ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය හෙට (20) සිට ආරම්භ වීමට නියමිතයි. එක්දින ජාත්‍යන්තර තරග 3කින් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 3කින් සමන්විත මෙම සංචාරයේ සියලු තරග පැවැත්වෙන්නේ St George’s හී ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- එක්දින ජාත්‍යන්තර තරගාවලිය
1 වැනි එක්දින තරගය – පෙබරවාරි 20 වැනිදා
2 වැනි එක්දින තරගය – පෙබරවාරි 22 වැනිදා
3 වැනි එක්දින තරගය – පෙබරවාරි 25 වැනිදා
- විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලිය
1 වැනි විස්සයි විස්ස තරගය – පෙබරවාරි 28 වැනිදා
2 වැනි විස්සයි විස්ස තරගය – මාර්තු 01 වැනිදා
3 වැනි විස්සයි විස්ස තරගය – මාර්තු 03 වැනිදා
>>ආසියානු කාන්තා නැගී එන කණ්ඩායම් ශූරතාව වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් තරග ඉතිහාසය මේ වන විට තරග 35කින් සමන්විතයි. ඒ අතුරින් බටහිර ඉන්දීය කොදෙව්වෝ තරග 18ක් ද සහ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරග 17ක් ද බැගින් දිනා තිබෙනවා.
ඔවුනොවුන් අවසන් වරට එක්දින තරගාවලියක් සඳහා එක් ව ඇත්තේ 2024 වසරේ ප්‍රතිවාදී බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවන්ගේ මෙරට සංචාරයේදීයි. තරග 3කින් සමන්විත වූ එම තරගාවලිය තරග 3-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවෝ අවසන් වරට ශ්‍රී ලංකාවට එරෙහි ව ජයග්‍රහණයක් ලබා ඇත්තේ 2017 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදීයි. තරග 3කින් සමන්විත වූ එම තරගාවලියේ ජය 3-0ක් ලෙසින් කොදෙව්වන් සතු වෙනවා.
දෙරට විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ඉතිහාසය තරග 26කින් සමන්විත වන අතර එහි ප්‍රමුඛ ස්ථානයේ පසුවෙන්නේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවෝයි. ඔවුන් තරග 20ක් ජයග්‍රහණය කරද්දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ජයගත හැකි වෙන්නේ තරග 5ක් පමණක් වන අතර අනෙක් තරගය විසඳුමකින් තොරව අවසන් ව තිබෙනවා.
ඔවුනොවුන් අවසන් වරට විස්සයි විස්ස තරගාවලියකට දී හමුවෙන්නේ 2024 වසරේ දී මෙරට දී වන අතර තරග 3කින් සමන්විත එම තරගාවලිය 2-1ක් ලෙසින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.
- ශ්‍රී ලංකා යෞවනීයෝ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනී
- මහනුවර වැස්ස ඕස්ට්‍රේලියාව තරගාවලියෙන් පිටමං කරයි
ශ්‍රී ලංකාව සමඟ එක්දින ජාත්‍යන්තර තරගාවලිය සඳහා එක්වෙන බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම පමණක් මේ වන විට නම් කර ඇති අතර එම කණ්ඩායමේ නායකත්වය හිමි ව ඇත්තේ 27 හැවිරිදි වියේ පසුවෙන ආරම්භක පිතිකාරිනී Hayley Matthews වෙතයි. ඇය මේ වන විට කාන්තා එක්දින ජාත්‍යන්තර තරග 99කට මුහුණ දෙමින් ශතක 9ක් සහ අර්ධ ශතක 8ක් සමඟින් ලකුණු 3074ක් ලබා සිටිනවා.
ඒ අතර ලකුණු 209ක් ශ්‍රී ලංකාවට එරෙහි ව ලබා ඇති ඇයගේ අවසන් ඉනිම් 10 තුළ ශතකයක්, අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 430ක් ලබා සිටින අතර එහි සාමාන්‍ය 47.7ක් ලෙස ඉහළ මට්ටමක රඳවා ගැනීමට ද ඇය සමත් ව සිටිනවා.
කණ්ඩායමේ සිටින වඩාත් ම පෙරළිකාරිනිය වන්නේ 34 හැවිරිදි වියේ පසුවෙන Stafanie Taylor සහ Deandra Dottin. ඔවුන් දෙදෙනා අතුරින් Stafanie Taylor මේ වෙද්දී කාන්තා එක්දින ජාත්‍යන්තර තරග 170කට සහභාගී වෙමින් ශතක 7ක් සහ අර්ධ ශතක 41ක් සමඟින් ලකුණු 5873ක් ද සහ කඩුලු 155ක් ද ලබා ගනිමින් වැඩිම අවධානය දිනා ගත් ක්‍රීඩිකාව බවට පත් ව සිටිනවා.
ඇය ගේ දක්ෂතා ශ්‍රී ලංකාවට එරෙහි ව ලැයිස්තු ගත ව ඇත්තේ තරග 26ක දී ශතකයක් සහ අර්ධ ශතක 6ක් සමඟින් ලකුණු 892ක් සහ කඩුලු 30ක් ලෙසයි.
