ශිරාන්, අහන් සහ නිමේෂ පළමු පෙළ සුවිශේෂී කඩඉම්වලට

5
Major Club 03 Day League Tournament 2025

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ පළමු දිනයේ තම පළමු පෙළ ක්‍රිකට් දිවියන් තුළ සුවිශේෂී කඩඉම්වලට පිවිසීමට ශිරාන් ප්‍රනාන්දු, අහන් වික්‍රසිංහ සහ නිමේෂ ගුණසිංහ සමත් වෙනවා.

>>Major Club සුපිරි 8 වටයේ තරග අද සිට<<

Police SC සහ BRC අතර තරගය කොළඹ CCC පිටියේ දී.

කාසියේ වාසිය – Police SC

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි BRC කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 180ක් පමණයි.

ඔවුන් ඒ තරමින් අසරණ කිරීමේ දී දිලුම් සුදීර ලකුණු 85කට කඩුලු 5ක් ද සහ නලින් ප්‍රියදර්ශන ලකුණු 16කට කඩුලු 3ක් ද දවා ගන්නවා.

එම ඉනිමේ කඩුලු 6ක් ලකුණු 75කට දැවී ගොස් තිබිය දී මොවින් සුබසිංහ සහ යසිරු රොද්‍රිගෝ එක් ව 7 වැනි කඩුල්ලට පන්දු 107ක දී ලකුණු 75ක සබඳතාවක් ගොඩ නගනවා. එහි දී ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙමින් මොවින් සුබසිංහ පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 65ක් ලබා ගත්තා.

යසිරු රොද්‍රිගෝ ලබා ගත් ලකුණු සංඛ්‍යාව 24ක්. ඊට පන්දු 81ක් වැය කරන ලද අතර හතරේ පහර 2ක් ද ඊට ඇතුලත් කරනවා.

පිළිතුරු Police ඉනිමේ දී ආරම්භක පිතිකරු ධනුජ ඉඳුවර පන්දු 121කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 73ක් ලබා සිටියා.

තරගය පළමු දිනයට නතර කරන විට ඔහුත් සමඟින් අනෙක් අන්තයේ සිටි නායක අශේන් බණ්ඩාර පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 21ක් ලබා සිටි අතර ඔවුන් දෙදෙනා එක් ව මේ වන විට 4 වැනි කඩුල්ලට පන්දු 117ක දී නොදැවුණ ලකුණු 56ක් එක් කර තිබෙනවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

BRC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 180 (53.0) හෂාන් දුමිඳු 24, මොවින් සුබසිංහ 65, යසිරු රොද්‍රිගෝ 24, නලින් ප්‍රියදර්ශන 3/16, දිලුම් සුදීර 5/85

 

Police SC – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 132 (37.0) ධනුජ ඉඳුවර නොදැවී 73, රශ්මික හිරුශාන් 22, අශේන් බණ්ඩාර නොදැවී 21

Police කණ්ඩායම ලකුණු 48ක් පිටුපසින්.

CCC සහ NCC අතර තරගය කොළඹ Colts පිටියේ දී.

කාසියේ වාසිය – NCC

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගත් NCC ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 274ක් ලබා ගන්නවා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ අහන් වික්‍රමසිංහ. ඔහු පන්දු 134කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 102ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 8 වැනි ශතකය වූ අතර ඒ සමඟින් ඔහු පළමු පෙළ ලකුණු 3000 කඩඉමට පිවිසීමට ද සමත් වෙනවා.

ඔහුට අමතර ව ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 58ක් ලබා ගන්නා ලද අතර ඔවුන් දෙදෙනා එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 125ක දී ලකුණු 100ක සබඳතාවක් ද ගොඩ නගනවා.

තරගය පළමු දිනයට නතර කරන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන CCC ක්‍රීඩකයෝ කඩුල්ලක් දැවී ලකුණු 40ක් ලබා සිටියා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 274 (70.5) නිරෝෂන් දික්වැල්ල 58, අහන් වික්‍රමසිංහ 102, චාමික කරුණාරත්න 39, චාමික ගුණසේකර 26, දුවිඳු රණතුංග 3/44, නිශාන් පීරිස් 2/64, සොනාල් දිනූෂ 2/49

 

CCC – පළමු ඉනිම කඩුල්ලක් දැවී 40 (6.0) ලසිත් කෲස්පුල්ලේ නොදැවී 23

CCC කණ්ඩායම ලකුණු 234ක් පිටුපසින්.

