15න් පහළ පොඩ්ඩන්ගේ වික්‍රමාන්විතය

Prima U 15 Sri Lanka Youth League 2025

69
Prima U 15 Sri Lanka Youth League 2025

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ ප්‍රීමා වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ලීග් තරගාවලියේ 2025 වසරේ ශූරයන් බවට පත් වීමට කොළඹ දකුණ වයස අවුරුදු 15න් පහළ ක්‍රීඩකයෝ සමත් වූ අතර අනුශූරයන් බවට පත් වූයේ මහනුවර වයස අවුරුදු 15න් පහළ කණ්ඩායමයි.

කොළඹ දකුණ වයස අවුරුදු 15න් පහළ කණ්ඩායමේ ජයග්‍රාහී ගමන් මඟ

  ප්‍රතිවාදීන් තරගයේ ප්‍රතිඵලය
1 ගාල්ල කොළඹ දකුණ කණ්ඩායමට කඩුල්ලක් ජයක්.
2 මහනුවර කොළඹ දකුණ කණ්ඩායමට ලකුණු 87ක ජයක්.
3 දඹුල්ල කොළඹ දකුණ කණ්ඩායමට කඩුලු 8ක ජයක්.
4 කොළඹ උතුර කොළඹ උතුර කණ්ඩායමට කඩුල්ලක් ජයක්.
  අවසන් පූර්ව තරගය
5 කොළඹ උතුර තරගයේ තීරණයක් නෑ.
  අවසන් මහා තරගය
6 මහනුවර කොළඹ දකුණ කණ්ඩායමට ලකුණු 80ක ජයක්.

මෙවර ද කණ්ඩායම් 5ක් එක් ව පැවැති මෙම තරගාවලිය තරග 13කින් සමන්විත වූවා. තරගාවලියේ පළමු වටය අවසන් වන විට කොළඹ දකුණ, මහනුවර, ගාල්ල, කොළඹ උතුර සහ දඹුල්ල යන කණ්ඩායම් පිළිවෙලින් ප්‍රසාද ලකුණු පුවරුවේ ස්ථාන හිමි කර ගෙන සිටියා. ඒ අනුව පළමු ස්ථාන ද්විත්වය දිනා ගත් කොළඹ දකුණ සහ මහනුවර කණ්ඩායම් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත් අතර ඒ වෙද්දී පළමු වටයේ දී ද මහනුවර ක්‍රීඩකයෝ කොළඹ දකුණ ක්‍රීඩකයන්ට පරාජය වී තිබුණා. එම පරාජයෙන් අනතුරු ව නැවත වතාවක් මහනුවර ක්‍රීඩකයන් පරාජය කරමින් කොළඹ දකුණ ක්‍රීඩකයෝ Prima වයස අවුරුදු 15න් පහළ ශූරයන් බවට පත් වුණා.

තරගාවලියේ යවනු ලැබූ පන්දු 5636න් ශතකයක් සහ අර්ධ ශතක 9ක් සමඟින් ලකුණු 3628ක් ලබා ගැනීමටත් කඩුලු 212ක් දවා ගැනීමට මේ යොවුන් ක්‍රීඩකයෝ සමත් වෙන අතර තරගාවලියට හයේ පහර 96ක් සහ හතරේ පහර 233ක් ද එක් වෙනවා.

එලෙසින් දක්ෂතා දැක් වූවන් ගැන තැබෙන කෙටි සටහනක් මේ.

තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – ශතිර දෙනුවන් (මහනුවර)

Prima U 15 Sri Lanka Youth League 2025

මහනුවර, සාන්ත අන්තෝනි විද්‍යාලය නියෝජනය කරමින් මහනුවර කණ්ඩායම හා එක් වූ ශතිර දෙනුවන් මෙවර තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා බවට පත් වෙන්නේ තරග 6ක දී කඩුලු 16ක් ලබා ගනිමින් පෑ දක්ෂතා හේතුවෙනුයි. වමතින් දඟ පන්දු යවන සතිර මෙවර තරගාවලියේ වැඩිම කඩුලුලාභියා බවට ද පත් වුණා.

