දුලාජ්, රවිඳු සහ ශෙවෝන් දක්ෂතා දක්වයි

Sri Lanka Emerging Team Tour of West Indies

55

දුලාජ් සමුදිත ලබා ගත් කඩුලු 5ත්, රවිඳු රසාන්ත සහ ශෙවෝන් ඩැනියෙල් දෙවැනි ඉනිමේ දී ලබා ගත්  අර්ධ ශතකත් හේතුවෙන් සංචාරක ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ඇකඩමි කණ්ඩායම අතර පැවැත්වෙන පළමු සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය (08) නිමාවේ දී සියලු ගෞරව දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වෙනවා. 

Coolidge ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 292ක් ලබා ගන්නා ලද අතර සත්කාරක බටහිර ඉන්දීය ඇකඩමි ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 214ක් පමණයි.  

අනතුරු ව දෙවැනි ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගය 2 වැනි දිනයට නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 141ක් ලබා සිටියා. ඒ අනුව ඔවුන් මේ වන විට ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 219ක් ඉදිරියෙන් පසු වෙනවා.  

තරගය 2 වැනි දිනයට ආරම්භ වෙන්නේ තම පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි ක්‍රීඩකයෝ කඩුල්ලක් දැවී ලකුණු 34ක් ලබා සිටියදීයි.  

එම ඉනිම වෙනුවෙන් පෙර දිනයේ ලකුණු 24ක් ලබා ගනිමින් පිටියේ නොදැවී සිටි ආරම්භක වමත් පිතිකරු Ackeem Auguste තම ඉනිම ලකුණු 41ක් කරා රැගෙන යනවා. ඔහු ඉනිමේ සිව් වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 41ක් ලබා සිටියා.  

අනෙක් අන්තයෙන් නොදැවී පිටියේ රැඳී සිටි Mbeki Joseph දිනයේ පළමු කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 17ක් ලබා සිටියා.  

එලෙසින් ආරම්භ වූ කොදෙව් ඇකඩමි ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ Rivaldo Clarke. ඔහු පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 42ක් ලබා ගත්තා. Carlon Bowen-Tuckett සමඟ 5 වැනි කඩුල්ලට එක් වූ ඔහු ලකුණු 58ක සබඳතාවක් ද එක් කරනවා.  

කොදෙව් ඉනිමේ සාර්ථක ම ලකුණු සබඳතාව වූ එහි දී Carlon Bowen-Tuckett පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තා. 

ඊට අමතර ව Joshua Bishop පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 24ක් ද සහ Nathan Edward පන්දු 41කට මුහුණ දෙමින් එක් හයේ පහරක් සමඟින් ලකුණු 19ක් ද ලබා ගත්තා 

කඩුලු දවා ගැනීමේ දී වමතින් මඳ වේග පන්දු යවන 22 හැවිරිදි වියේ පසුවෙන දුලාජ් සමුදිත ලකුණු 57කට කඩුලු 5ක් දවා ගන්නවා. ඊට අමතර ව අශේන් ඩැනියෙල් ලකුණු 45කට කඩුලු 3ක් දවා ගනිමින් ප්‍රතිවාදීන් පාලනය කළ අතර ධනංජය ලක්ෂාන් සහ දිලුම් සුදීර අතරේ කඩුල්ල බැගින් බෙදී යනවා.   

ලකුණු 78ක් ඉදිරියෙන් සිටිමින් තම 2 වැනි ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගය 2 වැනි දිනයට නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 141ක් ලබා සිටියා. එම ඉනිමේ දී ආරම්භක පිතිකරුවන් වු රවිඳු රසාන්ත සහ ශෙවෝන් ඩැනියෙල් අර්ධ ශතක ඉනිම් වාර්තා කිරීමට කැපී පෙණුනා.  

රවිඳු රසාන්ත පන්දු 98කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 65ක් ලබා ගත් අතර ශෙවෝන් ඩැනියල් පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 50ක් ලබා ගත්තා.  

ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 114ක දී ලකුණු 105ක් ද ගොඩ නැගීමට සමත් වෙනවා.  

පළමු කඩුල්ලේ දී එවන් සාර්ථක ආරම්භයක් ලබා ගත්ත ද ඉන් අනතුරු ව පිටියට පිවිසි නිපුන් ධනංජය ලකුණු නොලබා ම ද, අහන් වික්‍රමසිංහ ලකුණු 8කට ද සහ සැදෑ ආරක්ෂකයා ලෙසින් පිටියට පිවිසි දිලුම් සුදීර ලකුණු නොලබා ම දැවී යෑමත් සමඟින් ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ ලකුණු පුවරුව මන්දගාමී වූවා.  

දිනය අවසන් වන විට ජනිශ්ක පෙරේරා පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 13ක් ද සහ නායක ධනංජය ලක්ෂාන් පන්දු 5කට මුහුණ දෙමින් ලකුණු නොලබා නොදැවී පිටියේ රැඳී සිටිනවා.  

කඩුලු දවා ගැනීමේ දී Nathan Edward සහ Joshua Bishop කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර පළමු ඉනිමේ සාර්ථක පන්දු යැවීමක නිරත වූ Kelvin Pitman ද එක් කඩුල්ලකට හිමිකම් කිව්වා. 

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 292 (65.4) රවිඳු රසාන්ත 24, ශෙවෝන් ඩැනියෙල් 47, ජනිශ්ක පෙරේරා 38, සොහාන් ද ලිවේරා 130, සිතුම් දිසානායක නොදැවී 17, Nathan Edward 2/58, Kelvin Pitman 7/28
  • බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 214 (50.4) Ackeem Auguste 24, Carlon Bowen-Tuckett 30, Rivaldo Clarke 42, Joshua Bishop 24, දුලාජ් සමුදිත 5/57, අශේන් ඩැනියෙල් 3/45
  • ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 141 (37.0) රවිඳු රසාන්ත 65, ශෙවෝන් ඩැනියෙල් 50, Joshua Bishop 2/23, Nathan Edward 2/13

තරගය අද (09) 3 වැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.  

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ . 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<