහ අර්ධ ශතක 3ක් ඇතුළත් වෙයි. ඊට අමතරව ලකුණු 500 සීමාව පසු කර තිබෙන 5 වන ක්‍රීඩකයා වන්නේ ආරම්භක පිතිකරු අනිෂ්ක පෙරේරායි. ලකුණු 532කට හිමිකම් කියන ඔහු මහා ක්‍රිකට් තරගයේ දී තවත් ඉහල දස්කමක් පෙන්වන්නට උත්සාහ දරනු ඇති.

පන්දු යැවීමේ අංශයෙන් ද සාන්ත පීතර විද්‍යාලය මහත් සාර්ථකත්වයක් අත් කරගෙන ඇති අතර වමත් දඟ පන්දු යවන ක්‍රීඩක අමීන් මිෆ්ලාල්  සහ දකුණත් දඟ පන්දු යවන ක්‍රීඩක චතුර ඔබේසේකර අතරේ කඩුලු 171ක අයිතිය බෙදී ගොස් තිබුණ ද, මිෆ්ලාල් ඒ අතරින් කැපී පෙනෙන්නේ මේ වසරේ පාසල් තරග වාරය තුල කඩුලු 100 සීමාව පසු කළ පළමු ක්‍රීඩකයා බවට පත් වීමත් සමඟයි. පසුගිය තරගයේ දී එම කඩ ඉම පසු කළ ඔහුගේ දස්කම් අතරට ඉනිමක දී කඩුලු 5ක් දවා ගත් අවස්ථා 6ක් ද, ඉනිමක දී කඩුලු 4ක් දවා ගත් අවස්ථා 12ක් ද ඇතුළත් වේ. චතුර ඔබේසේකර කඩුලු 71ක් දවා ගෙන තිබෙන්නේ ඉනිමක දී කඩුලු 5ක් දවා ගත් එක් අවස්ථාවක් ද වාර්තා කරමිනුයි.

පෙර සඳහන් කළ පරිදි සන්තුෂ් ගුණතිලක කණ්ඩායමේ සාර්ථකම වේග පන්දු යවන්නා බවට පත්ව සිටින්නේ කඩුලු 29ක් සමඟිනි. මෙවර තරග වාරයේ වැඩි කාලයක් ජාතික කනිෂ්ඨ කණ්ඩායම සමඟ රැඳී සිටි මනෙල්ක ද සිල්වා කඩුලු 25 කට හිමිකම් කියයි.

තිරය පිටුපස ක්‍රියාන්විතය

මෙම වසරේ ද සාන්ත පීතර කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ මලින්ද වර්ණපුරයි. පසුගිය වසරේ එම වගකීම භාර ගැනීමෙන් පසු කණ්ඩායමේ යොවුන් ක්‍රීඩකයන් ධනාත්මකව ක්‍රීඩා කිරීමට පුහුණු කිරීම තුලින් නොකඩවා වසර දෙකක් ඉහල ප්‍රතිඵල ලබා ගැනීමට ඔහුට හැකිව තිබේ. සහාය පුහුණුකරු ශානක ප්‍රනාන්දු සාන්ත පීතර පුහුණු කාර්ය මණ්ඩලය නියෝජනය කරන්නේ 7 වන වසරටයි. මනුක ගොනරත්න කණ්ඩායමේ භෞත චිකිත්සක ලෙස කටයුතු කරමින් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව නිසි අයුරින් පවත්වා ගැනීමට වෙහෙසෙයි. සරත් චින්තක කණ්ඩායම් භාර ආචාර්යවරයා ලෙසත් මහේෂ් ද සිල්වා කණ්ඩායම් කළමනාකරු ලෙසත් කටයුතු කරයි.

කුසලානය තමන් සතුවම රඳවා ගන්නට ඔවුන්ට හැකි වෙයිද?

පසුගිය වසරේ කිසිදු වරදක් සොයා ගැනීමට අපහසු වන ලෙස ක්‍රීඩා කල සාන්ත පීතර විද්‍යාලය මේ වසරේ දී ද ඉතා ඉහල මට්ටමේ දස්කම් අතර පසුවෙයි. මෙවර ද සාන්තුවරුන්ගේ සටනේ දී සියල්ලන්ගේම පාහේ ඇස් පීතරයන් වෙත යොමුව තිබෙන්නේ ඔවුන් වැඩි වාසි සමඟ මේ මහා ක්‍රිකට් ගැටුමට පිවිසීම නිසාවෙනුයි. කෙසේ වෙතත් පාසල් ක්‍රිකට් පිටියේ උත්කර්ෂවත්ම තරගය වන මහා ක්‍රිකට් ගැටුමක දී සියලුම කණ්ඩායම් වඩාත් වැඩි අවධානයකින් සහ කැපවීමකින් ක්‍රීඩා කරන අයුරක් දක්නට ලැබීම නිසා මේ තරගය ද එතරම් පහසු අභියෝගයක් ලෙස අර්ථ දැක්වීම ඉතා අපහසු වේ. පීඩනය නිසි අයුරින් පාලනය කර ගනිමින් තරගයේ වාසිය තම කණ්ඩායම වෙතට හරවා ගැනීමට ක්‍රීඩකයන් වෙහෙසෙද්දී, සාන්තුවරුන්ගේ සටනේ 83 වන දිග හැරුමේ උණුසුම පන්දුවෙන් පන්දුවට විඳ ගැනීම සඳහා මාර්තු 3 සහ 4 දෙදින තුල කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ සිට ThePapre.com හරහා ඔබ වෙත ගෙන එන සජීවී විකාශය සමඟින් එක්වන්න.