කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර 92 වැනි වරටත් පැවැත්වෙන “Maurice J. Le Goc පියතුමන් අනුස්මරණ කුසලාන” සාන්තුවරයන්ගේ සටන වාර්ෂික මහා ක්‍රිකට් ගැටුම මේ මස 19, 20 සහ 21 තෙදින කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
මෙවර තරගයේ දී සාන්ත ජෝසප් විද්‍යාලය මෙහෙයවීමේ වගකීම රිශ්ම අමරසිංහ වෙත ද සහ සාන්ත පීතර විද්‍යාලය මෙහෙයවීමේ වගකීම එනෝෂ් පීටර්සන් වෙත ද පැවැරී තිබෙනවා.
1933 දී ආරම්භ වූ සාන්තුවරයන්ගේ සටන් ඉතිහාසයේ 12 වතාවක් සාන්ත ජෝසප් විද්‍යාලය ද, 10 වතාවක් සාන්ත පීතර විද්‍යාලය ද දිනා තිබෙනවා. දෙවිදුහල් අතුරින් සාන්තුවරයන්ගේ සටන් කුසලානය අවසන් වරට දිනා ගන්නේ 2016 වසරේ විනූ මොහොට්ටිගේ නායකත්වයෙන් යුත් සාන්ත පීතර විද්‍යාලයයි. සාන්ත ජෝසප් විද්‍යාලය අවසන් වරට මෙම වාර්ෂික මහා ක්‍රිකට් තරගයක් ජයග්‍රහණය කර තිබෙන්නේ 2008 වසරේදී රුවන්ත ප්‍රනාන්දුපුල්ලේ ගේ නායකත්වය යටතේයි. තරග 68ක් නිමා වී තිබෙන්නේ විසඳුමකින් තොරවයි.
නිමා වූ වසර 91ක සාන්තුවරයන්ගේ සටන් ඉතිහාසය වර්ණවත් කළ ක්‍රීඩකයන් අතරට සාන්ත ජෝසප් විද්‍යාලය නියෝජනය කළ ක්‍රීඩකයන් ලෙසින් ඈෂ්ලි ද සිල්වා, අජිත් වීරක්කොඩි, චමින්ද වාස්, දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, මයිකල් වැන්ඩොට්, රොෂේන් සිල්වා, සදීර සමරවික්‍රම, ෂෙවෝන් ඩැනියෙල්, ප්‍රියමාල් පෙරේරා සහ දුනිත් වෙල්ලාලගේ නම් ඉදිරියෙන් ම තැබෙනවා.
සාන්ත පීතර විද්‍යාලය නියෝජනය ක්‍රීඩකයන් අතුරින් මෙම ලැයිස්තුවට එක් වෙන්නේ රෝයි ඩයස්, ඩේවින් හයින්, විනෝදන් ජෝන්, ටෝනි ඕපාත, රුමේෂ් රත්නායක, අමල් සිල්වා, රසල් ආනල්ඩ්, කෞෂාල් ලොකුආරච්චි, මලින්ද වර්ණපුර, ඇන්ජලෝ පෙරේරා, ඇන්ඩ්‍රි බෙරෙන්ජර්, ජනිත් ලියනගේ සහ දුශාන් හේමන්ත සහ වැනි අයයි.
සාන්ත ජෝසප් විද්‍යාලය
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ Tier A කොටසෙන් තරගාවලියට එක් වූ කොළඹ 10, සාන්ත ජෝසප් විද්‍යාලය මෙම කාණ්ඩයේ තරගකාරී කණ්ඩායමක් ලෙසින් හැඳින්විය හැකියි.
ඔවුන් නිමා වූ තරග වාරයේ දී තරග 13කට සහභාගී වෙමින් ලත් අත්දැකීම් සමඟින් මෙම තරගය හා එක් වීමට නියමිතයි. ඔවුන් නිමා කළ තරග අතුරින් මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයට එරෙහි ව ඉනිමක සහ ලකුණු 2ක ජයග්‍රහණයක් ද සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය, මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය, කොළඹ වෙස්ලි විද්‍යාලය සහ මොරටුව සාන්ත ජෝසප් විද්‍යාලය සමඟින් තරගවල දී පළමු ඉනිමේ ජයග්‍රහණ ද වාර්තා කිරීමට සමත් වෙනවා.
ඊට අමතර ව පැවැති තරගවල දී කොළඹ මහානාම විද්‍යාලය, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය වෙතින් පළමු ඉනිමේ පරාජයන්වලට ඔවුන්ට මුහුණ දීමට සිදු වෙනවා.
එලෙසින් අවසන් වූ පාසල් ක්‍රිකට් තරග වාරයේ දී සාන්ත ජෝසප් විද්‍යාලයීය ලකුණු ලැයිස්තුවේ වැඩිම ලකුණුලාභියා වූයේ අවීශ සමාෂ්. ඔහු ගාල්ල මහින්ද විද්‍යාලයට එරෙහි ව ලබා ගත් ලකුණු 175ක් ද සහ තවත් අර්ධ ශතක 7ක් ද සමඟින් ලකුණු 794ක් ලබා ගනිමිනුයි එම අසුන හිමිකර ගෙන සිටින්නේ.
