ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 140ක ජයක්

New Zealand A tour of Sri Lanka

4

ශ්‍රී ලංකා සහ නවසීලන්ත A ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු එක්දින සීමිත පන්දුවාර තරගයෙන් ලකුණු 140ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සමත් වෙනවා.  

නවසීලන්ත A කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට දින නියම වෙයි

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී (5) පැවැති මෙම තරගයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ නවසීලන්ත නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 261ක් ලබා ගන්නා ලද අතර ඊට පිළිතුර ඉනිමට පිටියට පිවිසි නවසීලන්ත ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 121ක් පමණයි.  

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු කමිල් මිෂාර. ඔහු පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 71ක් ලබා ගන්නවා.  

ඊට අමතර ව ඔහු නුවනිඳු ප්‍රනාන්දු (8) හා එක් ව 2 වැනි කඩුල්ලට ලකුණු 40ක සබඳතාවක් ද සහ පවන් රත්නායක (16) හා එක් ව 3 වැනි කඩුල්ලට ලකුණු 31ක සබඳතාවක් ද ගොඩ නගනවා.  

ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 5ක් දැවී ලකුණු 126ක් බවට පත් ව තිබිය දී 6 වැනි කඩුල්ලට එක් වූ සහන් ආරච්චිගේ සහ මිලාන් රත්නායක එම කඩුල්ලට ලකුණු 110ක සබඳතාවක් ගොඩ නගනවා.  

එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ නායක සහන් ආරච්චගේ ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන විට පන්දු 81කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 66ක් ලබා සිටියා.  

මිලාන් රත්නායක 8 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 89කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 53ක් ලබා සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී Kristian Clarke සහ Adithya Ashok අතරේ කඩුලු ද්විත්වය බැගින් බෙදීගිය අතර ඊට අමතර ව තවත් කඩුලු 5ක් පන්දු යවන්නන් 5 දෙනෙක් අතරේ බෙදී ගියා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නවසීලන්ත ඉනිමේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 51ක සබඳතාවක් ගොඩ නැගීමට Rhys Mariu සහ Dale Phillips සමත් වෙනවා. ඔවුන් අතුරින් Dale Phillips පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 30ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වෙද්දී Rhys Mariu පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 19ක් ලබා ගත්තා.  

නවසීලන්ත ඉනිම තවත් පන්දු 128ක් ඉතිරි ව තිබිය දී අවසන් වෙද්දී Kristian Clarke පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 18ක් ලබා සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී වනුජ සහන් ලකුණු 13කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව සොනාල් දිනූෂ කඩුලු 2ක් ද සහ රවිඳු ප්‍රනාන්දු කඩුල්ලක් ද දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • ශ්‍රී ලංකාක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 261 (49.2) කමිල් මිෂාර 71, සහන් ආරච්චිගේ 66, මිලාන් රත්නායක 53, Kristian Clarke 2/42, Adithya Ashok 2/45 
  • නවසීලන්තක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 121 (28.4) Dale Phillips 30, වනුජ සහන් 5/13, සොනාල් දිනූෂ 2/10 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 140ක ජයක්.  

දෙරට කණ්ඩායම් අතර පැවැත්වෙන 2 වැනි එක්දින සීමිත පන්දුවාර තරගය මේ මස 8 වැනිදා හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.  

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<