තරග 33ක ඉනිම් 64ක දී ලකුණු 11726ක් ලබා ගත් සහ කඩුලු 482ක් දැවී ගිය තරගාවලියක ශූරයන් බවට පත් වීමට SSC කණ්ඩායම සමත් වෙද්දී එහි අනුශූරයන් බවට පත්වූයේ Moratuwa SC කණ්ඩායමයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ Tier B එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය එලෙසින් අවසන් වෙන්නේ කාණ්ඩ 2ක කණ්ඩායම් 12ක් අතරේ පැවැති තරගවලින් අනතුරුවයි.
මෙවර තරගාවලිය සඳහා A කාණ්ඩය නියෝජනය කරමින් Galle CC, Negombo CC, Leo CC, SL Army SC, Navy SC සහ Ragama CC කණ්ඩායම් ද B කාණ්ඩය නියෝජනය කරමින් SSC, Moratuwa SC, Malay CC, Sebastianite C & AC, United Southern SC සහ Kandy Custom SC යන කණ්ඩායම් ද සහභාගී වුණා.
ඒ අතුරින් A කාණ්ඩයේ ප්‍රසාද පුවරුවේ පළමු ස්ථාන ද්විත්වය Galle CC සහ Negombo CC කණ්ඩායම් විසින් ද B කාණ්ඩයේ ප්‍රසාද පුවරුවේ පළමු ස්ථාන ද්විත්වය SSC සහ Moratuwa SC කණ්ඩායම් විසින් ද දිනා ගනිමින් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා.
ඒ අනුව පැවැති 1 වැනි අවසන් පූර්ව වටයේ තරගයෙන් Galle CC කණ්ඩායමට එරෙහි ව ලකුණු 52ක ජයග්‍රහණයක් ලබා ගත් Moratuwa SC ක්‍රීඩකයෝ ද සහ 2 වැනි අවසන් පූර්ව වටයේ තරගයෙන් Negombo CC කණ්ඩායමට එරෙහි ව ලකුණු 81ක ජයග්‍රහණයක් ලබා ගත් SSC ක්‍රීඩකයෝ ද අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.
අවසන් මහා තරගයේ වීරයා – නිපුන් ධනංජය (SSC)
SSC කණ්ඩායම සහ Moratuwa SC කණ්ඩායම අතර පැවැති අවසන් මහා තරගයේ වීරයා බවට පත් වෙන්නේ 24 හැවිරිදි වියේ පසුවෙන SSC කණ්ඩායමේ වමත් පිතිකරු නිපුන් ධනංජය. ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සේ ම ශ්‍රී ලංකා A කණ්ඩායම ද නියෝජනය කර ඇති නිපුන් ධනංජය මෙම තරගයේ දී පන්දු පන්දු 104කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 73ක් ලබා ගන්නවා. එය ඔහු මෙම තරගාවලියේ ඉනිමක වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුණා.
මෙම තරගයේ දී ඔහු 3 වැනි කඩුල්ල වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු සමඟ එක් වෙමින් ලකුණු 51ක සබඳතාවක් ද සහ චරිත් අසලංක හා එක් ව සිව් වැනි කඩුල්ලට ලකුණු 66ක සබඳතාවක් ද ගොඩ නැගීමට දායක වෙනවා.
මෙවර තරගාවලිය නිමා වෙද්දී ඔහු තරග 4කට සහභාගී වෙමින් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 102ක්.
තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – සහන් කෞශල්‍ය (Moratuwa SC)
Moratuwa SC කණ්ඩායම නියෝජනය කළ 20 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් පිට දඟ පන්දු යවන සහන් කෞශල්‍ය මෙවර තරගාලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් සම්මාන දිනා ගත්තා. ඔහු නිමා වූ තරගාවලියේ දී තරග 7කට සහභාගී වෙමින් කඩුලු 17ක් ලබා ගනිමිනුයි මෙම සම්මානයට හිමිකම් කිව්වේ.
