ශ්‍රී ලංකාව හමුවේ අඩපණ වූ එංගලන්ත ඉනිමට සෑම් පණ පොවයි

796

අද (14) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී එංගලන්ත ඉනිමේ කඩුලු 7ක් ලකුණු 171කට දවා ගනිමින් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ එංගලන්තයට ප්‍රබල පීඩනයක් එල්ල කළ ද අවසන් කඩුලු ත්‍රිත්වයේ දී හිස එසවූ එංගලන්තය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 285ක් ලබා ගැනීමට සමත් විය.

දිනය අවසාන වන විට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකාව ලබා සිටි ලකුණු සංඛ්‍යාව කඩුල්ලක් දැවී ලකුණු 26කි.

එකට එක කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව දෙවැනි තරගයට

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පුරා මාස දෙකකට ආසන්න..

සුරංග ලක්මාල් සහ ජෝ රූට් එක්ව පිටිය මැද දී උරගා බැලුණ කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. මෙම තරගයේ දී පෙර තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතරින් නායක දිනේෂ් චන්දිමාල් සහ ටෙස්ට් පිටියෙන් සමුගත් රංගන හේරත් වෙනුවට රොෂේන් සිල්වා සහ මාලින්ද පුෂ්පකුමාර නම් කර තිබුණි. එංගලන්ත කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදුව නොතිබුණි.

සුපුරුදු ලෙසින්ම රෝරි බර්න්ස් සහ කීට්න් ජෙනින්ග්ස් එංගලන්ත ඉනිම ආරම්භ කළ ද ඔවුන් දෙදෙනාට වැඩි වේලාවක් සබඳතා පැවැත්වීමට සුරංග ලක්මාල් ඉඩ තැබුවේ නැත. ඉනිම 5 වැනි පන්දුවාරයේ දී එංගලන්ත ඉනිම ලකුණු 7ක් වෙද්දී කීට්න් ජෙනින්ග්ස් (01) දවා ගැනීමට ලක්මාල් සමත් විය. ඒ කඩුල්ල පිටුපස සිටි නිරෝෂන් දික්වැල්ල ලබා ගත් උඩ පන්දුව හේතුවෙනි.  

අනතුරුව රෝරි බර්න්ස් සහ බෙන් ස්ටොක්ස් එක්ව එංගලන්ත ලකුණු පුවරුව 44ක් දක්වා රැගෙන ඒමට සමත් වූහ. දිල්රුවන් පෙරේරාගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවී බෙන් ස්ටොක්ස් දැවී යන විට පන්දු 27කට මුහුණ දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 19ක් ලබා සිටියේ ය.

නායක ජෝ රූට් වැඩි වේලාවක් පිටියේ රඳවා ගැනීමට අකමැති වූවාක් සේ කටයුතු කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු පුවරුව 65ක් වෙද්දී ජෝ රූට් (14) දවා ගත්තේ ය. කඩුල්ලේ හිමිකාරිත්වය මාලින්ද පුෂ්පකුමාර සතු විය.

සචිත් පතිරණ සහ කමිඳු මෙන්ඩිස් ශතක ලබා ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major Emerging League ක්‍රිකට් තරගාවලියේ…

දිවා විවේකයට පෙර එංගලන්ත ඉනිමේ කඩුල්ල අහිමි කර ගත් ක්‍රීඩකයා වූයේ ආරම්භක පිතිකරු රෝරි බර්න්ස් ය. ඔහු පන්දු 81කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 43ක් ලබා ගත්තේ ය. තරගය පළමු දිනයේ දිවා විවේකයට නතර කරන විට එංගලන්තය කඩුලු 4ක් දැවී ලකුණු 120ක් ලබා සිටියේ ය. ඒ වෙද්දී ජොස් බට්ලර් නොදැවී ලකුණු 38ක් ද, මොයින් අලී නොදැවී ලකුණු 4ක් ද ලබා ගනිමින් පිටියේ රැඳී සිටිය හ.

දිවා විවේකයෙන් පසුව යැවුණ 5 වැනි පන්දු වාරයේ දී මොයින් අලීගේ (10) කඩුල්ල දවා ගැනීමට මාලින්ද පුෂ්පකුමාර සමත් විය. අලි සහ බට්ලර් අතර එම කඩුල්ලේ ලකුණු සබඳතාව 45කි.

