19න් පහළ තරගාවලියේ ජය බංග්ලාදේශයට

Bangladesh U 19 Tour of Sri Lanka

112
Bangladesh U 19 Tour of Sri Lanka

සංචාරක බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති 6 වැනි එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අද (08) අතහැර දැමීමත් සමඟින් තරගාවලිය සම කිරීමට තිබූ අවස්ථාවක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අහිමි වූවා.

ඒ අනුව තරග 6කින් යුත් මෙම එක්දින තරගාවලිය අද නිමා වූයේ තරග 3-2ක් ලෙසින් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ජයග්‍රහණය හිමි වෙමිනුයි.

කොළඹ Colts ක්‍රීඩාංගණයේ දී අද අවසන් වූ තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙන්නේ එක් වෙනස්කමක් සිදු කරමින්. ඒ පෙර තරගයට ක්‍රීඩා කළ කවිජ ගමගේ වෙනුවට හිමල් රවිහංස කණ්ඩායමට එක් කරමිනුයි.

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අද තරගයේ දී වෙනස්කම් 2ක් සිදු කර තිබුණා. ඒ පෙර තරගයට ක්‍රීඩා කළ Farhan Shahriar, සහ Saad Islam වෙනුවට Al Fahad, Md Rafi Uzzaman Rafi එක් කර ගනිමිනුයි.

ශ්‍රී ලංකාව වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

විමත් දින්සර (නායක), විරාන් චමුදිත, සුහස් ප්‍රනාන්දු, චාමික හීනටිගල, කිත්ම විදානපතිරණ, ආදම් හිල්මි (කඩුලු රකින්නා), ජෙලෝන් ගමගේ, තරුෂ නවෝද්‍ය, විග්නේෂ්වරන් ආකාශ්, හිමල් රවිහංස සහ කුගතාස් මතුලන්.

බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

Azizul Hakim Tamim (නායක), Zawad Abrar, Kalam Siddiki Aleen, Rizan Hossan, Md Abdullah (කඩුලු රකින්නා), Iqbal Hossain Emon, Farid Hasan, Samiun Basir Ratul, Debashis Sarkar Deba, Al Fahad සහ Md Rafi Uzzaman Rafi.

අද තරගයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ බංග්ලාදේශ නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගත්තා. නමුත් ඔවුන්ට ක්‍රීඩා කිරීමට හැකි වෙන්නේ 40 වැනි පන්දු වාරය දක්වා පමණයි.

එතැන් සිට ඇද හැළුණ වර්ෂාව හේතුවෙන් තරගය නැවත ආරම්භ කිරීමට පිටියේ විනිසුරුවන්ට හැකි වෙන්නේ නැහැ. ඒ වෙද්දී බංග්ලාදේශ ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ලකුණු 188ක් ලබා සිටියා.

බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුල්ල එක් ලකුණකට සීමා කරමින් තරගකාරී ආරම්භයක් ලබා ගැනීමට සත්කාරකයෝ සමත් වූව ද එතැන් සිට නැවත එවන් අවස්ථාවක් ඔවුන්ට ලබා නොදීමට සංචාරක ක්‍රීඩකයෝ පරිස්සම් වුනා.

ඒ අනුව ඔවුන් 2 වැනි කඩුල්ල සඳහා ලකුණු 65ක සබඳතාවක් ද සහ 3 වැනි කඩුල්ල සඳහා ලකුණු 108ක සබඳතාවක් ද ගොඩ නගනවා.

2 වැනි කඩුල්ල සඳහා Kalam Siddiki සහ නායක Azizul Hakim එක් වෙන අතර ඔවුන් දෙදෙනා අතුරින් Kalam Siddiki පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 31ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී ගියා.

අනතුරු ව Azizul Hakim හා එක් වෙන්නේ Rizan Hossan. ඔවුන් දෙදෙනා අතුරින් Azizul Hakim පන්දු 111කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 94ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් 3 වැනි කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.

බංග්ලාදේශ ඉනිම වර්ෂාව හේතුවෙන් නතර කරන විට Rizan Hossan පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 48ක් ලබා සිටි අතර අනෙක් අන්තයෙන් Md Abdullah නොදැවී ලකුණු 5ක් ලබා ගනිමින් පිටියේ රැඳී සිටියා.

කඩුලු දවා ගැනීමේ දී කුගතාස් මාතුලන්, හිමල් රවිහංස සහ තරුෂ නවෝද්‍ය කඩුල්ල බැගින් බිඳ දැමුවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • බංග්ලාදේශවයස අවුරුදු 19න් පහළ කණ්ඩායම– කඩුලු 3ක් දැවී 188 (39.1) Kalam Siddiki 31, Azizul Hakim 94, Rizan Hossan නොදැවී 48

තරගයේ විසඳුමක් නෑ.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<