තරගාවලියේ ඔහුගේ හොඳම දක්ෂතාව බවට පත් වුණේ Kandy Customs SC කණ්ඩායමට එරෙහි ව ලකුණු 21කට දවා ගත් කඩුලු 4යි. ඊට අමතර ව ඔහු Malay CC සහ Galle CC කණ්ඩායම්වලට එරෙහි ව කඩුලු 3ක් බැගින් ද දවා ගත්තා.
තරගාවලියේ වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ 2 වැනි ස්ථානයට පත් වෙන්නේ Moratuwa SC කණ්ඩායමේ උෂාන් සත්සර. ඔහු කඩුලු 14ක් ලබා ගනිමින් මෙම ස්ථානයට පත් වෙනවා. ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් වෙන්නේ Sebastians C & AC කණ්ඩායමට එරෙහි ව ලකුණු 21කට දවා ගත් කඩුලු 3යි.
Negombo CC කණ්ඩායම නියෝජනය කළ වරුන් ඉමේෂන් මෙම ලැයිස්තුවේ 3 වැනි ස්ථානයට පත් වෙන්නේ කඩුලු 13ක් ලබා ගනිමින් පෑ දක්ෂතා හේතුවෙනුයි. 23 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් මඳ වේග පන්දු යවන වරුන් ඉමේෂන් ගේ හොඳම පන්දු යැවීම බවට පත් වෙන්නේ Navy SC කණ්ඩායමට එරෙහි ව ලකුණු 27කට දවා ගත් කඩුලු 3යි.
තරගාවලියේ වැඩිම කඩුලුලාභීන් අතර සිව් වැනියා බවට පත් වෙන්නේ Leos CC කණ්ඩායමේ කළණ මදුශංක. දකුණතින් මඳ වේග පන්දු යවන ඔහු කඩුලු 12ක් ලබා ගනිමින් මෙම ස්ථානයට පත් වෙන්නේ තරග ත්‍රිත්වයක දී කඩුලු 3ක් බැගින් දවා ගත් අවස්ථාවන් ද සමඟිනුයි.
එමෙන් ම Malay CC කණ්ඩායමේ වමතින් දඟ පන්දු යවන සුදාර දක්ශිණ මෙම ලැයිස්තුවේ 5 වැනි ස්ථානයට පත් වෙනවා. ඒ ඔහු තරග 5ක දී කඩුලු 11ක් දවා ගනිමිනුයි. ඔහුගේ පන්දු යැවීමේ ඉහළ ම දක්ෂතාව බවට පත් වෙන්නෙ Kandy Customs SC කණ්ඩායමට එරෙහි ව ලකුණු 12කට දවා ගත් කඩුලු 5යි.
තරගාවලියේ වැඩිම කඩුලුලාභී පිතිකරුවන් 5 දෙනා
Player | Team | Mat | Ov | M | Runs | Wkts | Ave | Best | 4 | 3 | |
1 | සහන් කෞශල්‍ය | Moratuwa SC | 7 | 56.1 | 4 | 225 | 17 | 13.24 | 4/21 | 1 | 2 |
2 | උශාන් සත්සර | Moratuwa SC | 7 | 57.0 | 7 | 187 | 14 | 13.36 | 3/21 | 0 | 2 |
3 | වරුන් ඉමේෂන් | Negombo CC | 6 | 42.0 | 2 | 241 | 13 | 18.54 | 3/27 | 0 | 3 |
4 | කළණ මදුශංක | Leos CC | 5 | 34.0 | 1 | 217 | 12 | 17.25 | 3/29 | 0 | 3 |
5 | සුදාර දක්ෂිණ | Malay CC | 5 | 42.0 | 7 | 125 | 11 | 23.18 | 5/12 | 1 | 0 |
තරගාවලියේ ඉනිමක වැඩිම කඩුලු දවා ගත් පන්දු යවන්නා බවට පත් වෙන්නේ SSC කණ්ඩායමේ නිපුන් ධනංජය. ඔහු මෙම ලැයිස්තුවේ පළමු වැනියා බවට පත් වෙන්නේ Sebastians C & AC කණ්ඩායමට එරෙහි ව ලකුණු 9කට කඩුලු 6ක් දවා ගනිමින් පෑ දක්ෂතාත් සමඟිනුයි.
