Cabo Verde පාපන්දු ලෝක කුසලාන ඉතිහාසය වෙනස් කරයි!

FIFA World Cup 2026

10

2026 පාපන්දු ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමට අප්‍රිකානු රටක් වන Cabo Verde (Cape Verde) ඊයේ (13) සමත් වුනා. 

මෙම සුදුසුකම් ලබා ගැනීම මේ වන විට ලොව පුරා පැතිර යන උණුසුම් පුවතක් බවට පත් වී ඇති අතර, එසේ විශේෂ වටිනාකමක් මෙම පුවතට එක් වීමට හේතුව වන්නේ පාපන්දු ලෝක කුසලාන වරම් ලද ජනගහණය අතින් ලොව දෙවැනියට කුඩාම රට බවට Cabo Verde පත් වීම නිසායි. 

එමෙන්ම මීළඟ ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීම සඳහා අප්‍රිකානු මහද්වීපය නියෝජනය කළ රටවල් 54ක් අතුරින් Cabo Verde මෙසේ ලෝක කුසලාන වරම් ලබන්නේ අප්‍රිකානු මහද්වීපයේ කැපී පෙනෙන පාපන්දු දේශයක් වන කැමරූන් දේශය පවා අබිබවා යමිනුයි. 

මහද්වීපික සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ D කාණ්ඩය නියෝජනය කළ Cabo Verde කණ්ඩායම විසින් කැමරූන් දේශයට එරෙහිව ගෝල 1-0ක ජයක් වාර්තා කිරීමට සමත් වූ අතර, ඊයේ Eswatini දේශය සමඟ පැවැත්වුණු තරගයේ දී ගෝල 3-0ක ජයක් වාර්තා කරමින් ලෝක කුසලානයට නිල වශයෙන් ම සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා. 

පාපන්දු ලෝක කුසලාන වරම් ලද ජනගහනයෙන් අඩුම රට ලෙස අයිස්ලන්තය වාර්තා පොත් අතරට එක් වුනේ 2018 වසරේ දීයි. Cabo Verde විසින් ඊයේ දිනයේ මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය හිමි කරගත් අතර, ඊට අමතරව පාපන්දු ලෝක කුසලාන වරම් ලද වර්ග ප්‍රමාණයෙන් කුඩාම රාජ්‍යය බවට පත් වීමට ද සමත් වුනා. 

වර්ග කිලෝමීටර් 4000ක කුඩා රාජ්‍යයක් වන Cabo Verde කණ්ඩායම විසින් 2006 වසරේ දී ලොව කුඩාම රාජ්‍ය ලෙස ලෝක කුසලාන වරම් ලබා තිබූ ට්‍රිනිඩැඩ් සහ ටොබෑගෝ දේශයේ වාර්තාව එසේ බිඳ හෙළීමට සමත් වුනා. 

දිනෙන් දින උණුසුම් වන පාපන්දු පිටියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>>තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න<<