දකුණතින් පිට දඟ පන්දු යවන්නෙක් ලෙසින් ද කටයුතු කරන අවීශ සමාෂ් විශ්වසනීය පන්දු යවන්නෙක් ලෙසින් ද හැඳින්වෙනවා.
එමෙන් ම කණ්ඩායමේ සිටින දක්ෂතා දැක් වූ පිතිකරුවන් අතර රිශ්ම අමරසිංහ ට සහ යෙනුල දන්තනාරායන ට ද හිමි වෙන්නේ ප්‍රමුඛ තත්ත්වයක්. රිශ්ම අමරසිංහ නිමා කළ තරග 11ක ඉනිම් 13ක දී ශතකයක් සහ අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 511ක් ද සහ තවමත් 17 වැනි වියේ පසුවෙන යෙනුල දන්තනාරායන තරග 11ක ඉනිම් 13ක දී අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 428ක් ලබා ගනිමින් එකී විශ්වාසය දිනා සිටිනවා.
ඊට අමතර ව දිල්ප මදුරංග තරග 11ක ඉනිම් 13ක දී අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 378ක් ද, පමෝද් දල්පදාදු තරග 9ක ඉනිම් 9ක දී ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 289ක් ද සහශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ සෙනුජ වැකුණුගොඩ තරග 4ක දී ශතකයක් සහ අර්ධ ශතක ද්විත්වයක් සමඟින් ලකුණු 254ක් ද ලබා ගනිමින් පෑ දක්ෂතාත් සමඟින් විශ්වසනීය පිතිකරුවන් ලෙස වර්ගීකරණයට ලක් ව සිටිනවා.
පන්දු යවන්නන් අතුරින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ද නියෝජනය කළ දකුණතින් පා දඟ පන්දු යවන විග්නේශ් ආකාශ් කෙරෙහි කාගේත් බලාපොරොත්තු රැඳී තිබෙනවා.
සාන්ත ජෝසප් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
රිශ්ම අමරසිංහ (නායක), දිසිනු සමරසිංහ, පමෝද් දල්පදාදු, මාරියෝ සුරවීර, නෙතුල දම්තුස, යෙනුල දන්තනාරායන, ඩේමියන් ද සිල්වා, දිල්ප රුවනක, චේතින කාවින්ද, චමත් පෙරේරා, අවීශ සමාශ්, නිම්තක ගුණවර්ධන, නුශාන් පෙරේරා, තිසඟ පෙරේරා, ඩිහේන් ද සිල්වා, විග්නේශ්වරන් ආකාශ්, නිර්වාන් ජයතිලක සහ විශ්ව පීරිස්.
රංජිත් අන්ද්‍රාදී පියතුමා (විදුහල්පති), ප්‍රියාන් තිසේරා පියතුමා (උප විදුහල්පති), සමේශ් ඇන්තනී පියතුමා (ක්‍රීඩා භාර ආචාර්ය), ආසිරි කල්දේරා (ක්‍රිකට් භාර ආචාර්ය), සංජිව ප්‍රනාන්දු (දෙවැනි පෙළ ක්‍රිකට් භාර ආචාර්ය), ලක්මාල් ද සිල්වා (ප්‍රධාන පුහුණුකරු), මිහිරංග වික්‍රමගේ (සහාය පුහුණුකරු), ලහිරු වික්‍රමසිංහ (සහාය පුහුණුකරු), අසිත් දිල්හාර (සහාය පුහුණුකරු) ප්‍රදීප් මුණසිංහ (දෙවැනි පෙළ පුහුණුකරු).
- නවසීලන්ත A කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට දින නියම වෙයි
- උතුරු රන් සටන විසඳුමක් නෑ
- රාජකීය – සාන්ත තෝමස් නිල් සටන විසඳුමක් නැතිව අවසන් වෙයි
- ඉන්දියාව පිට පිට 2 වැනි වරටත් T20 ශූරයන් වෙයි
- සෙබස්තියන්වරුන් රන් සටනේ තෑගි මේසය අකුලා ගනී
- සාන්ත පීතර විද්‍යාලය
සාන්ත පීතර විද්‍යාලය, මෙවර ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ Tier A කොටසෙන් තරගාවලියට එක් වූ අතර එහි දී කොළඹ නාලන්දා විද්‍යාලය, කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාලය, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය, මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය, කැළණිය ගුරුකුල විද්‍යාලය සහ කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට එරෙහි ව ලැබූ පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වෙනවා.