තරගාවලියේ දක්ෂතම පිතිකරු – හිරුන සිගේරා (Leos CC)
Leos CC කණ්ඩායම් නියෝජනය කළ 26 හැවිරිදි වියේ පසුවෙන දකුණත් පිතිකරු හිරුන සිගේරා තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙසින් සම්මානයට පත් වෙන්නේ මෙවර තරගාවලියේ ඉනිම 5ක දී ලකුණු 254ක් ලබා ගනිමින් පෑ දක්ෂතා හේතුවෙනුයි.
එම ලකුණු අතර ඔහුගේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට පත් වෙන්නේ Nugegoda CC කණ්ඩායමට එරෙහි ව පන්දු 105කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 5ක් සමඟින් ලබා ගත් ලකුණු 94යි.
ඊට අමතර ව ඔහු Navy SC කණ්ඩායමට එරෙහි ව ලබා ගත් ලකුණු 87ක් ද මෙම ලකුණු අතරට ඇතුලත්.
අවසන් පූර්ව තරගය ද සහ අවසන් මහා තරගය ද ඇතුලුව සැකසුන් තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවන් අතුරින් පළමු ස්ථානයට පත් වෙන්නේ SSC කණ්ඩායමේ ක්‍රිශාන් සංජුල. ඔහු තරග 7කට සහභාගී වෙමින් ලකුණු 290ක් ලබා ගනිමින් මෙහි අසුන් ගන්නවා. ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 58.00ක් සේ රඳවා ගැනීමට ද සමත් වූ ඔහුගේ මෙවර තරගාවලියේ හොඳම ඉනිම බවට පත් වෙන්නේ Moratuwa SC කණ්ඩායමට එරෙහිව පන්දු 123කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් ලබා ගත් ලකුණු 108යි.
ඊට අමතර ව Kandy Customs SC කණ්ඩායමට සහ Malay CC කණ්ඩායමට එරෙහි ව නොදැවී ලකුණු 73ක් බැගින් ද ලබා ගැනීමට ඔහු සමත් වෙනවා.
එම ලැයිස්තුවේ 2 වැනි ස්ථානය Galle CC කණ්ඩායමේ අමිත් එරන්ද සතු වෙන අතර ඔහු තරගාවලියේ ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 267ක්. එම ලකුණු අතර Navy SC කණ්ඩායමට එරෙහි ව පන්දු 114කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 101ක් ද ඇතුලත් අතර එය ඔහුගේ මෙවර තරගාවලියේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වෙනවා. එමෙන් ම ඔහු මෙවර තරගාවලියේ වැඩිම හතරේ පහර සංඛ්‍යාවක් ලබා ගත් පිතිකරු බවට ද පත් වුණා. ඔහු ලබා ගත් හතරේ පහර සංඛ්‍යාව 32ක්.
මෙම ලැයිස්තුවේ 3 වැනියා බවට තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙසින් සම්මානයට පත් හිරුන සිගේරා ඇතුලත් වෙන අතර සිව් වැනි ස්ථානය SSC කණ්ඩායම නියෝජනය කළ ශෙවෝන් ඩැනියෙල් ට හිමි වෙනවා. ඔහු ඉනිම් 5ක දී ලකුණු 238ක් ලබා ගන්නා ලද අතර එහි සාමාන්‍ය 62.0ක් ලෙසින් පවත්වාගෙන යෑමට ද සමත් වෙනවා.