ඔහුගේ මෙම ඉනිම් අතර දඹුල්ල කණ්ඩායමට එරෙහි ව ලකුණු 08කට ලබා ගත් කඩුලු 5ක් ද තිබෙනවා. එය මෙවර තරගාවලියේ හොඳම පන්දු යැවීම බවට ද වාර්තා වූවා.

  • තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා සහ තරගාවලියේ දක්ෂතම පිතිකරු – ගෙසඳු බිසස් (ගාල්ල)

Prima U 15 Sri Lanka Youth League 2025

ගාල්ල මහින්ද විද්‍යාලය නියෝජනය කරමින් ගාල්ල කණ්ඩායම හා එක් වූ ගෙසඳු බිසස් මෙවර තරගාවලියේ තුන් ඉරියව්වෙන් පෑ දක්ෂතා හේතුවෙන් තරගාවලියේ දක්ෂතම පිතිකරු සේ ම තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙසින් ද සම්මානය පාත්‍ර වූවා.

ඔහු නිමා වූ මෙම තරගාවලියේ දී තරග 5ක දී ලකුණු 202ක් සහ කඩුලු 9ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.

පිතිකරුවෙක් ලෙසින් පෑ දක්ෂතා අතර මහනුවර කණ්ඩායමට එරෙහි ව පන්දු 39ක දී හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලබා ගත් ලකුණු 55ක් ද සහ කොළඹ දකුණ කණ්ඩායමට එරෙහි ව පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලබා ගත් ලකුණු 52ක් ද ඇතුලත්. ඊට අමතර ව ඔහු විසින් ලබා ගත් ලකුණු අතරට හතරේ පහර 21ක් සහ හයේ පහර 5ක් තම ඉනිම්වලට ඇතුලත් කර ගැනීමට සමත් වූ අතර ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 40.4ක් ලෙසින් පවත්වාගෙන යෑමට ද සමත් වූවා.

දකුණතින් මඳ වේග පන්දු යවන ගෙසඳු බිසස් මෙම තරගාවලියේ දී ලබා ගත් කඩුලු අතුරින් ලකුණු 26කට කඩුලු 3ක් දවා ගනිමින් හොඳ ම පන්දු යැවීම වාර්තා කිරීමට සමත් වෙනවා.

තරගාවලියේ වැඩිම හතරේ පහර එල්ල ක්‍රීඩකයා බවට ද පත් වූයේ ගෙසඳු බිසස්.

  • අවසන් මහා තරගයේ වීරයා – රනුද රණසිංහ (කොළඹ දකුණ)

Prima U 15 Sri Lanka Youth League 2025

කොළඹ, රාජකීය විද්‍යාලය විද්‍යාලය නියෝජනය කරමින් කොළඹ දකුණ කණ්ඩායම හා එක් වූ රනුද රණසිංහ අවසන් මහා තරගයේ වීරයා බවට පත් වෙන්නේ පිතිකරුවෙක් ලෙසත් සහ කඩුල්ල පිටුපස සිටිමින් පෑ දක්ෂතාත් හේතුවෙනුයි.

ඔහු සම්මාන ලැබූ අවසන් ඉනිමේ දී චෙනුක මිත්සර සමඟ එක් වෙමින් 5 වැනි කඩුල්ලට පන්දු 74ක දී ලකුණු 43ක් ද සහ හමීඩ් අෆ්ඩාල් සමඟ එක් වෙමින් 6 වැනි කඩුල්ලට පන්දු 28ක දී ලකුණු 28ක සබඳතාවක් ද ගොඩ නගනවා. ඔහුගේ එම ඉනිම නිමා වෙන්නේ පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලබා ගත් ලකුණු 33කින්.

ඔහු නිමා වූ තරගාවලියේ දී තරග 5ක ඉනිම් 4ක දී ලකුණු 81ක් ලබා ගන්නා ලද අතර එම ලකුණු අතර පැවැති වැඩිම ලකුණු සංඛ්‍යාව බවට පත් වූයේ ද මෙම අවසන් ඉනිමේ දී රැස් කළ ලකුණු සංඛ්‍යාවයි.

එම තරගයේ දී ඔහු කඩුල්ල පිටුපස සිටිමින් උඩ පන්දු 4ක් රැක ගන්තා.