බට්ලර් සහ බෙන් ෆෝකස් 6 වැනි කඩුල්ලට එක්වීම තරමක අවදානමක් ලෙසින් ආරම්භයේ දිස් වූවද ෆෝකස්ට පිටියේ ස්ථාවර වීමට ඉඩ නොදීමට පුෂ්පකුමාර වග බලා ගත්තේ ය. ෆෝකස්ට අද ලබා ගත හැකි වූයේ ලකුණු 19ක් පමණි.

බට්ලර් අද තම ටෙස්ට් තරග දිවියේ 11 වැනි අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය. ඔහු තම ඉනිම අවසන් වෙන විට පන්දු 66කට මුහුණ දී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 63ක් ලබා ගත්තේ ය.

එංගලන්ත ඉනිමේ වැඩි ගෞරවය හිමි වෙන්නේ අංක 8 පිතිකරු සෑම් කරන්ට ය. ඔහු අද තම ටෙස්ට් තරග දිවියේ 3 වැනි අර්ධ ශතකය 92 වැනි පන්දුවේ දී වාර්තා කරන්නේ මිඩ් විකට් කලාපය හරහා එල්ල කළ දැවැන්ත හයේ පහරක් ද සමඟිනි.

සෑම් කරන් අවසන් කඩුල්ල ලෙසින් දැවී යද්දී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ පන්දු 119ක දී ලකුණු 64ක් ලබා ගනිමිනි. ඔහුගේ ඉනිමට හතරේ පහරක් සහ හයේ පහර 6ක් ඇතුලත් විය. ඉන් හයේ පහර 5ක් ම එල්ල කළේ අකිල දනංජයට ය.

ඔහු අවසන් පිතිකරු ජේම්ස් ඇන්ඩර්සන් සමඟ එක් වෙමින් ඉනිමේ හොඳම කඩුලු සබඳතාව ද වාර්තා කිරීමට සමත් විය. ඔවුන් දෙදෙනා පන්දු 66ක දී ලකුණු 60ක් ලබා ගත්හ.

ඊට අමතරව 8 වැනි කඩුල්ල වෙනුවෙන් අදිල් රෂීඩ් සමඟ එක්වෙමින් ලකුණු 45ක සබඳතාවක් ද එක් කිරීමට සමත් විය. අදිල් රෂීඩ් ලබා ගත් ලකුණු සංඛ්‍යාව පන්දු 52කට හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 31කි.

කඩුලු ලබා ගැනීමේ දී ඩිල්රුවන් පෙරේරා කඩුලු 4ක් ලබා ගත්තේ ය. ඊට අමතරව මාලින්ද පුෂ්පකුමාර කඩුලු 3ක් ද, අකිල දනංජය කඩුලු 2ක් ද ලබා ගත්හ.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 22ක් වෙද්දී දවා ගැනීමට එංගලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ. දැවී ගිය පිතිකරු වූයේ කෞෂාල් සිල්වා (6) ය. එම කඩුල්ල දැවී යෑමත් සමඟ ශ්‍රී ලංකා ඉනිමේ සැදෑ ආරක්ෂකයා ලෙසින් මාලින්ද පුෂ්පකුමාර පිටියට පිවිසි අතර ඔහු දිනය අවසන් වෙන විට නොදැවී ලකුණක් ලබා සිටියේ ය. දිමුත් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 19කි.

අහිමි වූ එකම කඩුල්ලේ හිමිකාරිත්වය ජැකි ලීච් සතු විය.

තරගය හෙට (15) දිනයේත් ක්‍රියාත්මක වීමට නියමිත ය.

එංගලන්තය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 285 (75.4) රෝරි බර්න්ස් 43, ජොස් බට්ලර් 63, සෑම් කුරන් 64, අදීල් රෂීඩ් 31, ඩිල්රුවන් පෙරේරා 4/61, මාලින්ද පුෂ්පකුමාර 3/89, අකිල දනංජය 2/80

ශ්‍රී ලංකාව; පළමු ඉනිම කඩුල්ලක් දැවී 26 (12) දිමුත් කරුණාරත්න නොදැවී 19

ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ එසැණ පුවත්, ලකුණු සටහන්, විශේෂ වීඩියෝ, තරග වාර්තා හා ඡායාරූප ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<