වෙස්ලි විද්‍යාලය ලකුණු 138ක් පිටුපසින්

5th James Cartman Cup

14
5th James Cartman Cup

කොළඹ වෙස්ලි විද්‍යාලය සහ කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර පැවැත්වෙන James Cartman කුසලාන වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ පළමු දිනය (20) අවසන් වෙද්දී වෙස්ලි විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 84ක් ලබා සිටියා.

ඒ තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත බෙනඩික්ට් විද්‍යාලය ලබාගත් ලකුණු 222ට පිළිතුරු ලෙසිනුයි.

වෙස්ලි විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම

රශ්මික අමරරත්න (නායක), ජොනතන් ප්‍රනාන්දු, රශීඩ් නායන්, ලිතුම් සෙනුජ, කවිඳු නිම්සර, මෙතුල මායාදුන්නේ, දිනුජ සමරරත්න, සෙනුර ලක්ශාන් (කඩුලු රකින්නා), ආදියන් සෙයින් සහ ශ්‍රීරාම් ජීවහන්.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

මෙවන් දිසානායක (නායක), මාරියෝ ප්‍රනාන්දු (කඩුලු රකින්නා), ටෙහාන් බීටර්, මිහිල ජයවීර, යොහාන් එදිරිසිංහ, විහඟ රත්නායක, මානික්‍ය දේශප්‍රිය, සිතුම් හසරංග, ලිතික ජයසුන්දර, අයේශ් ගජනායක සහ නඳුන් ප්‍රනාන්දු.

කොළඹ P. Sara Oval ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ වෙස්ලි විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත බෙනඩිකට් ඉනිමට සාර්ථක ආරම්භයක් එක් කිරීමට මාරියෝ ප්‍රනාන්දු සහ ටෙහාන් බීටර් සමත් වෙනවා.

ඔවුන් දෙදෙනා එක් ව 1 වැනි කඩුල්ලට පන්දු 192ක දී ලකුණු 117ක සබඳතාවක් එක් කරනවා. සාර්ථක එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ ටෙහාන් බීටර් ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 111කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 51ක් ලබා සිටියා.

අනතුරු ව පිටියට පිවිසි මිහිල ජයවීර හා එක් වූ මාරියෝ ප්‍රනාන්දු 2 වැනි කඩුල්ලට ද පන්දු 88ක දී ලකුණු 58ක සබඳතාවක් එක් කරනවා. මාරියෝ ප්‍රනාන්දු පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 30ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී යනවා.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය ඉනිමට තවත් ලකුණක් පමණක් එක් වෙද්දී එතෙක් සාර්ථක ඉනිමක නිරත වූ මාරියෝ ප්‍රනාන්දු ද දැවී යනවා. ඔහු දැවී යන විට පන්දු 161කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් ලකුණු 88ක් ලබා සිටියා.

එම තිදෙනාගෙන් අනතුරු ව බෙනඩිකට් ඉනිමට ඉලක්කම් 2ක ලකුණු සංඛ්‍යාවක් එකතු කළේ නඳුන් ප්‍රනාන්දු (11) පමණයි.

කඩුලු දවා ගැනීමේ දී වමතින් දඟ පන්දු යැවූ දිනුජ සමරරත්න ලකුණු 63කට කඩුලු 6ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව මෙත්නුල මායාදුන්නේ ලකුණු 23කට කඩුලු 2ක් ද, නායක රශ්මික අමරරත්න සහ ආද්යන් සෙයින් කඩුල්ල බැගින් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි වෙස්ලි විද්‍යාලය සාර්ථක ඉනිමකට පිවිසෙමින් ප්‍රතිවාදීන් හා සමඟ කරට කර සටන් කරනවා. ඔවුන්ගේ ඉනිම ආරම්භ කළ ජොනතන් ප්‍රනාන්දු සහ රශීඩ් නායන් එක් ව පන්දු 108ක දී ලකුණු 44ක් එක් කරනවා.

එහි දී දැවී යන්නේ රශීඩ් නායන්. ඔහු දැවී යන විට පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුනු 23ක් ලබා සිටියා.

තරගය පළමු දිනයට නතර කරන විට අනෙක් ආරම්භක පිතිකරු ජොනතන් ප්‍රනාන්දු පන්දු 92කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 42ක් ලබා සිටි අතර අනෙක් අන්තයේ නායක රශ්මික අමරරත්න පන්දු 23කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 15ක් ලබා ගනිමින් පිටියේ නොදැවී රැඳී සිටියා.

කඩුලු දවා ගැනීමේ දී මානික්‍ය දේශප්‍රිය සහ නායක මෙවන් දිසානායක කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම සියලුම දෙනා දැවී 222 (63.2) මාරියෝ ප්‍රනාන්දු 88, ටෙහාන් බිටර් 55, මිහිල ජයවීර 30, දිනුජ සමරරත්න 6/63
  • වෙස්ලි විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 84 (31.0) ජොනතන් ප්‍රනාන්දු නොදැවී 42, රශීඩ් නායන් 23

වෙස්ලි විද්‍යාලය ලකුණු 138ක් පිටුපසින්.

මෙම තරගය අද (21) 2 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මකයි.

පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<