තරගාවලියේ සුවිශේෂී කඩඉම්

265/10 : තරගාවලියේ කණ්ඩායමක් ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වෙන්නේ කොළඹ දකුණ කණ්ඩායම මහනුවර කණ්ඩායමට එරෙහි ව ලබා ගත් මෙම ලකුණු සංඛ්‍යාවයි.

65/10 : තරගාවලියේ අඩු ම ලකුණු ප්‍රමාණයකට දැවී ගිය කණ්ඩායම බවට පත් වෙන්නේ දඹුල්ල කණ්ඩායමයි. ඔවුන් මේ අවාසනාවන්ත ඉනිම ක්‍රීඩා කරන්නේ මහනුවර කණ්ඩායම හමුවේයි.

87 : තරගාවලියේ වැඩිම ලකුණු පරතරයකින් ජයග්‍රහණය කළ කණ්ඩායම බවට පත් වෙන්නේ කොළඹ දකුණ කණ්ඩායමයි. ඔවුන් එම දක්ෂතාව සිදු කරන්නේ මහනුවර කණ්ඩායමට එරෙහිවයි.

443 : තරගාවලියේ තරගයක දී කණ්ඩායම් 2 ම එක් ව ලබා ගත් වැඩිම ලකුණු එකතුව වන්නේ කොළඹ දකුණ සහ මහනුවර කණ්ඩායම් එක් ව පළමු වටයේ දී ලබා ගත් ලකුණු සංඛ්‍යාවයි.

202 : තරගාවලියේ වැඩිම ලකුණුලාභියා බවට පත් වූයේ ගාල්ල කණ්ඩායමේ ගෙසඳු බිසස්. ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ තරග 5ක ඉනිම 5කට එක් වෙමින්.

101* : තරගාවලියේ ඉනිමක වැඩිම ලකුණුලාභීයා වූයේ දිසස් බණ්ඩාර. ඔහු මෙම දක්ෂතා සිදු කරන්නේ කොළඹ උතුර කණ්ඩායමට එරෙහිවයි.

තරගාවලියේ එක ම ශතකලාභියා ද ඔහු මාතලේ ජාත්‍යන්තර පාසල නියෝජනය කරමින් දඹුල්ල කණ්ඩායම හා එක් වූවා. ඔහුගේ මෙම ඉනිම පන්දු 106කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 10ක් සහ හයේ පහර 5ක් එක් කිරීමට ද ඔහු සමත් වුණා.

6s : තරගාවලියේ වැඩිම හයේ හර එල්ල කළ ක්‍රීඩකයා වෙන්නේ දඹුල්ල කණ්ඩායම නියෝජනය කළ පබසර වනසිංහ. ඔහු තරග 4ක දී හයේ පහර 9ක් එල්ල කරමින් මෙම ලැයිස්තුවේ පළමු වැනියා බවට පත් වෙනවා.

 4s : තරගාවලියේ වැඩිම හතරේ පහර එල්ල කළ ක්‍රීඩකයා බවට පත් වූයේ ගාල්ල කණ්ඩායමේ ගෙසඳු බිසස්. ඔහු තරග 5ක දී හතරේ පහර 21ක් එල්ල කරමින් මෙම ලැයිස්තුවේ පළමු වැනියා බවට පත් වෙනවා.

22 : තරගාවලියේ වේගවත් ම අර්ධ ශතකය වාර්තා කිරීමේ ගෞරවය හිමි වෙන්නේ දඹුල්ල කණ්ඩායමේ පබසර වනසිංහට. ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ ගාල්ල කණ්ඩායමට එරෙහිවයි. එම ඉනිමට හතරේ පහර 7ක් සහ හයේ පහරක් ඇතුලත් වෙනවා.

16 : තරගාවලියේ වැඩිම කඩුලුලාභියා බවට පත් වෙන්නේ මහනුවර කණ්ඩායමේ ශතිර දෙනුවන්.

5/08 : තරගාවලියේ හොඳම පන්දු යැවීමේ වාර්තා කරන්නේ ද මහනුවර කණ්ඩායමේ ශතිර දෙනුවන්. ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ දඹුල්ල කණ්ඩායමට එරෙහිවයි.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<