වාර්තා රැසක් සමඟ ශ්‍රී ලංකා යෞවනයින් පළමු තරගයෙන් දැවැන්ත ජයක් ලබයි

ICC Men's 19 World Cup 2026

133
Icc men's u19 world cup 2026 sri lanka vs Japan

2026 19 පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගය අද (17) ජපානය සමඟ පැවැත්වුණා.

නැමීබියාවේ Windhoek ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය ජපානය සතු වූ අතර, ඔවුන්ගේ ආරාධනයෙන් යුතුව ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට පිටියට අවතීර්ණ වුනා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම ආරම්භ කිරීමේ වගකීම දිමන්ත මහවිතාන සහ විරාන් චමුදිත සතු වූ අතර, ඔවුන් දෙදෙනා විසින් සිය වගකීම අකුරට ඉටු කරමින් පන්දුවාර 43 පන්දු 5ක් නොකඩවා පිතිකරණයේ යෙදෙමින් වාර්තාගත සබඳතාවක් ගොඩ නැගීමට සමත් වීම විශේෂත්වයක්.

ඔවුන් දෙදෙනා විසින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 328ක් එක් කිරීමට සමත් වූ අතර, එය 19න් පහළ ක්‍රිකට් ඉතිහාසයේ ඕනෑම කඩුල්ල වෙනුවෙන් වාර්තා වූ ඉහළම ලකුණු සබඳතාව ලෙස සටහන් වූ අතර, ඊට අමතරව මෙතෙක් ඉතිහාසයේ ලකුණු 300 ඉක්මවමින් ක්‍රියාත්මක වූ දෙවැනි සබඳතාව ලෙස ද සටහන් වුනා.

මේ වෙනුවෙන් දිමන්ත මහවිතානගේ පිත්තෙන් ලකුණු 115ක් එක් වූ අතර, පන්දු 125ක් තුළ වාර්තා වූ එම ඉනිමට හතරේ පහර 11ක් අන්තර්ගත වුනා. ඉනිමේ පළමු කඩුල්ල ලෙස දිමන්ත දැවී ගිය අතර, ඉන් මොහොතකට පසුව එතෙක් වෙලා අග්‍රගණ්‍ය ඉනිමක් දියත් කරමින් සිටි විරාන් චමුදිත සිය ඉනිම ලකුණු 192කින් අවසන් කළා.

විරාන්ගේ ඉනිම සඳහා පන්දු 143ක් පමණක් වැය වූ අතර, ඒ වෙනුවෙන් හතරේ පහර 26ක් සහ එක් හයේ පහරක් ද එක්ක කිරීමට ඔහු සමත් වුනා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් යොවුන් පිතිකරුවකු ලබා ගත් ඉහළම ලකුණු ප්‍රමාණය ලෙස මෙය සටහන් වූ අතර, ඊට අමතරව යොවුන් ලෝක කුසලාන ඉතිහාසයේ ක්‍රීඩකයකු විසින් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස ද මෙය වාර්තා අතරට එක් වුනා. මීට පෙර මෙම වාර්තා ද්විත්වයම ශ්‍රී ලංකා පිතිකරු හසිත බෝයගොඩ සතු වූ අතර, ඔහු විසින් කෙන්යාවට එරෙහිව ලකුණු 191ක් ලබා ගැනීමට සමත් වී තිබුණා.

ඔවුන් දෙදෙනාගේ දැවී යාමෙන් අනතුරුව ශ්‍රී ලංකා නායක විමත් දින්සර විසින් ශ්‍රී ලංකා ඉනිමට අවශ්‍ය වූ වේගවත් අවසානය ලබා දෙමින් පන්දු 24ක් තුළ එක් හතරේ පහරක් සහ හයේ පහර දෙකක් එල්ල කරමින් ලකුණු 44ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඒ අනුව ශ්‍රී ලංකා යෞවනයින් විසින් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 387ක් ලබා ගැනීමට සමත් වුනා.

මෙම ලකුණු සංඛ්‍යාව 19න් පහළ ලෝක කුසලාන ඉතිහාසයේ එක් ඉනිමක වාර්තා වූ 09 වැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස ද වාර්තා අතරට එක් වීම විශේෂත්වයක්.

ජපානය වෙනුවෙන් පන්දු යැවීමෙන් යම් පමණකට හෝ සාර්ථක වූ Timothy Moore විසින් කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා.

මින් පසුව ශ්‍රී ලංකාවෙන් ලද දැවැන්ත ඉලක්කය හඹා යාම වෙනුවෙන් ජපන් පිතිකරුවන් පිටියට පිවිසුණු නමුත්, ඔවුන්ට සාර්ථක ලෙස සිය ලකුණු හඹා යාමේ සිහිනය සැබෑ කර ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

විශේෂයෙන්ම ජපන් පිතිකරුවන්ට සබඳතා ගොඩ නංවා ගනිමින් ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යාමට ඉඩ ලබා නොදුන් ශ්‍රී ලංකාව වරින් වර ජපන් පිතිකරුවන් දවා ගැනීමට සමත් වුනා.

ජපානය වෙනුවෙන් ඉලක්කම් දෙකේ ලකුණු වාර්තා කිරීමට සමත් වුනේ පිතිකරුවන් සිව් දෙනෙකු පමණක් වන අතර, ඒ අතුරිනුත් ලකුණු 25 සීමාව ඉක්මවා යාමට සමත් වුනේ Hugo Kelly පමණක් වීම විශේෂත්වයක්.

ජපන් ඉනිමේ අංක තුන පිතිකරු ලෙස පිටියට පිවිසුණු Kelly විසින් ඉනිම අවසන් වන තෙක් නොදැවී කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 162ක් තුළ ලකුණු 101ක් ලබා ගැනීමට සමත් වූ අතර, එම සහය ද සමඟ ජපානය විසින් නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 184ක් ලබා ගැනීමට සමත් වුනා.

මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යවන්නන් 08 දෙනෙකු පන්දු යැවීමේ කාර්ය භාරය ඉටු කළ අතර, ඉන් හය දෙනෙකු ම එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වීම සුවිශේෂී සිදුවීමක්.

මේ අතුරින් විශිෂ්ට ශතකයක් ලබා ගත් විරාන් චමුදිත විසින් පන්දුවාර 09ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 17ක් පමණක් ලබා දෙමින් එක් කඩුල්ලක් දවා ගත් දක්ෂතාව නැවතත් කැපී පෙනුණා.

ඒ අනුව ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් මෙම තරගයෙන් ජපානයට එරෙහිව ලකුණු 203ක දැවැන්ත ජයක් වාර්තා කළා.

එමෙන්ම ඔවුන් මෙම ජයත් සමඟින් A කාණ්ඩයේ ලකුණු සටහනේ පළමු ස්ථානයට පත් වන්නේ ඕස්ට්‍රේලියාව දෙවැනි තැනට ඇද දමමිනුයි.

ශ්‍රී ලංකාව මුහුණ දෙන මීළඟ තරගය එළඹෙන සඳුදා (19) අයර්ලන්තය සමඟ පැවැත්වීමට නියමිතයි.

19න් පහළ ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ ව සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<