කාසියේ වාසිය – Moors SC

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Colts කණ්ඩායමේ පළමු කඩුලු 5 ලකුණු 76කට දැවී ගොස් තිබිය දී 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 175ක දී ලකුණු 141ක සබඳතාවක් ගොඩ නැගීමට මුදිත ලක්ෂාන් සහ දනංජය ලක්ෂාන් සමත් වෙනවා.

එම සබඳතාව බිඳී යන්නේ නායක ධනංජය ලක්ෂාන් ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන විට පන්දු 91කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 79ක් ලබා සිටියා.

මුදිත ලක්ෂාන් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 69ක්. ඒ වෙනුවෙන් ඔහු පන්දු 92කට මුහුණ දුන් අතර හතරේ පහර 7ක් සහ හයේ පහරක් ඊට ඇතුලත් කළා.

කඩුලු දවා ගැනීමේ දී දකුණතින් මඳ වේග පන්දු යවන ශිරාන් ප්‍රනාන්දු ලකුණු 46කට කඩුලු 5ක් දවා ගන්නවා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ හොඳම පන්දු යැවීම බවට ද පත් වුණා.

ඔහුට අමතර ව මිලාන් ප්‍රනාන්දු ද කඩුලු 3ක් දවා ගත්තා.

තරගයේ පළමු දිනය අවසන් වන විට Moors කණ්ඩායම ලබා සිටි ලකුණු සංඛ්‍යාව කඩුල්ලක් දැවී 40ක්.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Colts CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 288 (63.3) දිනේෂ් චන්දිමාල් 20, දනංජය ලක්ෂාන් 79, මුදිත ලක්ෂාන් 69, යොහාන් මෙන්ඩිස් 31, අකිල ධනංජය 26, මිලාන් රත්නායක 3/63, ශිරාන් ප්‍රනාන්දු 5/46

 

Moors SC – පළමු ඉනිම කඩුල්ලක් දැවී 40 (11.0) ජනිශ්ක ප්‍රනාන්දු නොදැවී 20

Moors කණ්ඩායම ලකුණු 248ක් පිටුපසින්.

Bloomfield C & AC සහ Ace Capital CC අතර තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Ace Capital CC

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Ace Capital ක්‍රීඩකයෝ තරගයේ පළමු දිනය අවසන් කරන්නේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 338ක් ලබා ගනිමිනුයි.

එම ඉනිම ආරම්භ කළ පවන්ත වීරසිංහ සහ නිමේෂ ගුණසිංහ එක් ව 1 වැනි කඩුල්ලට පන්දු 200කට මුහුණ දෙමින් ලකුණු 114ක් ලබා ගත්තා. පවන්ත වීරසිංහ ආබාධිත තත්ත්වයක් හේතුවෙන් එම කඩුල්ලට තිත තබමින් පිටියෙන් ඉවත් ව යන අතර ඒ වෙද්දී ඔහු පන්දු 107කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 65ක් ලබා සිටියා.

තරගය පළමු දිනයට නතර කරන විට නිමේෂ ගුණසිංහ නොදැවී ලකුණු 148ක් ලබා සිටියා. පන්දු 272ක් වැය ව තිබූ එම ඉනිමට හතරේ පහර 15ක් ද එක් කිරීමට ඔහු වගබලා ගත්තා.

එම ඉනිම ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 3 වැනි ශතකය වූ අතර මේ වෙද්දී එම ඉනිම ඔහුගේ පළමු පෙළ තරග දිවියේ හොඳම ඉනිම බවට ද පත් ව තිබෙනවා.

ඔහුට අමතර ව කවිඳු කුලසේකර ද මේ වෙද්දී පන්දු 102කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 54ක් ලබා ගනිමින් පිටියේ රැඳී සිටිනවා.

මේ වෙද්දී නිමේෂ ගුණසිංහ සහ කවිඳු කුලසේකර එක් ව සිව් වැනි කඩුල්ලට පන්දු 209ක දී නොදැවී ලකුණු 133ක සබඳතාවක් ගොඩ නගා තිබෙනවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Ace Capital CC – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 338 (90.0) පවන්ත වීරසිංහ 65, නිමේෂ ගුණසිංහ නොදැවී 148, තීරක රණතුංග 36, කවිඳු කුලසේකර නොදැවී 54, රවිඳු ප්‍රනාන්දු 2/75

මෙම තරග සියල්ල අද (7) 2 වැනි දිනයටත් ක්‍රියාත්මකයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<