ශ්‍රී ලංකාව 2-0ක් සේ පෙරමුණ ගනී

124
Australia U 19s Women tour of Sri Lanka - 2ndYT20

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (21) පැවැති යොවුන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ලකුණු 29ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා යෞවනීයෝ සමත් වෙනවා.

ඒ අනුව තරග 5කින් යුත් යොවුන් විස්සයි විස්ස තරගාවලිය 2-0ක් ලෙසින් පෙරමුණ ගැනීමට ද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමේ නායිකාවගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩිකාවෝ කඩුලු 8ක් දැවී ලකුණු 138ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ප්‍රතිවාදී සංචාරක ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ කඩුලු 9ක් දැවී ලකුණු 109ක් පමණයි.

අද පැවැති තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පෙර ජයග්‍රාහී කණ්ඩායම ම තරගයට කැඳවූ අතර ඕස්ට්‍රේලියානුවෝ වෙනස්කම් 3ක් සිදු කරමින් තරගයට පිවිසියා. ඒ අනුව පෙර තරගයට ක්‍රීඩා කළ Eva Baird, Lucy Hamilton සහ Sara Kennedy වෙනුවට මෙම තරගයේ දී Charli Mclennan, Aijay Willoughby සහ Ira Aery කැඳවා තිබුණා.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

මනුදි නානායක්කාර (නායිකාව), සංජනා කාවින්දි, විමෝක්ෂා බාලසූරිය, ලිමංසා තිලකරත්න, ශෂිනි ගිම්හානි, නෙතගි ඉසුරාංජලී (කඩුලු රකින්නිය), රශ්මි නේත්‍රාංජලී, රශ්මිකා සෙව්වන්දි, ප්‍රමුදි මෙත්සරා, අසෙනි තලගුණේ සහ චමෝදි ප්‍රබෝධා.

ඕස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

Samara Dulvin (නායිකාව), Shiloh Julien, Indira Panelli, Emily Powell, Lucy Finn, Chelsea Sonter (කඩුලු රකින්නිය), Ayaka Kato-Stafford, Charli Mclennan, Aijay Willoughby, Ava Drury සහ Ira Aery.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සංජනා කාවින්දි සහ රශ්මි නේත්‍රාංජලී ලකුණු 24ක් බැගින් ලබා ගත්තා.

සංජනා කාවින්දි පළමු කඩුල්ල සඳහා විමෝක්ෂා බාලසූරිය (5) සමඟ එක් වෙමින් පළමු කඩුල්ලට ලකුණු 32ක සබඳතාවක් ද ගොඩ නගනවා. එය ශ්‍රී ලංකා ඉනිමේ ඉහළ ම ලකුණු සබඳතාව බවට ද පත් වුණා. ඇයගේ ඉනිම පන්දු 19කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 3ක් සහ තරගයට එක් කළ එක ම හයේ පහර ද ඇතුලත් වුණා.

පසු පෙළින් පිටියට එක් වූ රශ්මි නේත්‍රාංජලීගේ ඉනිමට පන්දු 17ක් වැය වූ අතර ඊට හතරේ පහර 2ක් ද ඇතුලත් වුණා.

අද තරගයේ දී ලිමංසා තිලකරත්න පිතිකරු ලැයිස්තුවේ ඉදිරියෙන් කැඳවූව ද ඇයට වැඩි වේලාවක් පිටියේ රැඳී සිටිමට හැකි වූයේ නැහැ. තෙවැනි කඩුල්ල ලෙසින් ඇය පිටියෙන් ඉවත් ව යන විට ලබා සිටියේ පන්දු 15ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 7ක් පමණයි.

ඇය ගේ දැවී යෑමෙන් අනතුරු ව නායිකා මනුදි නානායක්කාර පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 14ක් ලබා සිටිය දී දැවී යනවා. ඒ වෙද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක් වුණේ කඩුලු 4ක් දැවි ලකුණු 59ක් ලෙසයි.

එතැන් සිට ශෂිනි ගිම්හානි සහ නෙතඟි ඉසුරාංජලී එක් ව 5 වැනි කඩුල්ලට ලකුණු 30ක සබඳතාවක් එක් කරමින් ශ්‍රී ලංකා පිල වැටී සිටි තත්ත්වයෙන් තරමක් ගොඩ ගැනීමට සමත් වුවා. එහි දී නෙතඟි ඉසුරාංජලී පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 21ක් ලබා ගත් අතර ශෂිනි ගිම්හානි පන්දු 16කට මුහුණ දෙමින් ලකුණු 10ක් ලබා ගත්තා.

ඔවුන්ට අමතර ව රශ්මිකා සෙව්වන්දි පන්දු 6ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 12ක් ලබා ගත් අතර, ප්‍රමුදි මෙත්සරා (1), අසෙනි තලගුණේ (නොදැවී 5) සහ චමෝදි ප්‍රබෝධා (නොදැවී 1) ලෙසින් ලකුණු ලබා ගත්තා.

ශ්‍රී ලංකා ඉනිම පාලනය කිරීම සඳහා ඕස්ට්‍රේලියා නායිකාව පන්දු යවන්නියන් 8 දෙනෙක් කැඳවූ අතර ඒ අතුරින් Ava Drury ලකුණු 24කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව Lucy Finn කඩුලු ද්විත්වයක් ද, Indira Panelli, Ayaka Kato-Stafford සහ  Shiloh Julien කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඕස්ට්‍රේලියා කණඩායමේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 29ක් වෙද්දී දැවී යනවා. නමුත් ඊට පසු කඩුල්ලේ දී ලකුණු 31ක සබඳතාවක් එක් කිරීමට නායිකාව වූ Samara Dulvin සහ Emily Powell සමත් වෙනවා. එහි දී Samara Dulvin පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 22ක් ද සහ Emily Powell පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 15ක් ද ලබා ගන්නවා.

ආරම්භක පිතිකාරිනී Shiloh Julien පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 22ක් ද සහ ඕස්ට්‍රේලියා ඉනිම අවසන් වෙද්දී Ayaka Kato-Stafford පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 17ක් ද ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී අසෙනි තලගුනේ සහ ශෂිනි ගිම්හානි කඩුලු ද්විත්වය බැගින් දවා ගනිද්දී චමෝදි ප්‍රබෝධා තම පන්දුවාර 4 ලකුණු 11කට සීමා කරමින් කඩුල්ලක් ද දවා ගන්නවා. ඊට අමතර ව රශ්මි නේත්‍රාංජලී, ප්‍රමුදි මෙත්සරා සහ ලිමංසා තිලකරත්න ද කඩුල්ල බැගින් දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 9ක් දැවී 138 (20.0) සංජනා කාවින්දි 24, නෙතගි ඉසුරාංජලී 21, රශ්මි නේත්‍රාංජලී 24, Lucy Finn 2/30, Ava Drury 3/24

 

ඕස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 9ක් දැවී 109 (20.0) Shiloh Julien 22, Samara Dulvin 22, අසෙනි තලගුණේ‍ 2/15, ශෂිනි ගිම්හානි 2/17

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 29ක ජයක්.

දෙරට අතර පැවැත්වෙන 3 වැනි යොවුන් විස්සයි විස්ස තරගය මේ මස 24 වැනිදා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<