ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ අද (26) පැවති මාධ්‍ය හමුවකදී පළකෙරුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ අනාගතය සුරක්ෂිත කරනු වස් පාදාශ්‍රිත විශේෂඥ වෛද්‍යවරයෙකුගේ පිහිට ලබාගන්නා බවයි.
මෙසේ ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පාද ආශ්‍රිත ආබාධ තත්වයන් විමසාබලන්නේ ඔලිම්පික් රන් පදක්කම්ලාභී ඕස්ට්‍රේලියානු පිහිනුම් ශූරයෙකු වන වෛද්‍ය නිකලස් ස්ප්රින්ජර් මහතායි.
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ක්‍රීඩකයන්ගේ විද්‍යාපීඨය හා සම්බන්ධව ක්වීන්ස්ලන්ඩ් ලීග් රග්බි විනිසුරුවරුන් සහ බ්‍රිස්බේන් ලයන්ස් ඕස්ට්‍රේලියානු පාපන්දු කණ්ඩායම සමඟද කටයුතු කොට ඇති ස්ප්රින්ජර් මහතා විසින් ක්‍රීඩකයන්ගේ පාදවල වළලුකර පිළිබඳ විශේෂ අවධානය යොමුකිරීමට නියමිතයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා විසින් විශේෂඥවරයාව හඳුන්වාදෙමින් කියාසිටියේ,
“නික් ශ්‍රී ලංකාවට පැමිණියේ මීට මාසයකට පමණ පෙරයි. ක්‍රීඩකයන් ශූරයන්ගේ කුසලානයට පිටත්ව යන්නට පෙර ඔහු ක්‍රීඩකයන්ගේ පාදවල දිගපළල මැනගෙන ඒවායේ ආකෘති සාදාගෙන ඕස්ට්‍රේලියාවට ගොස් ඊට ගැළපෙන සපත්තු ශ්‍රී ලංකාවට ගෙන ආවා. මෙම ව්‍යාපෘතියේ සම්පූර්ණ වියදම දරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්.” යනුවෙනි.

ක්‍රීඩකයෙකුගේ පාදවල ආබාධ අවම කරගැනීම සඳහා වන පියවරයන් නිකලස් ස්ප්රින්ජර් මහතා විසින් පැහැදිලි කරදුන්නේය. පළමුවෙන් ගැළපෙන සපත්තු පැළඳීමත්, දෙවනුව සෘජුකාරක කටයුතුත්, මීළඟට ව්‍යායාම සිදුකිරීමත්, මීළඟට දිගැදුම් සහ නම්‍යතා ව්‍යායාම සිදුකිරීමත් ඒ පිළිවෙළයි.
“මේක මට හොඳ අවස්ථාවක්. ඒ වගේම මං බලාපොරොත්තු වෙනවා මේ එක්කම ඉදිරියට යන්න.” ස්ප්රින්ජර් මහතා කීය.
“ඔබගේ වළලුකර තුළ අස්ථි 26ක් පමණ තිබෙනවා. ඔබ ගෙයක් හැදුවොත් එය වැලි මත හදන්නේ නැහැ. ඒ වගේ ඔබේ පාද ඔබගේ ශරීරය හැසිරෙන විදිය ගැන වැදගත් කාර්යභාරයක් ඉටුකරනවා.” ඔහුගේ කෙටි පැහැදිලිකිරීම අතරතුරදී එසේ සඳහන් විය.

හෙට, ගාල්ලේ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් හමුවීමට ස්ප්රින්ජර් මහතා පිටත්වන අතර ලබන සිකුරාදා දින ඔහු නැවතත් සියරට බලා පිටත්වනු ඇත.
තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට






















