ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි පළාත් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන දිනය (31) සඳහා අදත් කටුනායක හා හම්බන්තොට ක්‍රීඩාංගණවල තරග දෙකක් පැවැත්විය.
රොෂේන් හා අශාන් නොදැවී ශතක රැස්කරති; පළමු දිනයම උණුසුම්
කොළඹ, ගාල්ල, මහනුවර හා දඹුල්ල යන කණ්ඩායම් හතරක සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්
කොළඹ හා ගාල්ල
ගාල්ල කණ්ඩයම පළමු දිනය අවසන් වන විට කඩුලු 6ක් දැවී ලකුණු 321ක් රැස්කරගෙන සිටි අතර රොෂේන් සිල්වා හා නිසල තාරක නොදැවී කඩුල්ලේ ක්‍රීඩා කරමින් සිටියහ. දෙවන දිනය ආරම්භයේ දී ඔවුන් දෙදෙනා හොඳින් පන්දුවට පහර දුන් අතර ඔවුන් දෙදෙනා එක්ව ලකුණු 49ක සබඳතාවයක් ගොඩ නැගීමට සමත් විය. දිනයේ පළමු කඩුල්ල ලෙස නිසල තාරක වමත් දඟපන්දු යවන ලසිත් ඇඹුල්දෙනියගේ පන්දුවකට හත්වැනි කඩුල්ල ලෙස ලකුණු 20කට පිටියෙන් ඉවත් විය.
අනතුරුව අකිල ධනංජය, රොෂේන් සිල්වා සමඟ එක් වූ අතර ඉක්මනින් ලකුණු රැස් කරමින් ඔවුන් දෙදෙනා ලකුණු 61ක් ලකුණු පුවරුවට එක් කිරීමට සමත් වූහ. අකිල ධනංජය අටවැනි කඩුල්ල ලෙස දුවද්දී දැවී යාමකට හසු වූ අතර අනෙක් අන්තයෙන් කඩුලු බිඳ වැටුණ ද විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ රොෂේන් සිල්වා පළමු පෙළ තරගවල සිය ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් නොදැවී ලකුණු 231ක් රැස්කර ගැනීමට සමත් විය.
දිල්රුවන් පෙරේරා කඩුලු තුනක් දවා ගත් අතර ලසිත් ඇඹුල්දෙනිය සහ කවිෂ්ක අංජුල කඩුලු දෙක බැගින් ලබා ගැනීමට සමත් විය. පිළිතුරු ඉනිම ආරම්භ කළ කොළඹ පළාත වෙනුවෙන් ෂෙහාන් ජයසූරිය හා කෞෂාල් සිල්වා ඉනිම ආරම්භ කළහ. ඔවුන් දෙදෙනා ලකුණු 25ක් වෙද්දී ක්‍රීඩාගාරයට හරවා යැවීමට ගාලු පන්දු යවන්නෝ සමත් වූහ.
ආරම්භක පිතිකරුවන් අසාර්ථක වුවද පිටියේ එක්වූ ලහිරු තිරිමාන්න හා ධනංජය ද සිල්වා නොබිඳුණු ලකුණු 79ක සබඳතාවයක් ගොඩනැගීමට සමත් විය. ධනංජය ද සිල්වා නොදැවී පන්දු 43ක දී වේගවත් ලකුණු 53ක් රැස්කරගත් අතර දිනය නිමා වන විට කොළඹ කණ්ඩයම කඩුලු 2ක් දැවී ලකුණු 102ක් රැස්කරගෙන සිටියි.
ලකුණු පුවරුව
දඹුල්ල හා මහනුවර
පළමු දිනය නිමා වන විට දඹුල්ල කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 382ක් රැස්කරගෙන සිටි අතර අශාන් ප්‍රියන්ජන විශිෂ්ට ඉනිමක් දියත් කරමින් පන්දු 239ක දී ලකුණු 156ක් රැස්කර ගැනීමට සමත් විය. ඔහුගේ ඉනිමට හතරේ පහර 18ක් ඇතුලත් විය. අශාන් ප්‍රියන්ජන දෙවන දිනය ආරම්භයේ ම දැවී ගිය ද, පිත්තේ වගකීම අතට ගත සචිත්‍ර සේනානායක දෙවන දිනයේ දී අනගි ශතකයක් වාර්තා කර ගැනීමට සමත් විය.
සචිත්‍රගේ ඉනිමට පන්දු 109ක් වැයවූ අතර හතරේ පහර 11ක් හා යෝධ හයේ පහර 4ක් එම ඉනිමට අන්තර්ගත විය. දඹුල්ල කණ්ඩයම ලකුණු 480ක දැවැන්ත ලකුණු පුවරුවක් ඉතිරි කරමින් සියල්ලන්ම දැවී ගිය අතර මහනුවර කණ්ඩයමේ කසුන් රාජිත හා ලහිරු කුමාර කඩුලු තුන බැගින් වාර්තා කර ගැනීමට සමත් විය.
සිය පළමු ඉනිම ඇරඹූ මහනුවර කණ්ඩායම වෙනුවෙන් තරංග පරණවිතාන හා මහේල උඩවත්ත පිටියට පිවිසි අතර ඔවුන් දෙදෙනාට එක්ව රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 35ක් පමණි. තරංග පරණවිතානගේ දැවී යාමෙන් අනතුරුව මහේල උඩවත්ත සමඟ එක්වූ චරිත් අසලංක ලකුණු 75ක් සබඳතාවයක් ගොඩනැගීමට සමත් විය.
110/2ක් ලෙස ලකුණු පුවරුව දැක්වෙද්දී පිටියට පැමිණි නිරෝෂන් දික්වැල්ල, මහේල උඩවත්ත හා එක්ව ලකුණු 76ක සබඳතාවයක් ගොඩ නැගීමට සමත්වුව ද, අවාසනාවන්ත ලෙස උඩවත්ත ලකුණු 97කට දැවී ගියේය. ඔහුගේ ඉනිමට හතරේ පහර 11ක් හා එක් 6 පහරක් අන්තර්ගත විය.
නිරෝෂන් දික්වැල්ල අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් දිනය නිමා වන විට ලකුණු 55ක් රැස්කරගෙන නොදැවී කඩුල්ලේ රැඳී සිටීමට සමත් විය. ලහිරු ගමගේ හා සචිත්‍ර සේනානායක එක් කඩුල්ල බැගින් බිඳ හෙළීමට සමත් විය.
ලකුණු පුවරුව
මෙම තරග හෙට (01) තෙවැනි දිනයටත් ක්‍රියාත්මක වන අතර ඒ අතරින් ගාල්ල හා කොළඹ තරගය ThePapare.com වෙබ් අඩවිය හා MyTV හරහා සජීව ලෙස විකාශනය කරනු ඇත. එසේම තරගාවලියේ නවතම තොරතුරු, වීඩියෝ, ඡායාරූප හා තරග වාර්තා ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<











