ඉන්දියාව ලෝක ශූරියන්ගේ ලැයිස්තුව ආක්‍රමණය කරයි

ICC Women's World Cup

109

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරග ඉතිහාසයේ පළමුවරට ලෝක ශූරියන් බවට පත් වීමට ඉන්දීය ක්‍රීඩිකාවෝ (02) සමත් වෙනවා. ඔවුන් අවසන් මහා තරගයේ දී දකුණු අප්‍රිකාව ලකුණු 52කින් පරාජය කරමිනුයි මෙම ස්වර්ණමය අවස්ථාව උදාකර ගත්තේ.  

ඉන්දීය කණ්ඩායම මීට පෙර 2005 වසරේ දී සහ 2017 වසරේ දී අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලබා ගෙන තිබුණ ද ඔවුන්ට ඒ අවස්ථා ද්විත්වයේ ම සිදු වූයේ අනුශූරතාවෙන් සෑහීමකට පත් වීමටයි. කාන්තා ලෝක කුසලාන තරග ඉතිහාසයේ දකුණු අප්‍රිකානු කණ්ඩායමක් අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලබාගත් පළමු අවස්ථාවයි මේ.

Navi Mumbai හී DY Patil ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී කාසියේ වාසිය උරාගා බැලීමට විනාඩි 40කට පමණ පෙර පැවැති වර්ෂාව හේතුවෙන් තරගයේ ආරම්භය ප්‍රමාද වූවා. එම ප්‍රමාදය පැය 2ක කාලයක්. එසේ වූවත් තරගයේ පන්දුවාර ප්‍රමාණයේ කිසිදු වෙනසක් සිදු නොකරමින් පැවැත්වීමට සංවිධායකයන්ගේ තීරණය වුණා.  

ඒ අනුව උරගා බැලුණ කාසියේ වාසිය දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ සතුකර ගත් අතර ඔවුන් පළමුව පන්දු යැවීම තෝරා ගත්තා. ඔවුන්ගේ ආරාධනාව අනුව පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩිකාවෝ කඩුලු 7ක් දැවී ලකුණු 298ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් දකුණු අප්‍රිකා ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 246ක් පමණයි.  

ඉන්දියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම 

Harmanpreet Kaur (නායිකාව), Shafali Verma, Smriti Mandhana, Jemimah Rodrigues, Amanjot Kaur, Deepti Sharma, Richa Ghosh (කඩුලු රකින්නිය), Radha Yadav, Kranti Gaud, Shree Charani, Renuka Singh. 

 

දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම 

Laura Wolvaardt (නායිකාව), Tazmin Brits, Sune Luus, Annerie Dercksen, Marizanne Kapp, Anneke Bosch, Sinalo Jafta (කඩුලු රකින්නිය), Chloe Tryon, Nadine de Klerk, Ayabonga Khaka, Nonkululeko Mlaba. 

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩිකාවෝ පළමු පන්දුවේ සිට ම දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීම අරමුණු කර ගනිමින් පිතිකරණයේ යෙදෙනු දක්නට ලැබුණා. ඒ අනුව එම ඉනිමේ දැවී ගිය සෑම ක්‍රීඩිකාවක් ම ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකින් තම කණ්ඩායමට දායකත්වය දැක් වූවා.  

ඒ අතුරින් වැඩිම ලකුණුලාභිනිය වූයේ ආරම්භක පිතිකාරිනී Shafali Verma. ඇය පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 87ක් ලබා ගන්නවා. ඇය අනෙක් ආරම්භක පිතිකාරිනී Smriti Mandhana හා එක් ව පළමු කඩුල්ලට එක් කළ ලකුණු සබඳතාව 104ක් 

එහි දී Smriti Mandhana පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 45ක් ලබා ගත්තා. ඇය ගේ දැවී යෑමෙන් අනතුරු ව Shafali Verma 2 වැනි කඩුල්ලේ දී ද Jemimah Rodrigues හා එක් ව ලකුණු 62ක සබඳතාවක් ගොඩ නගනවා. Jemimah Rodrigues ලබා ගත් ලකුණු සංඛ්‍යාව 24ක්. ඊට පන්දු 37ක් වැය වූ අතර හතරේ පහරක් ද ඒ අතර තිබුණා.