පිතිකරුවෙක් ලෙසින් ඇයගේ එක්දින තරග ඉතිහාසයේ හොඳම ඉනිම ක්‍රීඩා කරන්නේ ද ශ්‍රී ලංකාවට එරෙහි ව වීම විශේෂත්වයක්. ඇය 2013 වසරේ දී Mumbai හිදී පන්දු 137කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 171ක් ලබා ගන්නවා.
එමෙන් ම පන්දු යවන්නියක ලෙසින් ශ්‍රී ලංකාවට එරෙහි ව ලබා ඇති කඩුලු සංඛ්‍යාව තම එක්දින තරග ඉතිහාසයේ ප්‍රතිවාදී කණ්ඩායමකට එරෙහි ව ලබා ඇති වැඩිම කඩුලු සංඛ්‍යාව ද වෙනවා.
කාන්තා එක්දින ජාත්‍යන්තර තරග 149කට ක්‍රීඩා කර ඇති Deandra Dottin ශතක 3ක් සහ අර්ධ ශතක 22ක් සමඟින් ලකුණු 3785ක් ද සහ කඩුලු 79ක් ද ලබා සිටිමිනුයි මෙම තරගාවලිය හා එක් වෙන්නේ. මේ තරග අතුරින් ඇය ශ්‍රී ලංකාවට එරෙහි ව තරග 22කට ක්‍රීඩා කර තිබෙනවා.
ඇයට අමතර ව මැදි පෙළින් පිටියට පිවිසෙන Shemaine Campbelle ද මෙම කණ්ඩායමේ සිටින දක්ෂ පිතිකාරිනියක්. ඇය මේ දක්වා කාන්තා එක්දින ජාත්‍යන්තර තරග 131කට සහභාගී වෙමින් ශතකයක් සහ අර්ධ ශතක 5ක් සමඟින් ලකුණු 1928ක් ලබා සිටිනවා.
කණ්ඩායමේ උප නායිකාව වන 30 හැවිරිදි වියේ පසුවෙන තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන Chinelle Henry ද ශ්‍රී ලංකාවට හිසරදයක් විය හැකි ක්‍රීඩිකාවක්. ඇය මේ වන විට කාන්තා එක්දින ජාත්‍යන්තර තරග 57කට සහභාගී වෙමින් අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 780ක් සහ කඩුලු 33ක් දවා ගෙන තිබෙනවා.
- පා දඟ පන්දුවෙන් ඉතාලිය දිනවන ශ්‍රී ලාංකිකයා ‘ක්‍රිශාන් කලුගමගේ’
- Plate ශූරතාව දිනූ ඇතුල්ගල්පුර වීරයෝ
- ඉන්දියාව 6 වැනි වරටත් යොවුන් ලෝක ශූරයන් වෙයි
බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නියන්ගේ බලඇණියේ ප්‍රධාන පුරුකක් බවට පත් ව ඇත්තේ 38 හැවිරිදි වියේ පසුවෙමින් පා දඟ පන්දු යවන Afy Fletcher. එක්දින ජාත්‍යන්තර තරග 89කට ක්‍රීඩා කරමින කඩුලු 111ක් ලබා ඇති ඇය ඉන් කඩුලු 21ක් ම දවා ගන්නේ ශ්‍රී ලංකාවට එරෙහිවයි.
අනෙකුත් පන්දු යවන්නියන් අතුරින් දකුණතින් මඳ වේග පන්දු යවන Aaliyah Alleyne සහ දකුණතින් පිට දඟ පන්දු යවන Karishma Ramharack ද විශේෂ අවදානයට ලක් කළ යුතු ක්‍රීඩිකාවන්. ඔවුන් දෙදෙනා ම මේ වෙද්දී ජාත්‍යන්තර එක්දින කඩුලු 50ක් දවා ගැනීම ආසන්නයේ රැදී සිටිනවා.
ඔවුන්ට අමතර කාන්තා එක්දින ජාත්‍යන්තර තරග 4කට පමණක් ක්‍රීඩා කර ඇති 20 හැවිරිදි වියේ පසුවෙන තුන් ඉරියව් ක්‍රීඩිකා Realeanna Grimmond ද සහ 21 හැවිරිදි වියේ පසුවෙන Shunelle Sawh ද ශ්‍රී ලංකාවට එරෙහි නම් කරන ලද කණ්ඩායමට කැඳවා තිබෙනවා.
බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම
Hayley Matthews (නායිකාව), Chinelle Henry (උප නායිකාව), Shemaine Campbelle, Shunelle Sawh (කඩුලු රකින්නිය), Jahzara Claxton, Deandra Dottin, Realeanna Grimmond, Shawnisha Hector, Qiana Joseph, Ashmini Munisar, Stafanie Taylor, Aaliyah Alleyne, Afy Fletcher, Jannillea Glasgow, Karishma Ramharack.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.





