පැවැති අනෙකුත් තරග අතුරින් කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය වෙතින් ලත් පළමු ඉනිමේ පරාජයන් ද සමන්විත අතර ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය සමඟ තරගය විසඳුමකින් තොරව අවසන් වෙනවා.
මේ ආ ගමනේ දී ඔවුන්ගේ කැපී පෙණෙන දක්ෂතා දැක් වූවන් අතුරින් ඉදිරියෙන් ම ලැයිස්තු ගත වෙන්නේ කණ්ඩායමේ උප නායක අසදිස තේජාන්. මැද පෙළ වමත් පිතිකරුවෙක් ලෙසින් පිටියට පිවිසෙන ඔහු මෙවර තරග සමය අවසන් කරන්නේ තරග 10ක ඉනිම් 14ක දී ශතක 3ක් සමඟින් ලකුණු 687ක් ලබා ගනිමිනුයි.
ඔහුට අමතර ව සාන්ත පීතර විද්‍යාලයේ කැපී පෙණෙන පිතිකරුවන් අතරට එක් වෙන්නේ සවි ප්‍රනාන්දු. ඔහු මේ වෙද්දී තරග 10ක ඉනිම් 14ක දී ශතකයක් සහ අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 520ක් ලබා ගනිමින් දක්ෂතා දක්වා තිබෙනවා.
ඊට අමතර ව කණ්ඩායමේ නායක එනෝෂ් පීටර්සන් තරග 8ක ඉනිම් 11ක දී අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 357ක්, ජේසන් ප්‍රනාන්දු තරග 8ක ඉනිම 10ක දී අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 331ක්, සවිඳු සිල්වා තරග 10ක ඉනිම් 14ක දී අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 311ක්, දිනෙත් ද සිල්වා තරග 7ක ඉනිම් 10ක දී ලකුණු 216ක් සහ තරීන් සංකේත් තරග 5ක ඉනිම් 6ක දී ලකුණු 182ක් ද ලබා ගනිමින් සාන්ත පීතර විද්‍යාලයීය ලකුණු පුවරුව ශක්තිමත් කිරීමට බලාපොරෝත්තුව ඉන්නවා.
පන්දු යැවීමේ දී දක්ෂතා දැක්වීමට ජනිත් පණ්ඩිතරත්න, සදීශ සිල්වා, ජොෂුවා සෙබස්තියන්, සවිඳු සිල්වා, දින්සර රත්නවීර සහ තරීන් සංකේත් වැන්නෝ සූදානම් ව සිටිනවා.
සාන්ත පීතර විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
එනෝෂ් පීටර්සන් (නායක), අසදිස තේජාන් (උප නායක), තේජාන් ද සිල්වා, නිකිල් සෙබස්තියන්, ජේසන් ප්‍රනාන්දු, ජොෂුවා සෙබස්තියන්, තරීන් සංකේත්, සදීශ සිල්වා, දින්සර රත්නවීර, ජනිත් පණ්ඩිතරත්න, දිනෙත් ද සිල්වා, සවි ප්‍රනාන්දු, මෙනුර දිසානායක, තරීන් සෙන්විදු, ඔෂඳ අකලංක, හිරුක සිල්වා, දිමල්ෂ ජයවර්ධන, ජතින්ද්‍ර ජයවීර, එවන් ජොෂුවා, සදීශ කාරියවසම්, සවිඳු සිල්වා, තෙනුර දිසානායක,
නිලධාරීන්
රෝහිත රොද්‍රිගෝ පියතුමා (විදුහල්පති), ප්‍රවින් විජේසේකර ( ක්‍රීඩා භාර ආචාර්ය), ප්‍රියදර්ශන කුරේ (ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් භාර ආචාර්ය), රෝහණ ප්‍රනාන්දු (දෙවැනි පෙළ ක්‍රිකට් භාර ආචාර්ය), නලින් විජේසිංහ (ප්‍රධාන පුහුණුකරු), තුෂාර මදුශංක (පළමු පෙළ සහාය පුහුණුකරු), ඩී. ගොඩකන්ද (දෙවැනි පෙළ සහාය පුහුණුකරු), හර්ෂ පෙරේරා (Trainer/Masseur), ඩී. එන්. පතිරණ (දත්ත සටහන්කරු), හර්ෂ ප්‍රභාත් (Physio).
සාන්තුවරයන්ගේ සටනට එක් වෙන සාන්ත ජෝසප් විද්‍යාලයීය සහ සාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩකයන්ට ThePapare.com වෙතින් උණුසුම් සුබ පැතුම්!
දෙස්- විදෙස් ප්‍රචලිත මෙම තරගයේ පන්දුවෙන් පන්දුව සජීවී අත්දැකීම් Dialog Television හී ThePapare TV HD1 නාලිකා අංක 126 සුසර කර ගැනීමෙන් මෙන්ම, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ ද නැරඹීමට ඔබට පහසුකම් සපයා තිබෙනවා.
පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
























