පවන්, නුවනිඳු සහ සදීර එක්දින සංචාරයට

Sri Lanka Tour of Zimbabwe

15
Wanindu is injured.

එක්දින සහ විස්සයි විස්ස තරගාවලි ද්විත්වයක් සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය දා සිම්බාබ්වේ දේශය බලා පිටත් වුණා. දෙරට අතර පැවැත්වෙන තරග 2කින් යුත් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය මේ මස 29 වැනිදා සිට ආරම්භ වීමට නියමිතයි.

මේ සියලු තරග පැවැත්වෙන්නේ Harare ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

  • එක්දින ජාත්‍යන්තර තරග කාලසටහන

1 වැනි තරගය – අගෝස්තු 29

2 වැනි තරගය – අගෝස්තු 31

මෙම තරගාවලියන් සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සුපරුදු ලෙසින් ම චරිත් අසලංක ට හිමි ව ඇති අතර නම් කරන ලද ක්‍රීඩකයන් අතරට පළමු වරට 22 හැවිරිදි වියේ පසුවෙන පවන් රත්නායක ද එක් කර තිබෙනවා.

පළමු පෙළ තරග 51ක දී ශතක 11ක් සහ අර්ධ ශතක 10ක් සමඟින් ලකුණු 3247ක් ද සහ පළමු පෙළ එක්දින තරග 79ක දී ශතක 6ක් සහ අර්ධ ශතක 10ක් සමඟින් ලකුණු 2510ක් ලබා ඇති පවන් රත්නායක දකුණත් ඉදිරි පෙළ පිතිකරුවෙක් ලෙසයි වර්ගීකරණයට ලක් ව ඇත්තේ.

ඔහු පසුගිය ජූලි මාසයේ දී නිමා වූ Major Clubs එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී පන්දු 94කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සමඟින් නොදැවී ලකුණු 158ක් ලබා ගනිමින් අවසන් මහා තරගයේ වීරයා බවට ද පත් වෙනවා.

එමෙන් ම ඔහුට අමතර ව එම කණ්ඩායමට කලකට පසුව 25 හැවිරිදි වියේ පසුවෙන නුවනිඳු ප්‍රනාන්දු ද නම් කර තිබෙනවා. ඔහු අවසන් වරට එක්දින තරගයක් සඳහා සහභාගී වී ඇත්තේ 2024 වසරේ නොවැම්බර් මාසයේ දී නවසීලන්තයට එරෙහිවයි.

2023 වසරේ ජනවාරියේ දී ඉන්දියාවට එරෙහි ව එක්දින ජාත්‍යන්තර වරම් හිමිකර ගත් නුවනිඳු ප්‍රනාන්දු එතෙක් එක්දින තරග 5කට ක්‍රීඩා කර ඇති අතර ලබා ඇති ලකුණු සංඛ්‍යාව 75ක්.

පසුගියදා මෙරට දී නිමා වූ SLC T20 League තරගාවලියේ වැඩිම ලකුණුලාභියා බවට පත් වීමට ද නුවනිඳු ප්‍රනාන්දු සමත් වෙනවා. ඔහු එම තරගාවලියේ ඉනිම 5ක ඉනිම් 4ක දී අර්ධ ශතක 2ක් සමගින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 155ක්. එහි සාමාන්‍ය 77.5ක් ලෙසින් පවත්වාගෙන යෑමට ද ඔහු සමත් වෙනවා. එමෙන් ම ඔහු නිමා වූ Major Clubs එක්දින තරගාවලියේ දී ද ඉනිම 5ක දී ශතකයක් සහ අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 393ක් ලබා ගන්නා ලද අතර එහි සාමාන්‍ය ලෙස දැක් වුණේ 98.25ක්.

මොවුන් දෙදෙනා ම ශ්‍රී ලංකා A කණ්ඩායම හා එක් වෙමින් පසුගිය ජුලි මාසයේ දී නිමා වූ ඔස්ට්‍රේලියා තරග සංචාරයේ දී ද ඉහළ දක්ෂතා දක්වනවා. නිල නොලත් ටෙස්ට් තරග ද්විත්වයකින් යුත් එම තරගාවලියේ දී නුවනිඳු ප්‍රනාන්දු ඉනිම 3ක දි ශතක ද්විත්වයක් සමඟින් ලකුණු 240ක් ලබා ගැනීමටත් සහ පවන් රත්නායක ඉනිම 3ක දී ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 179ක් ලබා ගැනීමට සමත් වූවා.

ඔවුන් දෙදෙනාට අමතර ව 2024 වසරේ නොවැම්බර් මාසයෙන් පසුව එක්දින කණ්ඩායමට කැඳවීම් නොලත් 29 හැවිරිදි වියේ පසුවෙන සදීර සමරවික්‍රමට ද මෙම කණ්ඩායමේ ස්ථානයක් හිමි ව තිබෙනවා.

එක්දින ජාත්‍යන්තර තරග 50ක අත්දැකීම් සපිරි සදීර සමරවික්‍රම පසුගියදා නිමා වූ SLC T20 League තරගාවලියේ දී Greens කණ්ඩායම නියෝජනය කරමින් අවසන් මහා තරගයේ දී පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 49ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණයට දායක වූ ප්‍රමුඛ පෙළ ක්‍රීඩකයෙක් බවට පත් වූවා.

සිම්බාබ්වේ සංචාරය සඳහා එක් වෙන මෙම කණ්ඩායමට ආබාධිත තත්ත්වයක් හේතුවෙන් වනිඳු හසරංග නොසලකා හැර තිබෙන අතර ඊට අමතර ව අවිශ්ක ප්‍රනාන්දු සහ එශාන් මාලිංග ද මෙවර කණ්ඩායමට නම් කර නැහැ.

සංචාරය සඳහා එක් වෙන කණ්ඩායමට පිතිකරුවන් ලෙසින් නායක චරිත් අසලංක, පැතුම් නිස්සංක, නුවනිඳු ප්‍රනාන්දු, නිශාන් මදුශ්ක, කුසල් මෙන්ඩිස්, ජනිත් ලියනගේ සහ නවක ක්‍රීඩක පවන් රත්නායක නම් කර තිබෙනවා.

කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙසින් නම් ලබමින්, අසුන් වෙන් ව තිබෙන්නේ කමිඳු මෙන්ඩිස්, දුනිත් වෙල්ලාලගේ සහ මිලාන් රත්නයක වෙතයි.

එමෙන් ම ප්‍රධාන දඟ පන්දු යවන්නන් ලෙස මහීෂ් තීක්ෂණ සහ ජෙෆ්රි වැන්ඩර් සේ කටයුතු කරන අතර වේග පන්දු යවන්නන් ලෙසින් ඩිල්ශාන් මදුශංක, අසිත ප්‍රනාන්දු සහ දුශ්මන්ත චමීර නම් කර තිබෙනවා.

සිම්බාබ්වේ සංචාරය සඳහා එක් වූ ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම

 

චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, නුවනිඳු ප්‍රනාන්දු, නිශාන් මදුශ්ක, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), සදීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, දුනිත් වෙල්ලාලගේ, පවන් රත්නායක, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, මිලාන් රත්නායක, ඩිල්ශාන් මදුශංක, අසිත ප්‍රනාන්දු සහ දුශ්මන්ත චමීර.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් මස 03 වැනිදා සිට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරයේ සජීවී තරග තොරතුරු ThePapare 1,  ThePapare 1 HD (Dialog රූපවාහිනී චැනල් 62 සහ 126) සහ Dialog ViU app මගින් නැරඹීමේ අවස්ථාව ඔබ වෙත හිමිකර තිබේ.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<