එමෙන් ම ඔහු සහභාගී වූ ඉනිම් අතුරින් Kandy Customs SC කණ්ඩායමට එරෙහි ව පන්දු 94කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් සමඟින් ලබා ගත් ලකුණු 106ක් ද සහ ඊට අමතර ව Sebastians C & AC සහ Moratuwa SC කණ්ඩායම්වලට එරෙහි ව ලබා ගත් අර්ධ ශතක ද්විත්වයක් ද ඇතුලත්.
මෙම ලැයිස්තුවේ 5 වැනි ස්ථානය හිමි වෙන්නේ Moratuwa SC කණ්ඩායමේ අභිශේක් ලියනාරච්චි වෙතයි. ඔහු මෙම ලැයිස්තුව හා එක් වෙන්නේ ඉනිම 7ක දී ලකුණු 236ක් ලබා ගනිමිනුයි. ඔහුගේ ඉනිම් අතර ඉහළ ම ලකුණු සංඛ්‍යාව වෙන්නේ Sebastians C & AC කණ්ඩායමට එරෙහි ව පන්දු 118කට මුහුණ දෙමින් පන්දු 118කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සමඟින් ලබා ගත් ලකුණු 73යි.
තරගාවලියේ වැඩිම ලකුණුලාභී පිතිකරුවන් 5 දෙනා
Player | Team | Inns | NO | Runs | HS | Ave | 100 | 50 | 4s | 6s | |
1 | ක්‍රිශාන් සංජුල | SSC | 7 | 2 | 290 | 108 | 58.0 | 1 | 2 | 20 | 8 |
2 | අමිත් එරන්ද | Galle CC | 6 | 1 | 267 | 101* | 53.4 | 1 | 1 | 32 | 6 |
3 | හිරුන සිගේරා | Leo CC | 5 | 0 | 254 | 94 | 50.8 | 0 | 2 | 22 | 11 |
4 | ශෙවෝන් ඩැනියෙල් | SSC | 5 | 1 | 248 | 106* | 62.0 | 1 | 2 | 24 | 7 |
5 | අභිශේක් ලියනාරච්චි | Moratuwa SC | 7 | 1 | 236 | 73 | 47.2 | 0 | 1 | 11 | 5 |
තරගාවලියේ ඉනිමක වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු බවට පත් වෙන්නේ Galle CC කණ්ඩායමේ දුල්සිත් සිගේරා. ඔහු Leo CC කණ්ඩායමට එරෙහි ව පන්දු 149කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 122ක් ලබා ගනිමින් එම වාර්තාවට හිමිකම් කියනවා.
මෙවර තරගාවලියේ දී ශතක 5ක් වාර්තා වූ අතර ඉහත ලැයිස්තුවේ පිතිකරුවන් සිව් දෙනාට අමතර ව Negombo CC කණ්ඩායමේ දුලාජ් රණතුංග Galle CC කණ්ඩායමට එරෙහි ව පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 100ක් ලබා ගනිමින් ඊට එක් වෙනවා.
මේ අතර තරගාවලියේ වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයා ලෙසින් SSC කණ්ඩායමේ චමිඳු වික්‍රසිංහ පත් වෙනවා. ඔහු ලබා ගත් හයේ පහර සංඛ්‍යාව 12ක්.
- තරගාවලියේ වීරයා – ක්‍රිශාන් සංජුල (SSC)
පළමු පෙළ තරග 48ක දී අර්ධ ශතක 15ක් සමඟින් ලකුණු 1994ක් සහ පළමු පෙළ එක්දින තරග 60ක දී ශතකයක් සහ අර්ධ ශතක 14ක් සමඟින් ලකුණු 2128ක් ලබා සිටින ක්‍රිශාන් සංජුල මෙවර තරගාවලියේ දක්ෂත ම ක්‍රීඩකයා බවට පත් වෙනවා.
SSC කණ්ඩායම නියෝජනය කරන ක්‍රිශාන් සංජුල මෙවර නිමා වූ Tier B එක්දින තරගාවලියේ ද වැඩිම ලකුණුලාභියා වෙමින් මෙම සම්මානයට හිමිකම් කියනවා.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<