මැද පෙළින් පිටියට පිවිසි Deepti Sharma අවසන් කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවත් ව යද්දී පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 58ක් ලබා තිබුණා.  

ඔවුන්ට අමතර ව Richa Ghosh පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 34ක් ද සහ නායිකා Harmanpreet Kaur පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 20ක් ද ඉන්දීය ඉනිම වෙනුවෙන් එක් කළා.  

කඩුලු දවා ගැනීමේ දී Ayabonga Khaka ලකුණු 58කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Chloe Tryon, Nonkululeko Mlaba සහ Nadine de Klerk කඩුල්ල බැගින් දවා ගත්තා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකානුවන් ද තම ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා ගන්නවා. ඉනිම ආරම්භ කළ නායිකා Laura Wolvaardt සහ Tazmin Brits එක් ව පළමු කඩුල්ලට ලකුණු 51ක සබඳතාවක් ගොඩනගනවා. එම සබඳතාව ගිලිහී යන්නේ Tazmin Brits ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඇය පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 23ක් ලබා සිටියා.  

අනතුරු ව ඔවුන්ගේ 2 වැනි කඩුල්ල වේලාසනින් ම දැවී ගිය ද නැවත 3 වැනි කඩුල්ලට ලකුණු 52ක සබඳතාවක් එක් කිරීමට Laura Wolvaardt සහ Sune Luus සමත් වෙනවා. Sune Luus පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 25කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව ද ගිලිහී යනවා. 

නැවත ඔවුන්ගේ ඉනිමේ අඩ ශතක සබඳතාවක් ගොඩ නැගෙන්නේ Laura Wolvaardt සහ Annerie Dercksen අතරේයි. ඔවුන් දෙදෙනා 6 වැනි කඩුල්ල ලෙසින් ලකුණු 61ක සබඳතාවක් ගොඩ නගනවා. එහි දී Annerie Dercksen ගේ දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව ද බිඳ වැටෙනවා. ඒ වෙද්දී ඇය පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 35ක් ලබා සිටියා.

ඉන් අනතුරු ව කඩුල්ලේ දී එතෙක් වේලා දකුණු අප්‍රිකානු පිලේ නැංගුරම බවට පත් වෙමින් සිටි නායිකා Laura Wolvaardt දැවී යනවා. ඇය දැවී යන විට පන්දු 98කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 101ක් ලබා සිටියා.  

එය ඇයගේ එක්දින ජාත්‍යන්තර තරග පිටියේ 11 වැනි ශතකය වූ අතර මෙවර ලෝක කුසලාන තරගාවලියේ පිට පිට රැස් කළ 2 වැනි ශතකයයි.  

ඇය ගේ දැවී යෑමෙන් අනතුරු ව Nadine de Klerk දකුණු අප්‍රිකා ඉනිම නැවත ගොඩ නැගීමට උත්සාහ කළ ද ඉනිමේ තවත් පන්දු 27ක් ඉතිරි ව තිබිය දී ඇය ගේ ඉනිම  දකුණු අප්‍රිකානු ඉනිමේ අවසන් කඩුල්ල ලෙසින් අවසන් වෙනවා. ඒ වෙද්දී ඇය පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 18ක් ලබා සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී Deepti Sharma ලකුණු 39කට කඩුලු 5ක් දවා ගත් අතර එය ඇයගේ 121ක් වන එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ කඩුලු 5ක් දවා ගත් සිව් වැනි අවස්ථාවයි. ඇය ට අමතර ව Shafali Verma කඩුලු 2ක් ද සහ Shree Charani කඩුල්ලක් ද දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව  

ඉන්දීයකාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 7ක් දැවී 298 (50.0) Smriti Mandhana 45, Shafali Verma 87, Jemimah Rodrigues 24, Harmanpreet Kaur 20, Deepti Sharma 58, Richa Ghosh 34, Ayabonga Khaka 4/58 

 

දකුණු අප්‍රිකාකාන්තා ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 246 (45.3) Laura Wolvaardt 101, Tazmin Brits 23, Sune Luus 25, Annerie Dercksen 35, Deepti Sharma 5/39 

 

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 52ක ජයක්.  

  • තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – Shafali Verma (ඉන්දියාව) 
  • තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව – Deepti Sharma (ඉන්දියාව) 

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<