ශ්‍රී ලංකාවට එරෙහි වූ ඉන්දියාව එකට එක කරයි

623

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ පළමු සිව්දින තරගය අදින් (17) ආරම්භ විය. නායක අනුජ් රාවට්ගේ සුපිරි පිතිකරණය නිසා පළමු දිනය අවසානයේ තරගයේ වැඩි වාසිය ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායමට හැකි විය.

ඉන්දු – ශ්‍රී ලංකා තවත් ක්‍රිකට් තරගාවලියක් හෙට ඇරඹේ

සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරග දෙකක් හා තරුණ එක්දින ක්‍රිකට් තරග පහක් ඇතුළත් ඉන්දීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම …

NCC පිටියේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායක නිපුන් ධනංජය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර කමිල් මිශාර හා නිශාන් මධුෂ්කට පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවීමට හැකි වූයේ ලකුණු 20ක සබඳතාවයක් පමණි. කමිල් මිශාර දැවී ගිය පසුව නිශාන් මධුෂ්ක හා පිටියේ එක්වූ වමතින් පිත්ත හසුරුවන කණ්ඩායම් නායක නිපුන් ධනංජය දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 53ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා පළමු ඉනිමේ ලකුණු පුවරුව තරමක ඉහළ මට්ටමකට ඔසවා තබන ලදි. දකුණතින් පිත්ත හසුරුවන කඩුලු රකින පිතිකරුවෙක් වන මධුෂ්ක දැකුම්කළු පිතිකරණයක නිරත වූයේ 4 පහර 7ක් සමඟ ලකුණු 39ක් ලබා ගනිමිනි. මධුෂ්ක ලකුණු 39ක් ලබා සිටිය දී හර්ෂ් ත්‍යාගි එවූ පන්දුවකට ඔහු වෙතටම උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේය.

4 පහර 8ක් සමඟින් ලකුණු 39ක් ලබා සිටි නායක දනංජයගේ ඉනිම ලකුණු 39කට සීමා කිරීමට වමතින් වේගපන්දු යවන මොහිට් ජන්ගර් සමත් විය. නුවනිඳු ප්‍රනාන්දු දැවී යාමට පසුව ශ්‍රී ලංකා ඉනිම හා ශ්‍රී ලංකා ලකුණු පුවරුව තරමක් මන්දගාමී වුවත් දකුණතින් පිතිකරණයේ නිරත වන පසිඳු සූරියබණ්ඩාර ශ්‍රී ලංකා පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් ලකුණු 69ක් ලබා ගැනීමත් සමඟම ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට තරගයක් ලබා දීමට හැකි ලකුණු පුවරුවක් වෙත යාමට අවශ්‍ය මඟ සැකසෙන ලදි.

ශ්‍රී ලංකා පොඩ්ඩොන්ගේ අභියෝගයට ඉන්දියාවෙන් සාර්ථක පිළිතුරක්

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ සභාපතිගේ කණ්ඩායම හා ඉන්දීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර පැවති දෙදින පුහුණු තරගය අද (14) NCC පිටියේ දී ජය පරාජයෙන්….

පන්දු 134ක් පුරාවට ක්‍රියාත්මක වූ සූරියබණ්ඩාරගේ ඉනිම 4 පහර 4කින් හා 6 පහර 3කින් අලංකාරවත් විය. ඔහුගේ ඉනිම පුරාවට දියත් කරන ලද පිතිකරණය දිහා නිරීක්ෂණය කර බැලීමේ දී ඔහුගේ තාක්ෂණය දුර්වල බවක් පෙනෙන්නට තිබුණේ ඔහු දැවී ගිය පන්දුවේ දී පමණි. අනෙක් සියලුම පන්දුවලට ඔහු ඉතාමත් නිවැරදි ආකාරයෙන් ක්‍රිකට් පිතිකරණ තාක්ෂණය උපයෝගී කරගෙන පිළිතුරු ලබා දුනි.

ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කමිඳු මෙන්ඩිස්ගේ සොහොයුරා වන සඳුන් මෙන්ඩිස් ලකුණු 39ක් ලබා ගත්තේය. අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 244ක් පමණි. පන්දු යැවීමේ දී හර්ෂ් ත්‍යාගි හා අයුෂ් බදෝනි කඩුලු 4 බැගින් දවා ගනිමින් දස්කම් දක්වන ලදි.

සිය පිළිතුරු පළමු ඉනිම දියත් කළ ඉන්දීය කණ්ඩායමට සාර්ථක හා වේගවත් ලකුණු 92ක ආරම්භක සබඳතාවයක් ගොඩනංවමින් ඉනිම වර්ණවත් කිරීමට නායක අනුජ් රාවට් හා අත්‍රව් ටයිඩ් සමත් විය. නායකත්වයේ පිතිකරණයක නිරත වූ රාවට් 4 පහර 8ක් හා 6 පහර 2ක් සමඟින් ලකුණු 63ක් ලබාගත්තේ පන්දු 59ක් පමණක් වැය කරමිනි.

දිනය අවසන් වීමට තවත් පන්දුවාර කිහිපයක් පමණක් ඉතිරිව තිබිය දී ශ්‍රී ලංකා පන්දු යවන්නන් හට හිසරදයක් වූ රාවට් දකුණතින් පිට දඟපන්දු යවන කල්හාර සේනාරත්නගේ පන්දුවකට දැවී ගියේය. තරගයේ පළමු දිනය අවසන් වන විට ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් එක් කඩුල්ලක් දැවී ලකුණු 92ක් ලබාගෙන සිටින්නේ ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 152ක් පමණක් පසුපසින් සිටිමිනි.

ශ්‍රී ලංකා 19න් පහළ පළමු ඉනිම – 244 (70.3): පසිඳු සූරියබණ්ඩාර 69, නිශාන් මධුෂ්ක 39, සඳුන් මෙන්ඩිස් 39, අයුෂ් බදෝනි 4/24, හර්ෂ් ත්‍යාගි 4/92.

ඉන්දීය 19න් පහළ පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 92/1 (16.4): අනුජ් රාවට්  63, අත්‍රව් ටයිඩ් 27*, කල්හාර සේනාරත්න 1/20.

තරගය දෙවන දිනය හෙට (18) පැවැත්වෙන අතර තරගාවලියේ සියලුම තරග ඩයලොග් TV නාලිකා අංක 1 හා ThePapare.com වෙබ් අඩවිය හරහා සජීවීව විකාශය කරනු ඇත. සියලුම තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<