ගනර් සුපර් ක්‍රොස් 2017

254
Gunner supercross 2017

ශ්‍රී ලංකාවේ  යතුරු පැදි සහ මෝටර් රථ ධාවන තරග ඉසව් අතර ප්‍රමුඛ තැනක් ගන්නා “ගනර් සුපර් ක්‍රොස්” තරගාවලිය එළඹෙන අගෝස්තු මාසයේදී පැවැත්වෙන බව තරගාවලි සංවිධායකයන් වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව විසින් දැනුම් දී තිබේ. මෙය ඉතිහාසයේ 12 වැනි “ගනර් සුපර් ක්‍රොස්” තරගාවලිය වන අතර එය අගෝස්තු 06 වැනි ඉරිදා මින්නේරිය කාලතුවක්කු හමුදා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුව පැවැත්වුණේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී ය.

2004 වසරේ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේනාවිධායක මේජර් ජෙනරාල් සුනිල් තෙන්නකෝන් මහතාගේ අදහසකට අනුව ආරම්භ කළ මෙම තරගාවලියෙන් ලැබෙන ආදායම, යුද්ධයේදී දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වල සුබසාධනය සහ ආබාධිත රණවිරුවන්ගේ සුබසාධනයටත්, කාලතුවක්කු හමුදාවේ යටිතල පහසුකම් වර්ධනයටත් යොදා ගැනේ.

කාලතුවක්කු හමුදාවේ වත්මන් සේනාවිධායක ප්‍රියන්ත ජයසුන්දර මැතිතුමන් පැවසූයේ,

“අපේ කාලතුවක්කු හමුදාවේ එකමුතුකමත්, ශක්තියත් මෙහි මූලිකාංග”යි යනුවෙනි.

ප්‍රකට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වන අජන්ත මෙන්ඩිස්, අසේල ගුණරත්න සහ ධාවක හිමාෂ ඒෂාන් ද ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව නියෝජනය කළවුන් වන බැවින් ක්‍රීඩාව සමඟ ඔවුන්ට ඇති කිට්ටු සම්බන්ධය විද්‍යාමාන වේ.

මේ අවස්ථාවට සහභාගී වූ ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයන්ගේ සංගමයේ (SLADA) සභාපති මහේෂ් ගම්මන්පිල මහතා මෙසේ අදහස් දැක්වීය.

“අවාසනාවකට වගේ ආනන්ද වෙඩිසිංහ අපට අහිමි වීම නිසා ලොකු හිඩැසක් තිබෙනවා.” පසුගිය නුවරඑළිය මාර්ග ධාවන තරගයේදී ප්‍රවීණ යතුරුපැදි ධාවක ආනන්ද වෙඩිසිංහ මාරාන්තික අනතුරකට ලක්වූ අතර එහි කම්පනය තවදුරටත් මෝටර් රථ ධාවන ප්‍රේක්ෂකයන්ගේ සිත්හි පවතියි.

එහෙත් ගනර් සුපර් ක්‍රොස් ධාවන පථයේ තත්වය අගය කළ ගම්මන්පිල මහතා කියා සිටියේ,

“මාධ්‍ය කුටියක් සහ ප්‍රධාන ප්‍රේක්ෂකාගාර කිහිපයක් ඇති ශ්‍රී ලංකාවේ එකම ධාවන පථය මෙයයි.” යනුවෙනි.

ගනර් සුපර් ක්‍රොස් ධාවන තරගාවලියේ සංවිධායකත්වය අගය කරමින් අනුග්‍රාහක භවතුන්ද අදහස් දැක්වීම, එහි සාර්ථකත්වයේ  රහස කියාපෑවේය.

“මේ වසරේ ඔබ දකින හොඳම ධාවන තරගාවලිය මෙයයි”

ශ්‍රී ලංකාවේ ධාවන ක්ෂේත්‍රයට දිගින් දිගටම අනුග්‍රාහකත්වය සපයන සියැට් ආයතනයේ උප ප්‍රධාන වෙළඳ කළමණාකරු බිෂ්රි ලතීෆ් මහතා කියා සිටියේය.

එළඹෙන අගෝස්තු 06 වැනිදා මින්නේරියේදී පැවැත්වෙන උත්කර්ෂවත් “ගනර් සුපර් ක්‍රොස්” තරගාවලිය සමඟින් ThePapare.com අපත් එක්වන බව ඔබට දන්වන්නේ ඉතාම සතුටිනි.  

 >>තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට<<