ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර අද (4) නිමා වූ 2 වැනි තුන් දින තරගයෙන් කඩුලු 9ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රීඩකයෝ සමත් වුණා.
Bashundhara ක්‍රීඩා සංකීර්ණ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ ක්‍රීඩකයෝ ලකුණු 122කට සියලුම දෙනා දැවී ගිය අතර ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 335ක් ලබා ගනිමින් බංග්ලාදේශය ක්‍රීඩකයන්ට ඉනිම බාර දුන්නා. ලකුණු 213ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිම ආරම්භ කළ සත්කාරක ක්‍රීඩකයෝ අද සියලුම දෙනා දැවී ලකුණු 278ක් ලබා ගත්තා.
ඒ අනුව ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 66ක් පිටුපස සිටිමින් තම 2 වැනි ඉනිමට පිවිසි ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රීඩකයෝ කඩුල්ලක් පමණක් දැවී ලකුණු 68ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.
ඒ අනුව දෙරට අතර තරග 2කින් සමන්විත වූ තුන් දින ක්‍රිකට් තරගාවලිය 1-1ක් ලෙසින් සම ව අවසන් වුණා.
තරගයේ 3 වැනි සහ අවසන් දිනය උදා වෙන්නේ බංග්ලාදේශ ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 107ක් ලබා සිටියදීයි. ඒ වෙද්දී Junayed Hossain නොදැවී ලකුණු 25ක් ද සහ Sourav Karmakar නොදැවී ලකුණු 19ක් ලබා සිටියා.
දිනයේ පළමුවෙන් ම දැවී යන්නේ Junayed Hossain. ඔහු පන්දු 198කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 78ක් ලබා සිටියා. ඒ වෙද්දී ඔවුන් දෙදෙනා එක් ව 7 වැනි කඩුල්ලට ලකුණු 95ක සබඳතාවක් ගොඩ නගනවා.
අනතුරු ව බංග්ලාදේශ ඉනිමට තවත් ලකුණු 8ක් එක් වෙද්දී ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙමින් ශ්‍රී ලංකාවට හිසරදයක් ව සිටි Sourav Karmakar ද දැවී යනවා. ඔහු දැවී යද්දී පන්දු 257කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 123ක් ලබා සිටියා.
පෙර දිනයේ බංග්ලාදේශ ඉනිමේ කඩුලු 5ක් දවාගෙන සිටි හිමරු දේශාන් අද දවසේ දී ද කඩුලු 3ක් දවා ගනිමින් බංග්ලාදේශ ඉනිමේ ප්‍රධාන ප්‍රතිවාදීයා බවට පත් වෙනවා. ඔහු තම පන්දු යැවීම අවසන් කරන්නේ ලකුණු 93කට කඩුලු 8ක් දවා ගනිමිනුයි. එම දක්ෂතාවය ද සමඟින් ඔහු මෙම තරගයේ දී ලකුණු 137කට කඩුලු 11ක් දවා ගන්නවා.
බංග්ලාදේශ 2 වැනි ඉනිමේ දැවී ගිය කඩුලු අතුරින් මිනුග නෙත්සර සහ මානිත රාජපක්ෂට ද කඩුල්ලක් බැගින් හිමි වෙනවා.
- එළඹෙන ජනවාරියේ දී T20 තරගාවලියක් වෙනුවෙන් පාකිස්තානය ශ්‍රී ලංකාවේ සංචාරයක
- මීළඟ LPL තරගාවලිය සඳහා දින නියම වෙයි
ජයග්‍රහණය උදෙසා ලකුණු 66ක් හඹා යන ඉනිමක් වෙනුවෙන් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරන්නේ අරෝෂ සිතුමිණ සහ රෙහාන් පීරිස්. ඔවුන් දෙදෙනා එක් ව එම කඩුල්ලට පන්දු 36ක දී ලකුණු 43ක් එක් කරනවා.
පන්දු 23ක දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 24ක් ලබා සිටිය දී අරෝෂ සිතුමිණ පළමු වැනි කඩුල්ලට දැවී ගිය අතර ඉන් අනතුරු ව පිටියට එක් වෙන්නේ හිරුන් මතීෂ.
ඔවුන් දෙදෙනා එක් ව තරගය ජයග්‍රහණය කරා රැගෙන යන විට නායක රෙහාන් පීරිස් පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 22ක් ද සහ හිරුන් මතීෂ පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 19ක් ද ලබා සිටියා.
ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය එක ම කඩුල්ලේ හිමිකාරීත්වය Md Nubayet Alam සතු වුණා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- බංග්ලාදේශ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 122 (30.3)Kawsar Ahmed21, Sourav Karmakar 42, මිනුග නෙත්සර 3/34, හිමරු දේශාන් 3/44, මානිත රාජපක්ෂ 3/21
- ශ්‍රී ලංකාවයස අවුරුදු 17න් පහළ කණ්ඩායම– පළමු ඉනිම කඩුලු 7ක් දැවී 335 (99.4) රෙහාන් පීරිස් 182, හිරුන් මතීෂ 18, ජේසන් ප්‍රනාන්දු 65, ස්ටෙවෝන් පීරිස් 19, මානිත රාජපක්ෂ නොදැවී 27, Sahidul islam sahid 5/114
- බංග්ලාදේශ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – දෙවැනිඉනිම සියලුම දෙනාදැවී 278 (106.1) Lawrence Roy 26, Md. Rakibul Hossan 23, Junayed Hossain 78, Sourav Karmakar 123, හිමරු දේශාන් 8/93
- ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම – දෙවැනිඉනිම කඩුල්ලක් දැවී 68 (10.3)අරෝෂ සිතුමිණ 24, රෙහාන් පීරිස් නොදැවී 22, හිරුන් මතීෂ නොදැවී 19
ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමට කඩුලු 9ක ජයක්.
දෙරට අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මේ මස 7 වැනිදා සිට ආරම්භ වීමට නියමිතයි.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















